UDA කුලී නිවාස වටිනාකම අය කරගෙන පදිංචිකරුවන්ට දෙනවා

0
29

නාගරික සංවර්ධන අධිකාරියේ කුලී නිවාස රජයේ තක්සේරු වටිනාකම අය කරගෙන  සින්නක්කර පදනමින් පදිංචිකරුවන්ට ලබාදීමට ඇමැති ප්‍රසන්න රණතුංගගේ අනුමැතිය මත තීරණය කළ බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය දැනුම්දී තිබේ.

පසුගිය ‘ඉරිදා මව්බිම’ පුවත්පතේ “මහල් නිවාස තුළින් පදිංචිකරුවන් පන්නන අපරාධයේ කුමන්ත්‍රණය කාගේද?” මැයෙන් පළ වූ ලිපිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් එම අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් විසින් ඉහත කරුණු  දන්වා අදාළ ප්‍රවෘත්ති වාර්තාව සම්බන්ධයෙන් විෂය භාර ඇමැති ප්‍රසන්න රණතුංග නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාගෙන් වාර්තාවක් කැඳවූ බවත්, මෙලෙස පදිංචි නිවාස ආපසු ලබාදෙන ලෙස දැනුම්දී ඇත්තේ  නාගරික සංවර්ධන අධිකාරියේ නිවාසවල කුලී පදනම යටතේ පදිංචිව සිටින තැනැත්තන් 45කට බවත් එම ලිපියේ දක්වා ඇත.

ජනාධිපතිවරයා විසින් මහල් නිවාස හිමියන්ට ඔප්පු ලබාදෙන ලෙස දී ඇති උපදෙස්වලට පටහැනි කිසිවක් මෙහිදී සිදුනොවන බවත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ජේ‍යෂ්ඨ නිලධාරියකුගේ සහභාගිත්වයෙන් යුතු කමිටුවක් පත්කර සෑම පුද්ගලයකුම සම්මුඛ පරීක්ෂණයකට කැඳවා  සුදුසුකම් ලත් පුද්ගලයන් වෙත රජයේ ප්‍රධාන තක්සේරුකරුගේ තක්සේරුව මත නිවාස බැහැර කිරීමේ කටයුතු  ඉදිරියේදී සිදුකරන  බවද එම ලිපියේ සඳහන් වේ.

‘මව්බිම’ පුවත්පතේ වාර්තාව හේතුවෙන් නාගරික සංවර්ධන අධිකාරියේ සියලුම මහල් නිවාසවල පදිංචි තැනැත්තන් ඉවත් කරන බවට අදහසක් මතුවන බැවින් මේ පිළිබඳව නිවැරදි පැහැදිලි කිරීමක් සිදුකරන බව දන්වමින් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් විසින් එවන ලද ලිපියේ මෙසේද සඳහන් කර තිබේ. 

නාගරික සංවර්ධන අධිකාරිය විසින් නිවාස භාරදෙන ලෙස දැනුම්දී ඇත්තේ කුලී නිවැසියන් 45ක් සඳහා පමණි. මාදිවෙල නිවාස සංකීර්ණය නිවාස 7ක්,

බැද්දගාන නිවාස 3ක්, අටවන පටුමඟ කොල්ලුපිටිය නිවාස 2ක්, ශාන්ත අන්තෝනි මාවත – කොල්ලුපිටිය නිවාස 14ක්, මංගල මාවත – නාරාහේන්පිට නිවාස 19ක්, සඳහා බුක්තිය භාරදෙන ලෙස ඉල්ලා ලිපි යවන ලදී.

සේවා අවශ්‍යතාවය, දුර බැහැර ප්‍රදේශවල පදිංචිව සිටීම ආදී විවිධ හේතු ඉදිරිපත් කරමින් විවිධ රාජ්‍ය ආයතනයන්හි සේවයේ නියුතු තැනැත්තන් හා නාගරික සංවර්ධන අධිකාරියේ සේවකයන් මෙන්ම වෙනත් බාහිර පාර්ශ්ව විසින් දේශපාලන අධිකාරියේ මැදිහත් වීම මත කරන ලද ඉල්ලීම් සලකා බලා ඉහත සඳහන් නිවාස සංකීර්ණවලින් තාවකාලික පදනම මත නිවාස ලබාදී ඇත.

කමිටු නිර්දේශයන්ට අනුව 2022.7.21 පැවති කළමනාකරණ මණ්ඩලයේ අනුමැතියට අනුව දින 14ක් ඇතුළත නිවාස ලබාදීමට කටයුතු කරන ලෙස නිවාසවල පදිංචිකරුවන් වෙත දැනුම් දීම සිදු කෙරිණ. අදාළ නිවාස පරිහරණය සඳහා ලබාදී ඇති සියලු අමතර බදු ගිවිසුම් ලිපි ලේඛන ලිපියේ සඳහන් කළ පරිදි අවසන් කරනු ලබන බවද දැනුම් දෙන ලදී.

එකී ලිපිය ලද නිවාස පදිංචිකරුවන් කිහිපදෙනකු 2022.9.5 වැනි දින පැවැති මහජන දිනයේදී නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා හමුවීමෙන් අනතුරුව  නාගරික සංවර්ධන අධිකාරිය වෙත ඉහත සඳහන් උපදෙස් ලබා දෙන ලදී.

කර්තෘ සටහන

අවුරුදු 20, 30 වැනි දීර්ඝ කාලයක් කුලී නිවැසියන් ලෙස නාගරික සංවර්ධන අධිකාරියේ නිවාසවල පදිංචිව සිටි පිරිසකට හදිසියේ දින 14ක් තුළ නිවෙසින් බැහැර වන ලෙස දැනුම්දීම කිසිසේත්ම යුක්ති යුක්ත නොවන බව පැහැදිලි වූ බැවින් අප පුවත්පත මෙම ප්‍රවෘත්තියට විශේෂ ස්ථානයක් ලබා දුන්නෙමු.

පුද්ගලයන් විසින් ඉදිරිපත් කරනු ලැබූ දුක් ගැනවිලි පිළිබඳව සානුකම්පිත අවධානය යොමුකොට ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස, චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිවරුන් විසින්ද, එම්.එච්. මොහොමඩ්, ඉන්දික ගුණවර්ධන, දිනේෂ් ගුණවර්ධන ආදී ඇමැතිවරු විසින්ද කුලී පදනමෙන් ලබාදුන් නිවාස මෙම නිවාස 45ට අයත් බව පාඨකයන් අපට එවා ඇති ලිපිවල සඳහන් වේ. පුවත්පතේ පළවූ ලිපිය පිළිබඳව නාගරික සංවර්ධන හා නිවාස ඇමැතිවරයාගේ අවධානය යොමු කොට තිබීම ගැන අපගේ සැලකිල්ල යොමු වන අතර මේ සම්බන්ධ ඉදිරි කටයුතු සාධාරණව නිරාකරණය කෙරෙන අයුරු පිළිබඳව අපි අවධානයෙන් සිටින බවද සඳහන් කරමු.