RDA ලේඛනවලින් කට්ටි පැන්න ප්‍රොජෙක්ට්

0
40

විදේශීය ආධාර ව්‍යාපෘති කිහිපයක් යටතේ වැඩ අවසන් කර මාර්ග සංවර්ධන අධිකාරියට පවරාදී තිබූ කාර්යාල ගොඩනැඟිලි, සංචාරක නිවාස සහ නිල නිවාස විශාල සංඛ්‍යාවක් මේ දක්වා එම අධිකාරියේ ගිණුම් හා වත්කම් ලේඛනයට ඇතුළත් කර නොමැති බව ජාතික විගණන කාර්යාලය පවසයි.

එමෙන්ම මාර්ග සංවර්ධන අධිකාරිය සතු බොරැල්ල සහ මධ්‍යම පළාතේ පිහිටි කඩ කාමර 37ක වටිනාකම කොපමණද යන්න මූල්‍ය ප්‍රකාශනවලට ඇතුළත් කර නොමැති බවත් මේ සම්බන්ධව 2017 හා 2018 වර්ෂවලදීද විගණන කාර්යාලය පෙන්වා දුන්  බවත් එම වාර්තාවේ සඳහන් කර ඇත.

වැටිය සිට අන්දරවැව දක්වා වූ මාර්ගයේ පිහිටා ඇති පිරිවැය රුපියල් ලක්ෂ 67ක් වූ ගොඩනැඟිල්ලක් දක්ෂිණ අධිවේගී මාර්ග දිගුව අදියර ІІ වෙත ඍජුවම භාරදී තිබූ නමුත් එහි පවරා ගැනීම පිළිබඳව ගිණුම්ගත කර නොමැති බවත් විගණන වාර්තාවේ දක්වා තිබේ.

එසේම රුපියල් ලක්ෂ 68කට අධික වටිනාකමකින් යුත් අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ අන්තර් හුවමාරු මධ්‍යස්ථාන 03ක් සම්බන්ධයෙන්ද මාර්ග සංවර්ධන අධිකාරියේ ගිණුම්වල තොරතුරු නොමැති බව වාර්තාවේ දක්වා ඇත.

මාර්ග සංවර්ධන අධිකාරිය විසින් පවත්වාගෙන යන ස්ථාවර වත්කම් ලේඛනයෙහි ගොඩනැඟිල්ල නිශ්චිතව හ¾දුනා ගැනීමට ක්‍රමයක් නොමැති බවත් ගොඩනැඟිල්ලේ භූමි ප්‍රමාණය සඳහන් කර නොමැති බවත් එහි සඳහන් කර තිබේ.

මිතුන් ජයවර්ධන