සිවු බඹ විහරණයන්ට අනුව දූ දරුවන් හදා වඩා ගනිමු

0
316

මවුපියන්ට මෙලොව ඇති වටිනාම සම්පත වන්නේ තම රුහිරයෙන් මෙලොවට උපන් තම දරුවන්ය. පුරා දස මාසයක් කුසෙහි දරාගෙන මෙලොව ඇති දරුණුම වේදනාව විඳිමින් මවක් තම දරුවාව මේ ලෝකයට බිහිකරනුයේ මහා සෙනෙහසකින් සහ ආදරයකින් යුක්තවය. මවක් සහ පියෙක් තම දරුවාගේ හැඬුම් හ¾ඩින් සතුටු වන්නේ නම් ඒ තම දරුවා ආගන්තුක ලෝකයේ ජීව වායුව ලබාගත් ප්‍රථම අවස්ථාවේදී පමණය. ඉන්පසුව මවුපියන් තම බිලි¼දා අඬනවා දැකීමට හෝ ඇසීමට කිසිම දිනෙක කැමැති නැත.

මේ ලෝකයේ සියලු සැප සම්පත් සතුට තම දරුවා වෙනුවෙන් කැප කිරීමට මවක් හෝ පියෙක් දෙවරක් නොසිතන්නේ තම දරුවා තමන්ට එතරම්ම වටිනා සම්පතක් වූ  නිසාවෙනි. නමුත් දරුවන් මවුපියන්ට කොතරම් වැදගත් වුවද ඇතැම් අවස්ථාවලදී අපට අසන්නට සහ දකින්නට ලැබෙන පුවත්වලින් එම වටිනාකම සම්බන්ධව මතුවන්නේ උග්‍ර ප්‍රශ්නාර්ථයකි.

මවුපියන් සිතාමතා හෝ නොදැනුවත්කමින් දරුවන් විවිධ හිංසාවන්ට ලක් කරන හෝ අඩන්තේට්ටමට ලක් කරන අවස්ථා අපට අසන්නට සහ දකින්නට ලැබීම කනගාටුවට කරුණකි. එබැවින් අද අප සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ සතර බ්‍රහ්ම විහරණයන්ට අනුකූලව දරුවන්ට ආදරය සහ සෙනෙහස ලබා දෙමින් ඔවුන්ව පෝෂණය කරන ආකාරය ගැන මවුපියන්ට දැනුමක් ලබාදීමටය.

දිනක් අප මහා තථාගතයන් වහන්සේ හමුවට පැමිණි දේවතාවක් උන්වහන්සේගෙන් එක් ප්‍රශ්නයක් විමසුවේය.

“කින්සු වත්තු මනුස්සානං” තථාගතයන් වහන්ස මිනිසෙකුට මෙලොවදී ලැබිය හැකි උතුම්ම වස්තුව කුමක්ද? දේවතාවා ඇසුවේය. එවිට තථාගතයන් වහන්සේ මෙසේ වදාළහ.

“පුත්තා වස්තු මනුස්සානා” මිනිසෙකුට මෙලොවදී හිමිවන උතුම්ම වස්තුව ඔවුන්ගේ දරුවන්ය. මෙහි “පුත්තා” යනු පාලි භාෂාවෙන් එන වචනයකි. එහි තේරුම වන්නේ “පුත්‍රයාය” පාලි භාෂාවෙන් “දීතා” යනු දියණියයි. එහෙත් සිංහල ජන සමාජය තුළ අප දියණියටත්, පුත්‍රයාටත් ආමන්ත්‍රණය කරනුයේ “පුතා” ලෙසය. එය ව්‍යවහාරිකව පොදු වචනයක් බවට පත්ව ඇත. මවුපියන්ට මෙලොව ඇති වටිනාම වස්තුව තම පුතා හෝ දියණිය බව බුද්ධ ධර්මය මඟින් ගෙනහැර පාන එක් අවස්ථාවක් ලෙස ඉහත අවස්ථාවද පෙන්වා දිය හැකිය.

බුද්ධ ධර්මය යනු සෑම ලෝක සත්ත්වයකුටම මහා කරුණාව හා මෛත්‍රිය දක්වන අවිහිංසාවාදී ධර්මයක් බව අප කවුරුත් දන්නා කරුණකි.

එබැවින් ආදරය සහ සෙනෙහස ගැනත් බෞද්ධ ධර්මය තුළ ඕනෑ තරම් සඳහන් වේ. ගිහි කාන්තාවක් හෝ පුරුෂයකු තමන්ගේ ළමා කාලය පසු කර තරුණ විය එළැඹෙත්ම විවාහ පත්වීම සිදු කරයි. බෞද්ධ ධර්මය තුළ ගිහියන් විවාහ වනතුරු ආරක්‍ෂා කළ යුතු ධර්මතාවන් ඇත. සිවුබඹ විහරණ යනු ඉන් එක් කරුණකි. මෙය පිදිය යුතු පාරමිතාවක් ලෙසත් ඇතැම් අවස්ථාවල සඳහන් කරයි. සිවුබඹ විහරණවලට අමතරව තෙරුවන් සරණ යෑම පංචශීලය ආරක්‍ෂා කිරීමත් රැකිය යුතු අනෙකුත් ධර්මතා ද්විත්වයට උදාහරණ ලෙස ඉදිරිපත් කළ හැකිය. කාන්තාවක් සහ පුරුෂයෙක් විවාහයට පත්වී, දරුවන් ලැබී, ඔවුන් ජීවත් වනතුරුම මෙම සිවුබඹ විහරණ ධර්මතා ආරක්‍ෂා කළ යුතුය. සිවුබඹ විහරණ යනු මෙත්තා, කරුණා, මුදිතා සහ උපේක්ඛාය.

මෙත්තා

මෙත්තා යනු මෛත්‍රිය වැඩීමයි. මවුපියන් තම දරුවන්ට සීමාවක් නොමැතිව මෛත්‍රිය වඩවන ආකාරය ඉගැන්විය යුතුය. එමෙන්ම අම්මා සහ තාත්තා එය ප්‍රායෝගිකව දරුවාටද ලබා දීම වැදගත්ය. වර්තමානයේ බොහෝ දරුවන් හැඟීම් විරහිතව ආත්මාර්ථකාමීව කටයුතු කරනුයේ ඔවුන් මෛත්‍රිය යන ගුණාංගය නිසි පරිදි තේරුම් ගෙන නොමැති නිසාය. මවුපියන්ද සිතන්නේ මෛත්‍රිය වැඩීම මඟින් පමණක් දරුවන්ව යහමඟට ගන්නට නොහැකි බවය. එම නිසා ඔවුන් දරුවන්ට දඬුවම් කරයි. සැරවැර කරයි. එහෙත් එමඟින් සිදුවන්නේ තම දරුවා තමන්ගෙන් නොදැනුවත්වම අෑත්වීමයි. එය විටෙක දරුවාගේ පෞරුෂ සංවර්ධනයටද අයුතු ලෙස බලපායි.

කරුණා

අප මහා “කාරුණිකයාණෝ” යනුවෙන් බුදුන් වහන්සේව හඳුන්වන්නේ උන්වහන්සේ කරුණාවන්තකමින් අගතැන්පත් නිසාය. අපි බෞද්ධයන් වෙමු. උන්වහන්සේගේ  ධර්ම මාර්ගය අනුගමනය කරන්නෝ වෙමු. එහෙයින් අපද සියලු ලෝක සත්ත්වයාට කරුණාව දැක්විය යුතුය. වර්තමානයේ ඇතැම් මවුපියන් කරුණා විරහිතව කටයුතු කරන අවස්ථා ඕනෑ තරම්ය. රූපවාහිනිය ඇතුළු සමස්ත මාධ්‍ය මඟින් ඒවාට උදාහරණ සැපයිය හැකිය. ඇතැම් මවුවරුන් තම දරුවාට අමානුෂික ලෙස පහර දෙයි – පුලුස්සයි, ගඟට විසි කරයි. නමුත් මවුපියන් සෑම විටම තම දරුවන්ට කරුණාවෙන් සැලකිය යුතුය.

එසේ නොවුණහොත් සමාජයට දායාද වන්නේ මිනිස්කමක් නැති නොමිනිසුන්ය. එබැවින් මවුපියන් සෑම විටම තම දරුවාගේ හැකියාවන් තේරුම් ගෙන ඒවා වර්ණනා කිරීම, ඇඟපත මුහුණ ආදරයෙන් සිඹ ගෙන හොඳ නරක කියා දීම, දඬුවම් නොකිරීම ආදිය ගැන සැලකිලිමත් විය යුතුය. එවිට සංවේදී, ගුණ යහපත් දරුවන් සමාජයටද දායාද වෙයි.

මුදිතා

මුදිතා ගුණාංගය ප්‍රගුණ කිරීමට නම් මෙත්තා සහ කරුණාව හොඳ හැටි ප්‍රගුණ කර සිටිය යුතුය. මුදිතා යනු අනෙක් කෙනාගේ සතුට  දැක සතුට උපද්දවා ගැනීමයි. වර්තමානයේ බොහොමයක් මිනිසුන් තුළ නැත්තේද මුදිතා ගුණයයි. ඔවුන් සෑම විටම අනුන්ට ඊර්ෂ්‍යා කරයි, කුහකකම් කරයි. එසේ සිදුවන්නේ කුඩා කල සිටම ඔවුන්ට මුදිතා ගුණාංගය පුරුදු පුහුණු කර නොමැති නිසාය.

ශිෂ්ටසම්පන්න සහ පිරිසුදු සමාජයක් ගොඩනැඟීමට නම් අවශ්‍යයෙන්ම මවුපියන් දරුවනට මුදිතා ගුණය ඉගැන්විය යුතුයි මෙන්ම එය ප්‍රායෝගිකව ඉෂ්ට කර පෙන්විය යුතුය.

උපේක්ෂාව

උපේක්ෂාව යනු සෑම කරුණක් ගැනම මැදහත්ව බැලීමයි. මවුපියන් සැම වෙලාවකම තම දුවට හෝ පුතාට දරාගැනීම සහ මැදහත් බව ඉගැන්විය යුතුය. තරගයක් ජයග්‍රහණය කළත්, පරාද වුණත්, විභාගයක් සමත් වුණත් නැතත් එය උපේක්ෂාවෙන් දරාගෙන ඊළඟ පියවරට සූදානම් විය යුතු ආකාරය ආදරයෙන් සහ කරුණාවෙන් යුතුව කියාදීම දරුවාගේ ආත්ම ශක්තිය සංවර්ධනයට සහ පෞරුෂ සංවර්ධනයට බෙහෙවින් උපකාරී වෙයි.

වර්තමානයේ බොහෝ මවුපියවරු පවසන්නේ “බලන්නකෛා් එහා ගෙදර ළමයාගෙන් කිසි කරදරයක් නැහැ” කියාය. නමුත් එය ඔබ අතින් සිදුවන බරපතළ වරදකි. ඔබ කිසිම අවස්ථාවක වෙනත් කෙනකු සමඟ ඔබගේ දුව හෝ පුතාව සංසන්දනය නොකිරීම වඩාත් උචිතය. අඩු තරමින් තම සෙසු දරුවන් සමඟ හෝ ඔබගේ එක් පුතෙක් හෝ දුවණියක් සංසන්දනය නොකිරීම වඩාත් වැදගත්ය. මන්ද එමඟින් දරුවාගේ ආත්ම විශ්වාසය කඩවීම, පෞරුෂ කඩා වැටීම සහ දරුවා සමාජය ගැන තරහක් වෛරයක් ජනිත කරගැනීම සිදුවන බැවිනි. එය සෘජුව ඔබටද සමාජයටද අහිතකරය.

එම නිසා නොසෑහෙන තරම් ආදරය, කරුණාව මෛත්‍රිය තම දරුවන් වෙනුවෙන් ලබාදීමට කටයුතු කිරීම වැදගත්ය. ඔබගේ ආදරය සෙනෙහස කොතරම් වුවද එය දරුවාට නොදැනේ නම් හෝ නොපෙන්වන්නේ නම් එයින් කිසිම ඵල ප්‍රයෝජනයක් නොමැත. එම නිසා සමාජ සම්මතයන් බිඳ දමමින් මව සහ පියා තම දරුවන්ට දැනෙන ලෙස අසීමිතව ආදරය දැක්විය යුතුය.

දුමිඳු ලංකා බණ්ඩාර

මහාචාර්ය පූජ්‍යපාද පාතේගම ඤාණිස්සර හිමි