සිංහ කොඩිය එංගලන්තයෙන් ණයට ගත්තාද?

0
18

දෙවැනි එලිසබෙත්  රැජිනගේ රාජකීය  අවමංගල්‍ය උත්සවයේදී සිංහ ධජයකින් දෙන වසා තිබූ අයුරු ලෝකයම දුටුවේය. මේ සිංහ ධජය කුමක්ද යන කුතුහලය රාජකීය අවමංගල්‍ය උත්සවය නැරඹූ මෙරට බොහෝ දෙනකුට පැන නැගී තිබිණි. රැජිනගේ මෘත දේහය සහිත පෙට්ටිය වසා තිබුණේ එංගලන්තයේ රාජකීය ධජයෙනි. එංගලන්ත රාජකීය ධජයේ සිංහ රූපය අපේ ධජයේ සිංහ රූපයට බෙහෙවින් සමානය. නමුත් අපේ ජාතික කොඩියෙහි දකුණතින් ගත් අසිපතක් නැත.

දකුණතින් කඩුවක් ගත් සිංහයා ශ්‍රී  ලංකාවේ ජාතික කොඩියට ආවේ කෙසේද යන්න විවාදයට තුඩු දෙන ප්‍රශ්නයකි. මහනුවර රාජධානියේ කිසිම තැනක කිසිම දිනෙක කඩුවක් අතින් ගත් සිංහයකු සහිත ධජ භාවිත නොවූ බව තමාට ස්ථිරව පැවැසිය හැකි බව සිංහ ධජය  පිළිබඳ පර්යේෂණ සිදුකළ ආචාර්ය ගණනාථ ඔබේසේකර සඳහන් කර තිබේ.

එසේ නම් අපේ සිංහ ධජයේ මුල කොතැනද? මෙහිදී විද්වතුන්ගේ සංවාදයට භාජනය වෙන කරුණු ගණනාවක් තිබේ. ගණනාථ ඔබේසේකරයන් සඳහන් කරන අන්දමට ලන්දේසි ආණ්ඩුකාරයකු විසින් බලපිටියේ මහ කප්පින්න වලව්වේ මුදලිට ප්‍රදානය කරන ලදැයි සැලකෙන පැරණි ලන්දේසි කොඩියක් තිබේ. කඩුවක් අතින් දරා සිටින සිංහයෙක් එහි නිරූපණය වෙයි.

සිංහලයන් විසින් එම ධජය අනුකරණය කරමින් සිංහ රූපයට දේශීය ලක්ෂණ එකතු කරමින් ලන්දේසි සිංහයා විපරීත කර සිංහබාහු වෘතාන්තයට ගැළපෙන සිංහයකු බවට පත්කර ගත්තාද යන මතයද ඉවත දැමිය නොහැකිය.

ලන්දේසීන් විසින් කප්පින්න වලව්වේ මුදලිට ප්‍රදානය කළ ධජය සලාගම කුලයේ උදවිය විසින් ඔවුන්ගේ  ධජය ලෙසද යොදාගෙන තිබේ.

සිංහ කොඩියට අපට තිබෙන ඓතිහාසික උරුමය සහතික කරනු පිණිස ඉතිහාසඥයන් විසින් දක්වන ප්‍රමුඛ සාක්ෂියක් වන්නේ ඓතිහාසික දඹුලු ලෙන් විහාරයේ ඇති ලෙන් සිතුවමකි. දඹුලු විහාරයේ දුටුගැමුණු එළාර යුද්ධය නිරූපිත චිත්‍රයේ දුටුගැමුණු රජුගේ කොඩියෙහි කඩුවක් අතින් ගත් සිංහ රූපය ඇඳ තිබේ.

දඹුලු විහාරයේ සිතුවම් මහනුවර යුගයට අයත්ය. එම සිතුවම් අතර මාර පරාජය දැක්වෙන චිත්‍රයෙහි මාරයා අත තුවක්කුවක් තිබේ. ‍ෙදාඩන්දුව පුරාණ විහාරස්ථානයේ බිතුසිතුවම්වලද පෙරහරක ගමන් කරන තුවක්කු අතින්ගත් සෙබළුන්ගේ රූප ඇඳ තිබේ. එයද සැලකිල්ලට ගත්විට දඹුල්ලේ චිත්‍රය පහතරට චිත්‍ර ශිල්පියකු විසින් හෝ එම බලපෑමට ලක්වූ අයකු විසින් සිතුවම් කර ඇති බව නිගමනය කළ හැකිය. එසේනම් දුටුගැමුණු එළාර යුද්ධය නිරූපිත චිත්‍රයේ කඩුවක් අතින් ගත් සිංහයාගේ රූපය ලන්දේසි පාලන සමයේ 1640දී පහත රට පළාත්වල භාවිත වූ ලන්දේසි කොඩිය අනුසාරයෙන් අඳින ලද්දක් විය යුතුය.

සිංහ කොඩිය පිළිබඳව තිබෙන තවත්  සාක්ෂියක් ලෙස ගැනෙන්නේ 1908දී ඊ.ඩබ්ලිව්. පෙරේරා විසින් ලන්ඩනයේ චෙල්සි රෝහලේ තිබී සිංහ කොඩි තුනක් සොයා ගැනීමය. එයින් දෙකක් කිසිදු ප්‍රයෝජනයක් ගත නොහැකි තත්ත්වයක තිබී ඇත. තුන්වැන්න ඉංගී්‍රසි ශිල්පියකු විසින් මුල් කොඩිය ඇසුරින් සකස් කළ වර්ණ පිටපතකි.  එම කොඩිය පිළිබඳ ප්‍රවෘත්තිය ගැන සැකයක් නැති නමුත් එය ශ්‍රී  වික්‍රම රාජසිංහ  රජුගේ කොඩියද යන්න සැක සහිතය.

ජාතික ධජය සංකල්පයම යුරෝපීය එකකි. නුතන යුරෝපයේ ජාතික රාජ්‍ය නියෝජනය කරන ධජ ලෙස ඒවා භාවිතයට ගැනිණි. ශ්‍රී  ලංකාවේ ජාතික කොඩිය ලෙස සැලකෙන සිංහ කොඩිය මඩකළපුව මන්ත්‍රි සින්නලෙබ්බේ විසින් ගෙන එනු ලැබූ යෝජනාවක් අනුව 1948දී සම්මත වූවකි. ඩී.එස්. සේනානායක අගමැති විසින් පත් කළ කමිටුවකින් එය නිර්දේශ කෙරිණි. 1948 පෙබරවාරි මස 12 වැනි දින මහනුවරදී එම ජාතික කොඩිය ප්‍රථම වරට ඔසවන ලදී.

ඓතිහාසික සාධක අනුව අපේ අනෙක් බොහෝ දේ මෙන්ම සිංහ කොඩියද සිංහලයාට අනන්‍ය වූවක් නොවන බව  පිළිගැනීමට සිදුවේ.

උදේනි