සැබෑ ඉස්ලාමය යනු කුමක්ද?

0
18

යළිත් තවත් අනාගත වක්තෘවරයෙක් පැමිණ නිවැරැදි ඉස්ලාමය ස්ථාපිත කළ පසු එතුමාටද කලින් අනාගත වක්තෘවරයාගේ ඉරණම අත් විය. මෙසේ දේව පුස්තකයට මිනිස් අදහස් ඇතුළු කිරීමත් එහි දිව්‍යම භාවය කෙලසීමත් මිනිසා ඉතිහාසය පුරාවටම තම සිරිතක් කර ගත්තේය. වර්තමානයේ ලොව දකින්නට තිබෙන සියලු ආගම් (ඉස්ලාම් හැර) පෙර සමාජවලට සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් අනාවරණය කරන ලද පුස්තකයන් මිනිසුන් විසින් විකෘති කිරීම්වලට ලක්කර මිනිස් අදහස් ඇතුළු කළ පසු ඒවා විවිධ ශාස්තෘවරුන් පදනම් කරගෙන ව්‍යවහාරයට ගැනුණු දර්ශනයන් වේ. 

අවසාන වශයෙන් සර්වබලධාරී දෙවියන් වහන්සේ සියලු ප්‍රදේශවලටත්, සියලු සමාජවලටත් පොදු වූ එකම අනාගත වක්තෘවරයා වශයෙන් ද යුගාන්තය දක්වා වූ අවසාන අනාගත වක්තෘවරයා වශයෙන් ද මුහම්මද් (සල්) තුමාණන්ව තෝරා පත්කර එතුමාණන්ට අල් කුර්ආනය නමැති දිව්‍යම පුස්තකයද ලබාදුන්නේය. එම දිව්‍යම පුස්තකය අවසානය දක්වා ආරක්ෂා කිරීමේ වගකීමද සර්වබලධාරී දෙවියන් වහන්සේ වන අල්ලාහ්ම භාරගත්තේය.

සර්වබලධාරී අල්ලාහ් පාරිශුද්ධ කුර්ආනයේ මෙසේ සඳහන් කරයි. “මෙම පුස්තකය අපිම පහළ කළෙමු. එය අපිම (අවසානය දක්වා ආරක්ෂා) කරමු” (ශු අල් කුර්ආනය 15:9) මේ ආකාරයට එහි ආරක්ෂාව පිළිබඳ වගකීම භාරගත් දෙවියන් වහන්සේ සියවස් 15ක් තිස්සේ සියලු ආකාරයේ දූෂණවලින් එය ආරක්ෂා කර තිබීම විවෘත හදවතින් එය පරිශීලනය කිරීමේදී දැනගත හැකිය. එසේම මින් ඉදිරියටත් එහි ආරක්ෂාව පිළිබඳව කිසිදු සැකයක් නොමැත.

අල් – කුර්ආනය නම් වූ එම දිව්‍යම පුස්තකය මුහම්මද් (සල්) තුමාණන්ට අනාවරණය කරනු ලැබූ මුල් බස වන අරාබි බසින් ඒ ආකාරයෙන්ම අදටත් පැවතීමත්, එම භාෂාවද මළ භාෂාවක් බවට පත් නොවී ලෝකයේ අති බහුතරයකගේ මවු භාෂාව වශයෙන් ව්‍යවහාරයේ පැවැතීමත් අල් – කුර්ආනයේ ආරක්‍ෂාව ගැන කතා කරන කල ඉතා වැදගත් ලක්‍ෂණයන් වේ.

මෙම සත්‍ය දේව හෙළිදරව්ව ලොවට දේශනා කළ අනාගත වක්තෘ මුහම්මද් නබි (සල්) තුමාණන්ව ළඟින්ම ඇසුරු කළ එතුමාණන්ගේ සමීපතම සගයන් විසින්ම එය ග්‍රන්ථාරූඪ කිරීමත්, එම සගයන් විසින් ග්‍රන්ථාරූඪ කරන ලද මුල් පිටපත් අදටත් පැවතීමත් අල් – කුර්ආනයේ නිරුපද්‍රිත භාවයට කදිම සාක්‍ෂි වේ.

(මුහම්මද් (සල්) තුමාණන්ගේ බෑනා හා එතුමාණන්ගේ සමීපතම අනුගාමිකයෙක් ද වූ ඉස්ලාමීය අධිරාජ්‍ය තුන්වැනි කලිෆා තැන්පත් උස්මාන් (රලි) තුමාගේ පාලන කාලයේ එතුමාගේ නායකත්වයෙන් ලියන ලද මුල්පිටපත් දෙකක් අදටත් සෝවියට් දේශයේ තාෂ්කන්ඩි කෞතුකාගාරයේ හා තුර්කියේ ස්තම්බූර් කෞතුකාගාරයේ දැකිය හැකිය.) අල් – කුර්ආනයේ එහි මුල් බසින්ම කට පාඩම් කිරීම නබිතුමාගේ සමයේ සිට අද දක්වාම මුස්ලිම් සමාජය කලාවක් හැටියට සැලකීමද, එසේ කට පාඩම් කරන අයට සමාජය තුළ වැදගත් කමක් දීම මඟින්ද අල් – කුර්ආනයේ ආරක්‍ෂාව තවත් තහවුරු වේ.

මේ ආකාරයට ලොවේ දැනට ඇති මිනිස් අදහස්වලින් දූෂණය නොවූ අඩු වැඩි කිරීම්වලට ලක් නොවූ හා දෙවියන් වහන්සේ විසින් අනාවරණය කළ පසු සංශෝධනයන්ට ලක් නොවූ එකම දිව්‍යම පුස්තකය පාරිශුද්ධ වූ අල් – කුර්ආනය පමණක් බව ස්ථිරවම ප්‍රකාශ කළ හැකිය.

මේ ආකාරයට දැනට ලොව ඇති එකම ඉස්ලාම් නම් ස්වාභාවික යහමඟ අල් කුර්ආනයට එම අල් කුර්ආනයට විවරණය වූ මුහම්මද් (සල්) තුමාණන්ගේ ජීවන සැලැස්මත් අනුගමනය කිරීම වේ.

මේ අනුව අදට මුස්ලිම් යැයි හැඳින්විය හැක්කේ උප්පැන්න සහතිකයේ අරාබි නමක් සඳහන් වී ජාතිය මුස්ලිම් යැයි සඳහන් කර ඇති පුද්ගලයා හෝ පාරම්පරිකව මුස්ලිම් යැයි හඳුන්වා ගන්නා මවුපියන්ට දාව උපදී යම් සාම්ප්‍රදායික චාරිත්‍රයන් පිළිපදින පුද්ගලයා හෝ නොව, දේව පණිවුඩයේ පළමු කොටස වන පාරිශුද්ධ කුර්ආනයත් එහි දෙවැනි කොටස වන එම කුර්ආනයට විග්‍රහය වූ මුහම්මද් (සල්) තුමාණන්ගේ ජීවන සැලැස්මත් හොඳින් වටහාගෙන පිළිපදින පුද්ගලයාටය.

මේ අනුව ඉස්ලාම් දහමේ මූලාශ්‍රයන් වන්නේ කූර්ආනයත් එම කුර්ආනයට විග්‍රහය වූ දේව වක්තෘ මුහම්මද් (සල්) තුමාණන්ගේ ජීවන සැලැස්මත් පමණි. මෙම මූලාශ්‍රයන් දෙකට අනුව පමණක් සිය ප්‍රතිපත්ති හා ක්‍රියාවන් සකසා ගත් පුද්ගලයා මුස්ලිම් (ඉස්ලාම් නමැති කාර්ය ඉටු කර ගන්නා) වේ. මෙම මූලාශ්‍රයන් දෙක අවුරුදු 1,500කට පෙර මුහම්මද් දේව වක්තෘ තුමාණන් විසින් දේශනා කළ ආකාරයටම අදටත් ජීවමානව පවතී.

ඉස්ලාම් දහමේ මූලාශ්‍ර

මේ මිහිතලය මත මිනිසා පා තැබූ දා සිට ඉස්ලාම් දහමේ එකම මූලාශ්‍රය වන්නේ දේව පණිවුඩය බව අප ඉහත සඳහන් කළෙමු. මෙම දේව පණිවුඩයට අරාබි භාෂාවෙන් කියන්නේ වහී කියාය. ඉස්ලාම් දහමට අනුව මිනිසා තම සියලු ක්‍රියා වහී නම් දේව පණිවුඩයට අනුවම සකසා ගත යුතු බව සඳහන් කළෙමු. මෙම දේව පණිවුඩය කොටස් දෙකකි. එනම්,

1. දෙවියන් වහන්සේ ජිබ්රීල් නම් තම සුර දූතයා මාර්ගයෙන් දේව වකෘවරයාට සෘජුවම පාරායනය කර පෙන්වන ලද ශුද්ධ වූ කුර්ආනයයි. මෙම ශුද්ධ වූ කුර්ආනය අවසාන දේව වක්තෘ මුහම්මද් තුමාණන්ට අවුරුදු විසිතුනක වක්තෘ මෙහෙයේදී ඒකක සර්වබලධාරී දෙවියන් වහන්සේ වන අල්ලාහ්ගෙන් ලැබුණු අවවාද හා අනුශාසනා ඇතුළත් මඟයෙන් වීමයි. එතුමාණන්ගේ අභාවයෙන් පසු සයමසක් ඇතුළත එතුමාව ළඟින්ම ඇසුරු කළ  එතුමාණන්ගේ සගයන් විසින් ග්‍රන්ථාරූඪ කරන ලදී, මෙම ශූද්ධ වූ කුර්ආනය ගැන ඇතැම් කරුණු ඉහත අප සඳහන් කර ඇති අතර මුස්ලිම් අයට මෙන්ම මුස්ලිම් නොවන අයටද මේ ගැන යම් දැනුමක් ඇත.

2. වහී හි දෙවැනි කොටස වන්නේ දේව වක්තෘ මුහම්මද් තුමාණන්ගේ මඟ පෙන්වීමයි. මෙය ශුද්ධ වූ කුර්ආනයේ ප්‍රායෝගික විග්‍රහයයි. ඉස්ලාමීය ව්‍යවහාරයෙන් මෙය හදීස් කියාද සුන්නා කියාද හඳුන්වනු ලැබේ. ශුද්ධ වූ කුර්ආනය මඟින් අල්ලාහ් විසින් කරන ලද අනුශාසනා හා අවවාදයන් අල්පමාත්‍රයක් හෝ උල්ලංඝනය නොකර ප්‍රායෝගිකව තම ජීවිතයෙහි ක්‍රියාත්මක කරමින් සකල ලෝ වැසියාටම පූර්වාදර්ශය සැපයූ ආකරය මෙම හදීස් මඟින් විස්තර කෙරේ. දේව වක්තෘ තුමන්ව ළඟින්ම ආශ්‍රය කරමින් එතුමාගේ අනුශාසනාවට අනුව සිය ජීවිත හැඩගස්වා ගත් සහාභාවරු නමැති එතුමාගේ අනුගාමිකයන් විසින් පසු සියවස්වල ජීවත් වූ සැදෑහැවත් ඥානවන්තයන්ට ප්‍රකාශ කරන විට ඔවුන් විසින් ග්‍රන්ථාරූඪ කර හදීස් ග්‍රන්ථ ලෙස ලොවට ඉදිරිපත් කරන ලදී. එවැනි ග්‍රන්ථ කිහිපයක නම් පහත ඉදරිපත් කරමු.

1. සහීහුල් බුහාරී

2. සහීහ් මුස්ලිම්

3. සුනන් අබු දාවුද්

4. සුනන් තිර්මිදී

5. සුනන් නසාඊ

6. සුනන් ඉබ්නු මාජා

7. මුස්නද් අහ්මද්

8. මුඅත්තා

9. දාරමී

10. දෛයිලමී

11. හාකිම්

12. ඉබ්නු හිබ්බාන්

13.ඉබ්නු හුසෛමා

14. බෛඉහකී

15. තබ්රානී

16. මුස්නද් අල් බස්සාර්

මෙවැනි ග්‍රන්ථවල සැදෑහැවත් දැනුම් දෙන්නන්ගේ දම්වැලෙන් ඉදිරිපත් කෙරෙන හදීස් සහීහ් (නිවැරදි) හදීස් (දේව වකෘතුමාගේ වදන්) වේ. ඒවාට අවනත වීම හා පිළිපැදීම මුස්ලිම් වරයකුගේ අනිවාර්ය යුතුකමයි. ඔහු ශූද්ධ වූ කුර්ආනය පිළිගන්නාක් මෙන්ම මෙයද දේව වදන් ලෙස පිළිගත යුතුය. කුර්ආනය හා සහීහ් හදීස් කාසියක දෙපැත්තක් මෙනි. මෙයින් එකක් පිළිගෙන එකක් ප්‍රතික්‍ෂේප කළ නොහැකිය. මේ දෙකම පිළිගෙන ජීවිතයේ සෑම අංශයක්ම මෙම මූලාශ්‍රයන් දෙකට අනුවම පමණක් හැඩගස්වා ගන්නා පුද්ගලයා පරිපූර්ණ මුස්ලිම්වරයෙකි.

ඒකක දේවියන් වහන්සේගේ දේව පණිවුඩය වන මෙම කුර්ආනයත් සහීහ් හදීසයත් මිනිස් ජීවිතයේ සෑම ප්‍රශ්නයකටම පිළිතුරු සපයයි. උපතේ සිට මරණය දක්වා වූ ලෞකික ජීවිය ආධ්‍යාත්මිකව හැඩගස්වා ගත යුතු ආකාරය මෙම දේව මූලාශ්‍රයන් දෙක මඟින් මනාවටම පැහැදිලි කර ඇත. කෙළ ගැසීම වැනි සුළු කරුණක සිට පාලනය කිරීම වැනි සංකීර්ණ කරුණක් දක්වාම මෙම මූලාශ්‍රයන් දෙකෙන් ඉදිරිපත් කෙරෙන කරුණු  දේව වක්තෘ මුහම්මද් (සල්) තුමාණන් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කර එහි සාර්ථකතාවද ඔප්පු කර ඇති නිසා ලොව දැනට ඇති එකම සහ කදිම යහමඟ මේ දෙක පමණි.

මෙම කුර්ආනය හා සහීහ් හදීස් යන මූලාශ්‍රයන්ට පරිබාහිරව, මේ දෙකෙහි කිසිදු සාක්‍ෂියක් නොමැති යම් දෙයක් ඉස්ලාම් යන නමින් යමෙක් පිළිපැද්දහොත් එය මංමුළාවකි. මෙවැනි මංමුළාවන්ට ඉස්ලාමීය ව්‍යවහාරයෙන් බිද්අත් යැයි කියනු ලැබේ. බිද්අත් යනු නිරයෙන් කෙළවර වන මහා පාපයක් බවට දේව වක්තෘ මුහම්මද් නබි තුමාණෝ අවවාද කර ඇත.

මේ අනුව ඉස්ලාම් යනු කුමක්ද? යන්නත්, මුස්ලිම්වරයකුගේ ක්‍රියාකලාපයන් කෙසේ විය යුතුද? යන්නත් ඔබට පැහදිලි වනු ඇත.

ඉබ්නු ජෙමීල් මහත්මයා විසින් රචිත “ඉස්ලාම් යනු කුමක්ද?” නම් ලිපියෙන් උපුටා ගත්තකි.