සමුගත් බිරියගේ ජීවිතය ජේ‍යාතිෂ ඇසින්

0
195

මෙලොව ජනිත වන ඕනෑම අයකු තම ජීවිත කාලය තුළ මුහුණ පෑමට සිදුවන සෑම වැදගත් දේ ග්‍රහයන්ගේ බලපෑම මත සිදුවන බව සාධක සහිතව ඔප්පු කළ හැකි අවස්ථා උදාවේ. මගේ ජීවිත කාලයේදී මා පෞද්ගලිකව මුහුණ දුන් කරුණක් වුවත් “තරුපති” පාඨකයන්ට හා ජේ‍යාතිෂය හදාරන අයට ප්‍රයෝජනවත් වේ යැයි සිතන බැවින් එම කතාව මෙසේ ලියමි.

මගේ ආදරණීය බිරිය 2022 ජූලි මස 8 වැනිදා සිකුරාදා උදේ 7.00ට පමණ රෝහල් ගතව සිටියදී මා ඉදිරිපිටම මගෙන් මෙන්ම ජීවිතයෙන් සමුගත්තාය. ඇය මගෙන් වෙන්ව යන දින වකවානුද මාද ඊට මුහුණ දෙන වකවානුවද ජේ‍යාතිෂමය වශයෙන් නිරීක්‍ෂණය කරගෙන සිටියෙමි.

1948.10.28 දින මධ්‍යම රාත්‍රි පසුවී විනාඩි 40ට දෙහිවල නැදිමාල දී උපත ලැබූ ඇයගේ අවසන් උපන් දිනය යෙදුණු 2021.10.28 දිනයේදී ලෙඩ ඇඳේ සිටි බිරියට නිරෝගී සුවය පතා අපි දෙන්නට එක්ව ඊළඟ වර්ෂයේදී උපන් දිනයක් සමරන්නට නොලැබෙන බව කීවෙමි. මගේ උපන් දිනය දෙසැම්බර් 21 වැනිදා වෙයි. මගේ බිරිය කටක ලග්නයෙන් හා මකර නවාංශකයෙන් උපත ලබා සිටි අතර පුවපල් නැකැතේ 4 වැනි පාදයෙහි සිකුරුගේ නැකැතින් උපන් බැවින් ඇය ඉතා රූමත් වූවාය.

කටක ලග්නයෙන් හා මකර නවාංශකයෙන් උපත ලැබූ ඇයගේ කේන්දරයේ ග්‍රහ පිහිටීම් මෙසේය.

ලග්නාධිපති සඳු – 2 වැන්න වූ සිංහ රාශියේ මිත්‍රයි. පුවපල් නැකැතේ 4 වැනි පාදයේ වන්නේය. සිකුරුට අයත්ය. දෙවැන්න අධිපති රවි – 4 වැන්නවූ තුලා රාශියේ නීචව තැන්පත් අතර රාහුට අයත් “සා” නැකැතේ 2 වැනි පාදයේ තුන්වැන්න හා 12 වැන්න අධිපති බුධ – 3 වැන්න වූ කන්‍යා රාශියේ උච්ච, මූල ත්‍රිකෝණව හා ස්වක්‍ෂේත්‍රව බලවත් අතර කුජට අයත් “සිත” නැකැතේ 2 වැනි පාදයේ වන්නේය.

හතරවැන්න හා 11 වැන්න අධිපති සිකුරු – තුන්වැන්න වූ කන්‍යා රාශියේ නීචව තැන්පත් අතර, “රවි” ට අයත් උත්‍රපල් නැකැතේ 2 වැනි පාදයේද වන්නේය. පස්වැන්න හා 10 වැන්න කුජ – 5 වැන්නවූ වෘශ්චික රාශියේ ස්වක්‍ෂේත්‍රයි. ශනිට අයත් අනුර නැකැතේ 4 වැනි පාදයේය.

හයවැන්න හා 9 වැන්න අධිපති ගුරු – 6 වැන්න වූ ධනු රාශියේ ස්වක්‍ෂේත්‍රයි. කේතුට අයත් මූල නැකැතේ 2 වැනි පාදයේය.

හත්වැන්න හා අටවැන්න අධිපති ශනි – 2 වැන්න වූ සිංහ රාශියේ “සතුරු”ව පිහිටා ඇත. කේතුට අයත් “මා” නැකැතේ 4 වැනි පාදයේද වන්නේය.

රාහු – 10 වැන්න වූ මේෂ රාශියේ සතුරු රාශිගතයි. කේතුට අයත් අස්විද නැකැතේ 4 වැනි පාදයේය.

කේතු – 4 වැන්නා වූ තුලා රාශියේ සතුරු රාශිගත අතර රාහුට අයත් “අද” නැකැතේ 1 වැනි පාදයේය.

ඇයගේ 22 වැනි දෙර්කාණාධිපති ග්‍රහයා වන්නේ “සිකුරු”ය. කටක ලග්න හිමියන්ට ශුභපල ගෙන දෙන ග්‍රහයන් වන්නේ “සඳු” “ගුරු” සහ කුජය. සෙනසුරු තදබල අපල ගෙනදේ.

ඉහත ග්‍රහ පිහිටීම් අනුව ඇයගේ ජීවිතයේ වැදගත් සිදුවීම් කිහිපයක් මෙහි සටහන් කරමි.

ඇය උපත ලබා මාස කිහිපයකින් ඇයගේ මව මියගොස් ඇත. හත් දෙනකුගෙන් යුත් පවුලක බාලයා වූ ඇයගේ මව මිය යෑමට බලපෑ හේතු කිහිපයක් ඇත. මගේ බිරිය උපත ලබන විට ලග්න ඒරාෂ්ටකයේ අවසන් කොටසද 1952.11.25 දක්වා සෙනසුරු ජන්ම ඒරාෂ්ටකයද ගත කරමින් සිටියාය. කටක ලග්න හිමියන්ට සෙනසුරු තදබල අපල ගෙන දෙන අතර ඇයගේ ජන්ම කේන්දරයේ සෙනසුරු සතුරු රාශිගතයි. එබැවින් කිරි බොන වයසේදීම ඇයට මවු සෙනෙහස අහිමී වී තිබේ. මව ගැන කියවන “සඳු” ග්‍රහයා අව පක්‍ෂයේ වන අතර සතුරු සෙනසුරුගේ පීඩාවට ලක්ව තිබීමද මව අහිමි වීමට බලපා ඇති තවත් ග්‍රහ යෙදුමකි.

2. 1973.11.17 දින සිට 1991.11.17 දක්වා ඇයට රාහු මහ දශාව ලබා තිබිණි. තරුණ වයස පසුවන ගැහැනු දරුවකුට රාහු මහ දශාව ලැබීම විවාහයකට බොහෝ දේ බලපාන බව ඔප්පු වී ඇත. 1973.12.07 දින ඇය මා සමඟ විවාහ වී ඇගේ උපන් ගම අතහැර මගේ නිවෙසට පැමිණියාය. ඇයට මෙම රාහු මහ දශාවද හිතට කරදර, බාධක කාලයක් වූ බව කිව යුතුය.

විවාහ වී 1975.12.05 වැනි දින අපට දුවණියක් ලැබුණු අතර 1978 දී මා තදබල ලෙස රෝගාතුර වී ඇවිද යෑමට අපහසු තත්ත්වයකට පත්විණ. ඇයගේ ජන්ම කේන්දරයේ රාහුද සතුරු රාශිගත වන අතර, රාහු ඇවිද්දවන ග්‍රහයකු බවටද ප්‍රකටය. කොළඹ රැකියාවට යෑමට අපහසු නිසා අප කොළොන්නාව, කොටිකාවත්ත, හිඹුටාන, නාවින්න, ගංගොඩවිල යන ස්ථානවල ගෙවල් කුලියට ගෙන ජීවත්වීමට සිදුවිණි. මා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට ගියේද ඇයගේ උදවුවෙනි. රාහු ඇයව පීඩාවට පත්කළ කාලයත් ඇවිද්දපු කාලයකි.

1997.11.17 සිට ඇයට ගුරු මහ දශාව ලබා 200.11.17 දක්වා පැවැතිණි. ඒ අතර 2006 අප්‍රේල් මස 17 වැනි දින ඇයගේ ත්‍රයිරොයිඩ් ග්‍රන්ථියේ හටගත් පිළිකාවක් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී ශල්‍යකර්මයක් මඟින් ඉවත් කරන ලදී. කටක ලග්න හිමියන්ට ඉතාමත් ශුභපල ගෙන දෙන ගුරු ග්‍රහයා ඇයගේ ජන්ම කේන්දරයේ ස්වක්‍ෂේත්‍ර මූලත්‍රිකෝණව බලවත්ව සිටියදී මෙවැනි දරුණු රෝගයක් හට ගැනීමට ග්‍රහයන්ගේ බලපෑම සොයා බැලීමි. 2004.09.05 සිට 2011.11.14 දක්වා ඇයට සෙනසුරු අෂ්ටම ඒරාෂ්ටකය ලබා තිබූ අතුර ගුරු මහ දශාවේ රාහු අතුරු දශාව 2005.06.23 සිට 2007.11.17 දක්වා අතර සෙනසුරු විදසාව 2006.02.26 සිට 2006.07.15 දක්වා ලබා තිබිණි. මෙය කෙනකුට මාරක ග්‍රහ පිහිටීමකි. සතුරු සෙනසුරුගේ ජන්ම ඒරාෂ්ටකය ලබා  තිබියදී සතුරු රාහුගෙ අතුරු දශාවද නැවැත සතුරු සෙනසුරුගේ විදසාවද, ලබා තිබුණද මට ඇයව පිළිකා රෝගයෙන් නම් ගලවා ගැනීමට වාසනාව ලැබිණි.

එසේ වුවත් මහරගම අපේක්‍ෂා රෝහලෙන් දින 20ක් විකිරණ ප්‍රතිඵල ලබා ගැනීමේ හේතුව මත ඇයට අතුරු ආබාධවලට මුහුණපෑමට සිදුවිණි. පිළිකා රෝගය සුව වුවත් ඇයගේ බෙල්ලේ නහර අක්‍රිය වීම මත හිස කෙළින් තබා ගැනීමට නොහැකිවිය. ඊට වෛද්‍යවරුන්ගේ නිර්දේශ වූයේ බෙල්ලට කොලර් එකක් දමා ගැනීමයි. ගුරු ශුභපල ගෙන දෙන ග්‍රහයකුගේ මහ දශාවක් තුළ මෙවැනි රෝගයක් හට ගැනීම කෙනකුට ප්‍රශ්නයක් විය හැකිය. ගුරු බලවත්ව සිටියත් 6 වැන්න වැනි රෝගස්ථානයේ තැන්පත්වීම ඊට හේතුව විය හැකිය.

ඊළඟ අවාසනාව ඇයට රැගෙන ආවේ 2007.11.17 සිට 2016.11.17 දක්වා සෙනසුරු මහ දශාව ලැබීමයි. මුල් වර්ෂ කිහිපය ඇයට බරපතළ රෝග තත්ත්වයන්ට මුහුණදීමට සිදු වූයේ නැත. බෙල්ලේ නහර අක්‍රිය වීම සුවකර ගැනීමට බටහිර හා දේශීය වෙද මහත්වරුන් වෙත ගියද ප්‍රතිඵල නොලැබිණි.

 බෙල්ලට කොලර් එක දාගෙන වුවද දුවගේ නිවෙස තුළ බොහෝ කටයුතු කළාය. ඇයට අධික රුධිර පීඩනය තිබූ බැවින් විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර ලබා දුනිමි.

2016.04.30 දින ඉතාමත් අවාසනාවන්ත දිනය උදා විණි. එදින උදේ 7.00ට පමණ ඇය අංශභාග රෝගය සෑදී පුටුවක් මත වැටී සිටියාය. අප වහාම ඇය ශ්‍රී  ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කළෙමු. ඒ දිනය වන විට ඇය සෙනසුරු මහ දශාව ගත කරමින් සිටියාය. අතුරු දශාව වූයේ සිකුරුය. 2014.09.08 සිට 2017.11.08 දක්වා සිකුරු අතුරු දශාව වූ අතර විදසාව 2016.04.18 සිට 2016.09.09 දක්වා ගුරු විදසාවයි. සිකුරු ඇයගේ 22 වැනි දෙර්කාණාධිපති ග්‍රහයාද වේ. කටක ලග්න හිමියකුට ලැබිය හැකි බරපතළම අපල තත්ත්වය ඇය අංශභාග රෝගයට ගොදුරු වූ දිනය සටහන් කළ හැකිය. මෙහි ප්‍රතිඵලයක් හැටියට දින 2251ක් කටින් ආහාරයක් ගැනීමට නොහැකිව බඩ විද ඇතුළත් කරන ලද බටයක් මඟින් (peg tube) පිටි කිරි, ලුණු කැඳ, ගස්ලබු, එළවළු හත අටක් සමඟ මාළුද ඇතුළත් සුප් එකක් බාර්ලි ඇට තම්බා බ්ලෙන්ඩර් කර බටය දමා පෙවීමෙන් ඇඳ මත ජීවත් වීමට සිදුවිණි.

සෙනසුරු මහ දශාව ගත කරමින් සිටියදී, එම අෂ්ටම ඒරාෂ්ටකය 2022.04.29 දින ආරම්භ විය. 2021.06.29 සිට 2024.05.05. දක්වා රාහු අතුරු දශාවද 2022.04.19 සිට  2022.10.01 දක්වා සෙනසුරු විදසාවද ඇයට ලැබිණි. තුන්වැනි අෂ්ටම ඒරාෂ්ටකය කටක ලග්න හිමියකුට උදා වීම ජීවිතයේ අවසානය බව ජේ‍යාතිෂයේ දක්වයි. එය සනාථ වීමට මහ දශාවන්, අතුරු දශාවන්, විදසාද ජන්ම කේන්දරයේ අසුබව පිහිටා තිබිය යුතුය. මහ දශාව වූ සෙනසුරු මහ දශාවද විදසාව වූ සෙනසුරු විදසාවද, රාහු අතුරු දශාවද, සතුරු රාශිගත ග්‍රහයන්ට අයත් වූ ඉරණමට මුහුණ දීමට ඇයට සිදු වූවාය.

2022.07.04 දින මගේ බිරියට බඩ හා වමනය යෑමට පටන් ගත්තා. ඇය රෝහල් ගත කිරීමට වෑන් රථයක් සොයා ගැනීමට ගත් උත්සාහයන් වැඩක් වුණේ නැහැ. රට පුරා පැවැති ඉන්ධන අර්බුදය ඊට හේතු වුණා. 5 වැනි දින නගරයේ වෛද්‍යවරයකුට පෙන්වා ප්‍රතිකාර ගත්තද ඇයගේ තත්ත්වය අසාධ්‍ය වන බැවින් මම ජීවිතයේ කෙදිනකවත් අසරණ වී නැති තත්ත්වයට පත්වීමි.” මගේ බිරියට අමාරුයි. ඇය ජීවත් කරගැනීමට උදවු කරපල්ලා” මා හඬ නඟා කෑගැසුවෙමි. මට පිහිටට කවුරුත් ආවේ නැත. ඇයගේ අවාසනාවට පෞද්ගලික ගිලන් රථයක් කොළඹින් ගෙන්වා ගැනීමට මට මතක් වූයේ 7 වැනි දිනයේදීයි.

ඒ අනුව ගිලන් රථයක් ගෙන්වාගෙන මා තනිවම මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ පෞද්ගලික කාමරයකට මගේ බිරිය ඇතුළත් කළෙමි. එදින සවස වන විට ඇයගේ තත්ත්වය ඉතාමත් නරක අතට හැරී ඇති බව වෛද්‍යවරු මා වෙත දන්වා සිටියහ. මා ඇයගේ ඔළුව හා පපුව  අතගාමින් ඇය කළ පින් පෙත් සිහිපත් කළෙමි. ඇය තරමක යහපත් තත්ත්වයක සිටින බව හෙදියන් පැවැසීම නිසා මාද ඉතා වෙහෙසට පත්වී සිටි බැවින් නිදා වැටි වැටී ඇය ළඟ සිටියෙමි. 08 වැනි දින උදේ ඇයට ඉතාමත් අසාධ්‍ය වුණා. මම ඇයගේ හිස සහ පපුව අත ගාමින් සිටියදී උදේ 7.00 ට පමණ මා තනිකර ඇය නික්ම ගියා. ස්වාමිපුරුෂයකුට මෙවන් දර්ශනයක් දක්නට ලැබීමත් මොන තරම් අවාසනාවක්දැයි මට සිතිණි.

1. ඇයගේ ජන්ම කේන්දරය ආශ්‍රයෙන් ගතිගුණ ගැනද සඳහන් කරනුයේ ආධුනිකයන්ට ප්‍රයෝජනවත් වේ යැයි සිතන බැවිනි. ඇයගේ ජන්ම කේන්දරයේ රවි ග්‍රහයා නීචව පවතී. අහංකාරයෙන් තොරයි. ඉතා යටහත් පහත්ව ජීවත් වේ යැයි ජේ‍යාතිෂයේ සඳහන්ය. ඇය නගරයක ඉපදී හැදී වැඩුණද පිටිසරබද හංවැල්ල වැනි ගමකට පැමිණ ගමේ කුඩා දරුවා සිට මහල්ලා දක්වා ඔවුන්ගේ වයස අනුව ඥාතිත්වයෙන් ඇමතුවාය. මගේ මවට, පියාට ඇගේම මවුපියන්ට මෙන්ම, මගේ බාල සහෝදරයන් හතර දෙනාට ආදරණීය අක්කා කෙනකු වූවාය.

2. සිකුරු ග්‍රහයා නීචවීම පතිවත රක්‍ෂා කරන පුහු ආටෝපවලින් තොරව තම ස්වාමිපුරුෂයාට කීකරු බිරියක් වන බව ජේ‍යාතිෂ මතයයි. ඇය මට ආදරණීය බිරියක් පමණක් නොව සෙනෙහෙබර මවක් වූවාය. කරුණවෙන් පිරි සහෝදරියක් වූවාය. කෙදිනකවත් මගේ සිත රිදවූයේ නැත. ලෙඩ ඇඳේ සිටද මා ගන්නා කෑම බීම ගැන පවා විමසුවාය. සැම විටම මට ප්‍රවේශම් වන ලෙස උපදෙස් දුන්නාය.

3. ගුරු ග්‍රහයා ස්වක්ෂේත්‍ර වීම:- ගුරු මහ දශාව ලැබූ 1991 වර්ෂයේ සිට අංශභාග රෝග තත්ත්වයට මුහුණ දෙන දිනය දක්වා සෑම පෝයකටම අටසිල් සමාදම් වූවාය.

මහ මෙව්නාවේ භාවනානුයෝගී භික්‍ෂුන් වෙත තම අතින් උයා – පිහා දානය දුන්නාය. 2004 සිට කඳුබොඩ භාවනා මධ්‍යස්ථානයේ අටසිල් සමාදම් වූ අතර සෑම වර්ෂයක් පාසා කඨින උත්සවයකදී මහ සංඝරත්නය උදෙසා අටපිරිකර පූජා කළාය. ඇයගේ ගමේ පන්සලේ පෝය දිනෙක ධර්ම දේශනාවක් සංවිධානය කර පිරිකර පූජා කළාය. නැති බැරි අයට ඇයගේ බත් පතද, ඇඳුම් පැලඳුම්ද දුන්නාය. මතු මිනිස් බව ලබන සැම ආත්මයකදීම ඇය මගේම වේවා! යි සිතමි.

තව මාස කිහිපයක් ඇතුළත  ඔබ සොයා මමද එන්නෙමි