සත්‍යය සොයා පියෑඹූ ගිනි වැදුණු පියාපත්

0
29

මා ඇය හඳුනා ගන්නේ ‘ගිනි වැදුණු පියාපත්’ තුළින්ම නොවේ. මීට බොහෝ කලකට පෙර එනම් වසර 11-12කටත් පෙර කාලයේ ‘මව්බිම’ පත්තරයේදී දුටු ‘ගිනි වැදුණු පත්තරකාරිය’ ලෙස ය. පත්තරයේ වගකීමක් පැවැරුණු විට දේව නියමයක් සේ එය විධිමත්ව, නිවැරදිව, අවංකව කරන්නට ගිනි වැදුණු කලෙක මෙන් යුහුසුලු වන ඇය පිළිබඳ අතීත මතක මට තිබේ.

සිංහල _ දමිළ සාහිත්‍යයට පමණක් නොව ඒ සංස්කෘතික විසිතුරට, ඒ මානව සහජීවනයට පෙම් බැන්ද ඇය පිළිබඳ වටිනා මතක මට තිබේ. හිටි ගමන් දිගු වරලස ගොතා පිච්ච මල් ගවසා පොට්ටු තියා සුන්දර දමිළ යුවතියක සේ කාර්යාලයට පැමිණ අප අමන්දානන්දයට පත් කළ රමණීය මතක තවමත් සිත රැඳී තිබේ.

සියලු දේට වඩා මිනිසුන්ට ආදරය කරන, උපකාර කරන ගුණාංගය කැටි වූ ඇගේ ‘පින් පොත’ පිළිබඳ මට තවමත් යාන්තමින් සිහියට නඟාගත හැකිය. වරෙක ඇය ළමා නිවාසයක අසරණ කුඩා ගැහැනු දරුවන්ට තමන්ගේ වියදමින් පුංචි කරාබු ගෙන ගොස් පැලඳ වූ සංවේදී අවස්ථාවක් මම ඒ කාලයේ දුටුවෙමි.

සියුමැලි තරුණියක වුවද ඇය විටෙක ගල් බිත්තියක් බිඳගෙන වුව යා හැකි විධියේ සිතුම් පැතුම්වලින් සමන්විත ය. ඇය ලියන දෙය මත, ඇය ලියන අදහස් මත හැමදාම ආඩම්බරකාර ලකුණක් තිබිණ ගැහැනියක් කොහොමත් ආඩම්බර වූවාම ලස්සනය. එහෙත් එය මිනිසුන් නුරුස්නා ආඩම්බරකාරකම නොවේ. තමන් පෙනී සිටින අදහස වෙනුවෙන්, තමන්ගේ නිර්මාණය වෙනුවෙන් දරන සොඳුරු ආඩම්බරකමය.

ඇය සඳරැසී සුදුසිංහය. දැන් ඇය පිළිබඳ අප හැමෝටම ආඩම්බර විය හැකි කරුණක් යෙදී තිබේ. මෙවර සාහිත්‍ය රජත පුස්තක හා විදේ‍යාදය සම්මාන උළෙල දෙකේදී වසරේ ප්‍රශස්තතම කාව්‍ය සංග්‍රහයේ කතුවරිය ලෙස සම්මානලාභී කිවිඳිය ඇය ය. ‘ගිනි වැදුණු පියාපත්’ ඇගේ එම කවි පොතය.

එක්තරා අඳුරු යුගයක, බලය හෙබැවූ නින්දිත දේශපාලනය විසින් අවුළුවන ලද ක්‍රියාවලියකින් ලොව තිබුණු මහාර්ඝ සම්පතක් වූ යාපනය පුස්තකාලය ගිනි තබා අළුදුහුවිලි බවට විනාශ කරන ලද්දේය. සඳරැසීගේ මේ මුළු ග්‍රන්ථයම සමන්විත වී ඇත්තේ ඒ වේදනාවෙන් උපත ලබා ලියැවුණු කවිවලින්ය.

අර මා යට කී අතීතයේදී සඳරැසී වැඩිමනත් ක්‍රියාකාරී වූයේ පුරාවිද්‍යා ගවේෂණ පත්තරකාරියක ලෙසය. ඒ නිසාම ඇතිවුණු සෙවීමේ, හාරා ඇවිස්සීමේ පුරුද්ද, කරුණු තහවුරු කර ගැනීම සඳහා සාක්ෂි සොයා යෑමේ පිපාසය ඇයට ‘ගිනි වැදුණු පියාපත්, සඳහා අතගසන්නට උත්තේජකනය සැපයුවා නිසැකය. මේ ඒ පිළිබඳ මා උකහා ගත් ඇගේ ආත්ම කථනයෙන් බිඳකි.

“දෙවුන්දරතුඩුව පේන මානයේ ඉපදුණු මම යාපනයට පෙම් බඳින්නට ගත්තේ කිසිම විශේෂ හේතුවක් නැතිව. එවකට පුස්තකාලයක් අහිමි මාතර ප්‍රධාන බාලිකා පාසලක ඉපදුණු මට පොත් කියවීමේ පිස්සුවක් තිබුණා. අඩු තරමේ මට මාතර මහජන පුස්තකාලයේවත් සාමාජිකත්වය ලබා ගැනීමට බැරි වුණේ අපි ඒ වන විට දුම්රිය දෙපාර්තමේන්තුවේ නිල නිවාසවල ජීවත් වූ තාවකාලික පදිංචිකරුවන් වූ බැවින්. ඒ වුණත් පුංචි සන්ධියේ කවුරුන් හෝ යාපනයේ ගිනි තියපු පුස්තකාලය ගැන කියනු මගේ මතකයේ තැන්පත් වුණා.

ඊට අවුරුදු විස්සක් පමණ ඉක්ම ගියද ඒ දුක්බර මතකය මා සමඟම තිබුණා. ඒ පිළිබඳ මම දිගින් දිගටම සොයන්නට වුණා.  “මව්බිම” පුවත්පතෙහි සේවය කරන සමයෙහි වරක් මේ පිළිබඳ එවකට සම කර්තෘ පදවිය දැරූ බෙනට් රූපසිංහ මහතා සමඟ කතා කළා. ඔහු මට ඒ වැසී ගිය අඳුරු අතීත මතකය යළිත් ආවර්ජනය කර දුන්නා. එතැන් පටන් මම ඒ පිළිබඳ වඩා සොයන්නට වුණා. පසු කලෙක “ගිනි වැදුණු පියාපත්” බිහිවුණේ එහෙමයි..”

අනතුරුව ඇය මේ අතීත සාක්ෂි සොයා නිරන්තර යාපනේ යන්නට පටන් ගත්තාය. මහ රෑ තැපැල් කෝච්චියේ තනියමද ගියාය. ඇයට යාපනයේ ආදරණීය මිනිසුන්ද ගැහැනුන්ද හමු විය. අප්‍රකටව තිබූ කරුණු ටිකින් ටික කිරිල්ලියක සේ තුඩින් රැගෙන  විත් මේ කවි කූඩුව තැනුවාය. එය ගණනින් කවි 110ක් පමණය. ඉතිහාස සුඛාන්තයක් හෝ ඛේදාන්තයක් අලළා මේ විධියේ කවි පොතක් බිහි වූ දුලබ අවස්ථාව  මෙය විය හැකිය.  ඓතිහාසික දුෂ්ටකමක් පිළිබඳ නූතන පරම්පරාව දැනුවත් කරන්නට සඳරැසීගේ මේ කවි දහර මොන තරම් අගේද?

වනසා දැමූ පොත්ගුල ඇය උපමා කරන්නේ යාල්පා නම් බුදුන්ටය.  තුන්සිත පහදවා වැඳිය යුතු පූජනීය වස්තුවක් ලෙසය. එය කොයි තරම් අනගි යෙදුමක්ද?

කුලුනු ධාරා ලොවට පතුරන

සහස් සත නෙත නිවා සනහන

ජාති, කුල ගොත් බිඳක් නොතකන

මහා දම්කඳ ‍ෙදාවන ලොව හට

යාල්පානම් බුදුන්

වඳිනු මැන පහදවා තුන් සිත (04 පිටුව)

අද ජීවිතයේ 05 _ 06 දශක ගෙවන අපට සාමා _ අමර පිළිබඳ සුන්දර මතක තිබේ. කන්නගී මෙන්ම කෝවලන් ඇත්තේ ඉතිහාස පොත්වලය. පන්සිය පනස් ජාතක පොතේ සඳකිඳුරා සහ සඳකිඳුරි එයි. ගිනි තැබීම සඳහා දකුණෙන් ගිය නරුමයන්ට ඒවා වැඩක් වීද? සඳරැසී එය දකින විධියයි මේ.

සාමා අමර සේම

කන්නගී කෝවලන්ද

සඳකිඳුරි හා සඳකිඳුරාද

මිහිදන් විය

එකම දවසක

එකම තැනක

එක ගින්නක (49 පිටුව)

සත්‍යය වැනසීමේ සහ අදහස් යටපත් කිරීමේ ප්‍රමුඛ අවිය ලෙස ගිනිලෑමද බිය වැද්දීමද ජනතාව ආගම්වාදයෙන්, ජාතිවාදයෙන් රැවටීමද මූලික කරගත් දේශපාලන යුගයක අපි ජීවත් වෙමින් සිටිමු. ඉතිහාසය හාරාඅවුස්සා ඒ සත්‍යය අනාගත පරම්පරාවේ අවබෝධය පිණිස කාවැද්දීමේ අවිය කවිය වුවද කතාව වද එය අද කළ යුතුව තිබේ. එයට සඳරැසීලා වැනි තව දහස් ගණනක් වුව සිටියත් මදිය. රටද ජාතියද අද ගෙනැවිත් පත්කොට ඇත්තේ එවැනි දුර්භාග්‍ය සම්පන්න නරකාදියකටය.

මේ කවි පොතේ නොවුණත් සඳරැසී කවදා කොතැනකදී හෝ ලියා තිබුණු මේ කවි පද දෙකට මා පෙම් බඳින්නේ එහෙයිනි.

හුස්ම නැවතුණු තැනක දිනුමක්

ඇත්තේම නෑ තිලීපන් 

නුඹට තිබුණේ මැරෙන්නට නොව

පණ බෙදන්නයි තිලීපන්

තිස්ස කොරතොට