වාහනයක් Fail වෙන්න පුළුවන්ද?

0
100

වාහනයක් ෆේල් වෙන්න පුළුවන්ද කියල කෙනෙක් ඇහුවොත් මම කියන්නෙ එහෙම වෙන්න පුළුවන් කියලා. වාහනේ යම් යම් දුර්වලතා නිසා එහෙම වුණත් අපේ රටේ කිසිම වාහනයක් ෆේල් කියලා පාරේ අතෑරදාලා තියෙනවා මම තාම දැකලා නෑ. අපි වර්තමානයෙන් ටිකක් ආපස්සට ගිහින් බැලුවම “සදාකල් ඔබ මගේ” කියල සමාජ මතයක් නිර්මාණය කරපු වාහනත් ඕනෑ තරම් තිබුණා.

වාහනේ කූලින් සිස්ටම් එකට අරක්ගත් ලෙඩ ටිකක් නිසා සහ ඩිසයින් එකේ තිබ්බ ප්‍රශ්න ටිකක් නිසා එහෙම කිව්වට ඒ වාහන වුණත් එකක් ජීවිත කාලයම විකුණ ගන්න බැරිව තමන් ළඟ තියා ගනිපු මනුස්සයෙක් මම දැකලා නෑ. පහුගිය කාලේ කොවිඩ් වාතාවරණය නිසා ලංකාවට වාහන ආනයනය නැවැත්තුවම එහෙම කැටගරීස් වෙච්ච වාහනත් අනෙක් වාහන එක්කම විකිණුම් මිල ඉහළ ගිය වාහනයක් බවට පත් වුණා.

ඊට පස්සෙ ඒ වගේ වාහනවල මෑත ඉතිහාසයෙ කතා වෙන්නෙ ඩුවල් ක්ලච් එක ගැන. බ්‍රෑන්ඩ්ස් කිහිපයකම මේ DCT එහෙම නැත්නම් ඩුවල් ක්ලච් ට්‍රාන්ස්මිෂන් එකක් තිබුණු අතර ඉන් කිහිපයක් විතරක් ෆේල් කියන මේ සමාජ අපවාදයට ලක් වුණා. හේතුව තමයි අනෙක් වාහනවලට වඩා ඉක්මනට ඒ වාහනවල DCT එකේ ප්‍රශ්න ඇති වුණ එක. අනෙක් හේතුව තමයි කලර් ලයිට් එකක නැවතිලා බැලුවම ඒ වර්ගයේම වාහන දෙක තුනක් පේන තරමට වාහනේ ජනප්‍රිය වීම.

මොකක්ද මේ හැමෝම ෆේල් කියන DCT?

DCT කියන්නේ ඩුවල් ක්ලච් ට්‍රාන්ස්මිෂන් කියන එක. සාම්ප්‍රදායික මැනුවල් ගියර් බොක්ස් එකක් යම් යම් නවීකරණයන්ට ලක් කරලා ගියර් මාරු කිරීම කම්පියුටර් එකකට භාර දීපු සිස්ටම් එකක්. තවත් සරල කළොත් මේකට ඔටෝ මේටඩ් මැනුවල් ට්‍රාන්ස්මිෂන් එකක් කියන්නත් පුළුවන්. මේ ට්‍රාන්ස්මිෂන් එකෙන් අපිට ලොකු ඇක්සලෂේන් එකක් ගන්න පුළුවන්. අනෙක් වාහනවලට වඩා වෙසෙල් එක හයියෙන් යනවා කියලා මිනිස්සු කියන්න හේතුව ඒක.

එහෙනම් මේ වාහනේ ෆේල් කියන්න හේතු මොනවද එතකොට?

වාහනේ අවුලක් නෑ. ඒ වාහනේ අපේ රටට අපේ මාර්ග තත්ත්වයන්ට නොගැළපෙන එකයි අවුල. ඒ නිසා තමයි මේ වාහන වර්ගයේ බලයලත් අලෙවි නියෝජිතයන් මේ වාහනේ ගෙන්නුවෙ නැත්තේ. හැබැයි වාහනේ ටැක්ස් එක අඩු නම් මේවා ගෙනත් කාට හරි විකුණන වෙනත්  පාර්ශ්ව මේ රටේ ඕනෑ තරම් ඉන්නවා.

එතකොට ක්ලච් එක ගෙවෙන එකට විස¾දුමක් නැද්ද? 

ක්ලච් එක කොහොමත් ගෙවෙනවා. ඒක සාම්ප්‍රදායික මැනුවල් ගියර් බොක්ස් එකක් තියෙන ඕනෙම වාහනේක වෙන්න පුළුවන් වැඩක් සහ ඒක ගෙවෙන කාල සීමාව ඒ වාහනේ ධාවනය වන මාර්ග තත්ත්වය සහ රියැදුරුගේ රියැදුරු ශෛලිය එක්ක වෙනස් වෙනවා. ලක්ෂෙකින් එකක් ක්ලච් ප්ලේට් මාරු කරන වාහන වගේම නුපුරුදු කෙනෙක් ඩ්‍රයිව් කළොත් කිලෝමීටර් විසි තිස් දාහකින් ක්ලච් ප්ලේට් මාරු කරන වාහනත් අපිට හම්බවෙනවා.

ඉතින් ඩුවල් ක්ලච් එකෙත් එහෙමයි. ගෙවීයෑම  ක්ෂය වීමක් තියෙනවා. වැඩේ තියෙන්නෙ මේ ගෙවීයෑමට හේතු වන ට්‍රැෆික්වල ධාවනය කියන කාරණාවට වැඩියෙන්ම මුහුණ දෙන්නේ කොළඹ අවට සහ ජනාකීර්ණ නගරවල තියෙන වාහන ටික. ඉතින් සමහර වාහන ෆේල් කියන සමාජ මතය නිර්මාණය වෙන්නෙ එහෙම ක්ලච් එක ගෙවෙන එක නවත්තන්න බැරි වුණාට. අපිට පුළුවන් ක්ලච් එක ගෙවී යන කාල සීමාව ටිකක් දික් කර ගන්න. ලබන සතියෙ අපි ඒ ගැන කතා කරමු.

මාධව රුබසිංහ