වලින් පස්සේ මනිරත්නම්ගෙ ෆිල්ම් එක හැමෝටම බලන්න පුළුවන්

0
40

ඔහු හෙළ සිනමාවෙහි ප්‍රවීණ රංගධරයෙකි. ටෙලිනාට්‍යත්, නාට්‍ය කලාවත්, සිනමාවත් එකිනෙක පරයා යන අයුරින් ඉටුකිරීමේ ශක්‍යතාවක් ඇති මේ රංගධරයා ඇවිළෙනසුලු මිනිසෙකි. දෙදහස් ‍ෙදාළහේදී “ඔබ නැතුව ඔබ එක්ක” නම් සිනමා සිත්තමෙන් තම රංගනයෙහි ප්‍රබලත්වය විදහා පෑ ඔහු  හෙළ සිනමාව කැලඹූ විශිෂ්ටයෙකි. අද හදගැස්ම හා එක්වන්නේ ප්‍රවීණ රංගධරයෙක්. ඔහු ශ්‍යාම් ෆර්නෑන්ඩු. මේ දවස්වල වැඩකටයුතු ගැන කතා කරනවා නම්?

මේ දවස්වල සිනෙමා චිත්‍රපටය ලංකාව පුරා ප්‍රදර්ශනය වනවා. එහි ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් මහන්සි වෙනවා. වෛද්‍ය කපිල සූරියආරච්චි තමයි එහි අධ්‍යක්ෂවරයා. ඊයෙත් නුවර සහ කුරුණෑගල කියන ප්‍රදේශවල ඒ වැඩ කටයුතු පැවැත් වුණා. බිමල් ජයකොඩි, නයනතාරා වික්‍රමආරච්චි, මේඝ සූරියආරච්චි සහ මම මෙහි ප්‍රධාන චරිත රඟපානවා. ඒ වගේම ඩග්ලස් රණසිංහ, නෙරංජන් සේනසිංහ, රොබින් ප්‍රනාන්දු වැනි ප්‍රවීණ නළු නිළියන් රැසකුත් ඊට රංගනයෙන් එක් වෙනවා. ඒවගේම මම රංගනයෙන් දායක වන ඉන්දීය අධ්‍යක්ෂවරයෙක් වන මනිරත්නම් කියන විශිෂ්ටයාගේ පොන්නියන් සෙල්වන් කියන චිත්‍රපටය ලොව පුරා තිරගත වීම ඇරැඹෙනවා. එය සැප්තැම්බර් 30 ලංකාවේ තිරගතවීම ඇරැඹෙනවා.

රංගනයට පිවිසෙන්න ඔබව අභිප්‍රේරණය  කරපු නිර්මාණයක් හෝ පුද්ගලයෙක් සිටිනවාද?

මාව අභිප්‍රේරණ කරපු ගොඩක් නිර්මාණ වගේම පුද්ගලයන් සිටිනවා. ඉන්දියාව පැත්තෙන් ගත්තොත් ඉර්ෆාන් කාන් කියන්නේ එහෙම කෙනෙක්. ලාංකික සිනමාවේදී ටෝනි රණසිංහ සහ අමරසිරි කලංසූරිය වැනි රංගධරයන් මට ගොඩක් බලපෑවා. ලෝක සිනමාවෙන් අල් පචීනෝ, රොබර්ට් දි නීරෝ, ඩැනියල් ඩේ ලුවිස් වගේ විශිෂ්ටයන් මට ලොකු බලපෑමක් කළා. මේක දිග ලැයිස්තුවක්. නිර්මාණ වශයෙන් නම් එහෙම එකක් කියලා නැහැ. ලාංකික වේදිකා නාට්‍ය තුළ නම් මාව අභිප්‍රේරණය කළේ රාජිත දිසානායක.

ඔබ රඟපෑමකට යොමුවන විට තිරපිටපත පිළිබඳ විශේෂ හැදෑරීමක් කරන කෙනෙක්ද?

ගොඩක් වෙලාවට අපිට චිත්‍රපටයක් තෝර ගැනීමට ලැබෙනවා ඉතා අඩුයි. ඇත්තටම වෙන්නේ අපිව තෝරගන්න එක. අධ්‍යක්ෂවරයා තමයි ඔහුගේ නිර්මාණයට හැකි උපරිමයක් කළ හැකි රංගන ශිල්පියා තෝරා ගන්නේ. මේ වගේ අවස්ථාවකදී ඒ හමුවෙන චරිතයට අනුව පෙනී සිටීම සහ හැදෑරීමක් තමයි ඉටු කරන්න වෙන්නේ. නමුත් ටෙලිනාට්‍යයකට රංගනයෙන් එක්වීමේදී චරිතය පිළිබඳව විශේෂ සැලකිල්ලක් දක්වනවා. වේදිකා නාට්‍ය ගත්විට රාජිත දිසානායක සමඟ තමයි මම ගොඩක් වැඩ කළේ. ධර්මප්‍රිය ඩයස්ගෙ එක් නාට්‍යයකට මම සහභාගි වෙලා තිබෙනවා.

මගේ වේදිකා නාට්‍ය දිවිය සම්පූර්ණයෙන් බැඳිලා තිබෙන්නේ රාජිත දිසානායකගේ නාට්‍යකරණය සමඟ. ලංකාව කියන රටේ වෘත්තීය නළුවෝ කියලා පුද්ගලයො ඇත්තෙම නැහැ. අපි රස්සාවක් ලෙස රංගනයට දායක වුණාට ලෝක සිනමාව සමඟ කිසිම දෙයක් අපිට සමපාත කරන්න බැහැ. සාමාන්‍ය ලෙසකින් අපි චරිතයක් නිරූපණය කරන්න උත්සාහ කරනවා මිසක ඒවා පරයා යෑමේ හැකියාවක් අපිට නැහැ. මම හිතන්නේ ඒ මට්ටමට අපිට කවදාවත් යන්න බැරිවෙයි.

ලාංකික සිනමාව පිළිබඳව ඔබේ අදහස සහ වත්මන් අර්බුදය පිළිබඳ ඔබේ අදහස?

අපිට ඉතා හොඳ සිනමාවක් තිබුණා. අවුරුදු 70 ගණනක් පුරා ගලා ආ සිනමාවේ ශ්‍රී විභූතිය දැන් නැතිවෙලා ගිහින්. ලංකාව ආර්ථික සහ සමාජීය වශයෙන් වැටිලා තිබෙන ආකාරය ගත්තම මේක මොන විධියකට ගොඩ එයිද කියල හිතන්න අමාරුයි. මේ වාතාවරණය තුළ අපිට හිතන්න තිබෙන්නේ ගිය මාසයට වඩා මේ මාසය හොඳයි වගේ සංසන්දනාත්මක නිගමනයකට එළැඹෙන එක. පැරණි ශ්‍රී විභූතිය ගැන කතා කරලා වැඩක් නැහැ. අපි වැටිලා තිබෙන තත්ත්වය අවබෝධ කරගෙන අපිට නැතිවුණේ

මොනවාද? නැත්තේ මොනවාද? යන්න සිතලා බොරුවට හිත රවටා ගන්නේ නැතිව නිර්මාණය ගැන හිතීම තමයි කළ යුතු වෙන්නේ. අපි පොඩි ගෝත්‍රයක් ලෙස රටක් ඇතුළට කොටු වෙන්නේ නැතිව, අනෙකා ගැන අපුල ලෙස බලන්නේ නැතිව සමස්ත සමූහයක් ලෙස වැඩ කිරීමයි වැදගත්. ගෝලීය තත්ත්වය සමඟ සිතලා බලලා ගෝලීය ප්‍රාග්ධනය සමඟ එකතු වෙමින් මේ තත්ත්වයෙන් මිදිලා ඉදිරියට යා යුතුය කියන දෙය තමයි මගේ අදහස.

ඔබ රංගනයෙන් දායක වන නවතම සිනමාපටය ‘ප්‍රාණ’ ගැන කතා කරනවා නම්?

‘ප්‍රාණ’ කාලෙකට පස්සෙ ප්‍රේක්ෂකයට ලැබෙන ඉතා හොඳ නිර්මාණයක් වෙයි. ප්‍රාණ මමත් ඉතා කැපවීමෙන් කළ චිත්‍රපටයක්. මෙයට එක්වුණ සිනමා ශිල්පීන් සහ විදේශීය නළු නිළියන් පවා ඉතා කැපවීමකින් ශ්‍රමය වැගිරූ නිර්මාණයක් ලෙස මම ‘ප්‍රාණ’ දකිනවා. අපි කලින් කතා කළාක් වගේ මෙය ලංකාවෙන් එපිට වෙළෙඳපොළක් සහ ප්‍රේක්ෂක අවධානය දිනා ගැනීමට හැකි මට්ටමේ චිත්‍රපටයක්. මේ චිත්‍රපටය භාෂා තුනකින් නිර්මාණය වීම නිසා විදේශීය වෙළෙඳපොළට විවර වෙයි කියලා මම හිතනවා. මෙහි          ගුණාත්මකභාවයත් ඉතා ඉහළයි. ඒවගේම නෙට්ෆ්ලික්ස්වගේ ෆ්ලැට්ෆෝම් එකකට රීච් කරන්න පුළුවන් තරමට රිච් චිත්‍රපටයක් විධියට මම ‘ප්‍රාණ’ දකිනවා.

ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයා ගැන ඔබේ අදහස සහ ඉතිහාසය මත පදනම් වුණු චිත්‍රපට මේ තරම් ආශාවෙන් වැලඳ ගන්නේ ඇයි?

ලංකාවෙ මිනිස්සු පොදුවේ ගත්තහම ලෝකයේ බොහෝ නිර්මාණ නරඹනවා. යූ ටියුබ්, නෙට්ෆ්ලික්ස් හරහා ඔවුන් ඒවා විඳගන්නවා. ලංකාවේ මිනිස්සු සිංහල සිනමාව නරඹන්නේ ඉතා අඩුවෙන්. ඔවුන්ගේ රසවින්දනය සම්බන්ධයෙන් කිසිදු ප්‍රශ්නයක් නැහැ. ඔවුන්ගේ රසවින්දනය උදෙසා ලංකාවෙන් චිත්‍රපට නිර්මාණය වෙනවාද කියන දෙය අපි අවංකවම හිතලා බලන්න ඕනේ. ඓතිහාසික චිත්‍රපට එනම් ඉතිහාසමය කතාන්දර චිත්‍රපටය ගැන කතා කරනවා නම්.

මීට වසර කිහිපයකට පෙර ඉතා හොඳ ආදායමක් ලැබුවේ ඒ ගණයේ චිත්‍රපට. මේකෙන් කියවෙන්නේ නැහැ ලාංකික ප්‍රේක්ෂකයා මේ වර්ගයේ චිත්‍රපටවලට අසීමාන්තිකව කැමැතියි කියන දෙය. ඒක එක් කාලයක ආපු රැල්ලක්. ඒක අද යම් ලෙසකින් බිඳී ගිහින් තිබෙනවා. අධ්‍යතන සමාජය පාදක කරගෙන නිර්මාණය වුණු චිත්‍රපට ප්‍රේක්ෂකයගේ ඇසට සත්කාර කළාද කියන එක ප්‍රශ්නයක්. ඓතිහාසික කතාවකින් මවන විෂුවල් වර්ල්ඩ් එක ඇහැට ප්‍රියවීම නිසාවෙන් මේ ළැදියාව ඇතිවෙලා තිබෙන්න පුළුවන්. ඒවගේම ඒ දර්ශන තලවල තිබෙන අනුරාගික බව ප්‍රේක්ෂකයාගේ හදවත්වලට ආමන්ත්‍රණය කිරීම නිසාත් මේ වැලඳගැනීම සිදු වෙනවා වෙන්න පුළුවන්.

ඔබේ ඉදිරි වැඩ කටයුතු ගැන කතා කරනවා නම්?

මම රංගනයෙන් දායක වන මනිරත්නම් කියන විශිෂ්ටයාගේ Ponniyin Selvan:1 කියන චිත්‍රපටය තිර ගතවීම සැප්තැම්බර් 30 ඇරැඹෙනවා. එයට සංගීතය සපයන්නේ ඒ.ආර්. රහමන් කියන විශිෂ්ට සංගීතඥයා. ඒවගේම එයට වික්‍රම්, කාර්ති, අයිශ්වර්යා රායි, සරත් කුමාර් වගේ විශිෂ්ටයන් රංගනයෙන් දායක වෙනවා. මේ නිර්මාණය ඉන්දියානු සිනමාවෙත් සිහිනයක් විධියට සැලකෙනවා. ඒවගේම මෙය මගේ රංගන දිවියේත් සන්ධිස්ථානයක්. අපි අපේ අසල්වැසි රටේ මහා සිනමා කර්මාන්තය ගැන හිතනවා හරි අඩුයි. මම හිතන විධියට ඒකත් සමඟ ඒකතු වෙලා ඉදිරියට යන්න පුළුවන් වුණා නම් ඉතා හොඳයි. ‘ප්‍රාණ’ තිරගත වීමෙන් අනතුරුව බොහෝ විට මම රංගනයෙන් දායක වන ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂවරයාගේ ‘ගාඩි’ කියන චිත්‍රපටය තිරගත වීම නොවැම්බර් මාසේ ඇරඹෙනවා.

ගිහාන් සචින්ත