වකුගඩු ආධාර රෝගී ගිණුම්වලට හීන් සැරේ විදින හොර මගඩියක්..!

0
31

වකුගඩු සහ පිළිකා රෝගීන් ජීවිතයේ අනන්තවත් දුක් විඳින පිරිසකි. ජීවිතයත් මරණයත් අතර සටන් වදින ඔවුහු මැරි මැරී උපදින අය වෙති. ශල්‍යකර්මයකින් හෝ වකුගඩු බද්ධ කිරීමෙන් ජීවිතය තවදුරටත් ගැට ගසා ගන්නට ඔවුහු අපමණ වෙහෙසක් දරති. ඒ සඳහා අවශ්‍ය මුදල් සොයා ගැනීමට ඔවුහු දානපතීන්ගෙන් මෙන්ම පරිත්‍යාගශීලීගෙන්ද උදවු උපකාර ඉල්ලති.

මෙවන් රෝගීන් පිළිබඳ තොරතුරු දැනගන්නා ඇතැම් සිත් උණුවන පිරිස් මොවුන්ට නොපැකිළව මුදලින් ආධාර කරති. ඒ අතර තවත් පිරිසක් මෙම අසරණ රෝගීන් රවටා ඔවුන් ඉතා අසීරුවෙන් එකතු කරගන්නා මුදල් කොල්ලකති. වංචා කරති. මේ හේතුවෙන් ශල්‍යකර්මයක් හෝ වකුගඩු බද්ධයක් කරගත නොහැකිව ළතැවෙන පිරිස් මෙන්ම මුදල් නොමැතිවීම නිසා ජීවිතයෙන් සමුගන්නා පිරිස්ද බොහෝ වෙති. මේ නිසා මරණාසන්න රෝගීන් විශාල ප්‍රමාණයකගේ ජීවිත මේ වන විට බරපතළ අනතුරකට ලක්ව තිබේ.

රවීන්ද්‍රද එවන් අයෙකි. ඔහු කැස්බෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු වකුගඩු රෝගයෙන් දැඩි ලෙස පීඩා විඳින්නෙකි.  රෝගී තත්ත්වය සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමෙන් අනතුරුව ඔහු පරීක්ෂා කළ විශේෂඥ වෛද්‍යවරයා නිර්දේශ කර තිබුණේ රවීන්ද්‍රගේ ජීවිතය බේරා ගැනීමට නම් වකුගඩුවක් බද්ධ කළ යුතු බවකි. ඒ සඳහා විශාල මුදලක් අවශ්‍ය බව වෛද්‍යවරයා පවසා තිබිණි. ඒත් ඒ තරම් විශාල මුදලක් රවීන්ද්‍ර සතුව නොතිබිණි.  එමෙන්ම ඒ තරම් ලොකු මුදලක් සොයා ගැනීමට අපහසු බව දත් රවීන්ද්‍ර මුහුණුපොත හරහා තමාට උදවු උපකාර කරන ලෙස ඉල්ලා දැන්වීමක් පළ කළේ වෙන කරන්නට දෙයක් නොවූ හෙයිනි.

එමෙන්ම ඇමැතිය හැකි ජංගම දුරකථන අංකයද ඔහු සිය ෆේස්බුක් හරහා දැනුම් දී තිබිණි. දින කිහිපයක් ගත විණි.  ඔහුට උදවු උපකාර කරන්නට කිහිපදෙනකු ඉදිරිපත් වී තිබිණි. ගිණුමට මුදල්ද බැරවිණි. ඒ අතර ඔහු අමතා කතා කළ තවත් දානපතියෙකි. ඔහු මුල්ලා නමැත්තෙකි.

“මම ඔයාගේ දැන්වීම දැක්කා. මට හරි දුකක් දැනුණා. මම කැමැතියි ඔයාට උදවු කරන්න. මම ඔයාගේ එකවුන්ට් එකට ලක්ෂයක් දාන්නම්. මට ඔයාගේ එකවුන්ට් නොම්මරේ එවනවද.”

මුල්ලාගේ කතාවෙන් රවීන්ද්‍ර දැඩි සතුටට පත්විය. තමාට වකුගඩුවක් ලබා ගැනීමට අවශ්‍ය මුදල් ලබාදීම ගැන ඔහු තරම් සතුටට පත්වූ කෙනකු නැති තරම්ය. ඔහු වහා ලැබුණු ඇමැතුම් අංකයට සිය ගිණුම් අංකය යැව්වේය.

“මම ෆෝන් ඇප් එකකින් තමයි ඔයාට සල්ලි දාන්නේ. ඔයාගේ එකවුන්ට් නොම්මරේට බැංකුවෙන් මැසේජ් එකක් එයි. ඒ නොම්මරේ මට දාන්න. මම ඉස්සෙල්ලා ඔයාගේ එකවුන්ට් එකට රුපියල් පන්සීයක් දාන්නම්. ඒක වැටුණාම ඔයා මට හරි කියලා කියන්න. ඊට පස්සේ මම රුපියල් ලක්ෂයක් දාන්නම්.”

මුල්ලා රවින්ද්‍රට කීවේය.  ගතවූයේ නිමේෂයකි. රවීන්ද්‍රගේ ජංගම දුරකථනයට කෙටි පණිවුඩයක් ලැබිණි. එහි සඳහන් වූයේ රහස්‍ය අංකයකි. ඔහු වහා එම රහස්‍ය අංකය මුල්ලාට යැවීය.

දවසකට දෙකකට පසු හෝ මුදල් ලැබෙතැයි බලාපොරොත්තුවෙන් පසු වූ රවීන්ද්‍රගේ ජංගම දුරකථනයට ඉන් අනතුරුව කෙටි පණිවුඩ  කිහිපයක් ලැබෙන්නට විය. එම පණිවුඩයේ  සඳහන් වූයේ සිය ගිණුමෙන් මුදල් ක්‍රමයෙන් අඩුවන බවය. මින් ඔහු කලබලයට පත්විය. වහා ගිණුම ඇති බැංකුවෙන් ඔහු ඒ ගැන විමසුවේය.

“ඔයාගේ එකවුන්ට් එකේ සල්ලි කවුරු හරි ගන්නවා. ඔයා කාට හරි පින් නොම්මරේ දුන්නද?” බැංකුව ඔහුගෙන් විමසීය. රවීන්ද්‍රට තරු විසිවූයේ එවිටය. තමා මුල්ලා නමැති අයකුට බැංකුවේ රහස්‍ය අංකය ලබාදුන් බව ඔහුගේ මතකයට ආවේය. ඒ සමඟම ඔහු මුල්ලා අමතන්නට උත්සාහ ගත්තේය. එහෙත් මුල්ලාගේ ජංගම දුරකථනය ඒ වන විටත් විසන්ධි කර තිබිණි. වහා ක්‍රියාත්මක වූ රවීන්ද්‍ර බැංකුවට ගොස් ඒ බව සොයා බලද්දී ඔහුගේ ගිණුමෙන් රුපියල් හාරලක්ෂ අසූදාහක් මුල්ලා විසින් ඒ වන විටත් සොරාගෙන තිබිණි. රවීන්ද්‍රට ‍ෙදාලෝ රත්විය. වකුගඩුවක් සොයා ගැනීම සඳහා එක්කාසු කළ මුදල වංචාකරුවකු විසින් සූක්ෂ්ම ලෙස සොරාගෙන ඇති බව වැටහෙන විටත් ඔහු ප්‍රමාද වැඩිය. කරකියා ගත නොහැකි වූ ඔහු මේ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරමින් කියා සිටියේය.

එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහතා විසින් මෙවන් වංචා සහගත අපරාධ විමර්ශන කිරීම යොමුකර තිබුණේ පරිගණක අපරාධ කොට්ඨාසය වෙතටය. එහි අධ්‍යක්ෂ ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ලකී රන්දෙණිය මහතා මේ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම පැවරුවේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන ඒකකයටය.  එහි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉෂාර ගයාශ්‍රී ඒ වෙනුවෙන්ම කැපවුණු පරිණත නිලධාරියෙක් ඒ අනුව විමර්ශන ඇරඹිණ.

පැතුම් මහියංගණය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු වූ අතර ඔහු දරුණු ලෙස පිළිකා රෝගයෙන් පෙළෙන්නකු විය. ඒ සඳහා සැත්කමක් කිරීමට රුපියල් ලක්ෂ විස්සක මුදලක් ඔහුට අවශ්‍ය විය. ඔහු ඒ බව සඳහන් කොට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ දැන්වීමක් පළ කළේය.

මෙම දැන්වීම ද මුල්ලාගේ ඇසට හසුව තිබිණි. ඔහු පෙරදා මෙන් දැන්වීමේ පළ කර තිබූ ජංගම දුරකථන අංකය ඔස්සේ රුපියල් ලක්ෂයක් සැත්කම සඳහා පැතුම්ගේ ගිණුමට දමන බවට පොරොන්දු විය. ඒ බව විශ්වාස කළ පැතුම් බැංකු ගිණුම සහ සංකේත අංකය මුල්ලාට යොමුකරනු ලැබීය. ඔහුට නිවැරැදි සිහිය ලැබෙන විට පැතුම්ගේ පිළිකා ගිණුමෙන් මුල්ලා රුපියල් දෙලක්ෂ හැටදහසක් වංචා සහගත ලෙස ලබාගෙන තිබිණි. මෙලෙස මුදල් සොරා ගැනීම නිසා පැතුම්ට කළ යුතු සැත්කමද කර ගැනීමට නොහැකි විය. අවසානයේ මේ බව දන්වමින් ඔහුගේ සොහොයුරකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන ඒකකයට පැමිණිල්ලක් කළේය. පොලිස් පරීක්ෂක ගයාශ්‍රී ඒ සම්බන්ධයෙන් නිලධාරියකුද යොමුකොට විමර්ශන ආරම්භ කළද ඉකුත් දිනෙක පිළිකා රෝගය උත්සන්න වීමෙන් පැතුම් ජීවිතක්ෂයට පත්විය.

කුඩා දරුවකුගේ පිළිකා රෝගය සුවකර ගැනීම සඳහා නොයෙකුත් පුද්ගලයන් විසින් දරුවාගේ ගිණුමට බැර වූ මුදල් ලක්ෂ ගණනක්ද මෙම සැකකරු විසින් වංචා සහගත ලෙස ලබාගෙන ඇති බව දීර්ඝ විමර්ශනයේදී එම ඒකකය අනාවරණය කර ගත්තේය. කෙසේ වෙතත් මුල්ලා ගැන සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන ඒකකය රහසිගතව තොරතුරු සෙවීය. ඔහු එරාවුර් ප්‍රදේශයේ පදිංචිකරුවකු වුවද ඔහු එම නිවෙසේ නොවීය. තැන් තැන්වල ඔහු රැඳෙන බව විමර්ශන නිලධාරීහු අනාවරණය කරගත්හ.

ඔහු එලෙස තැන තැන රැඳෙන්නේ කිසියම් බියක් නිසා බවද අනාවරණය කර ගැනීමට එම ඒකකයේ නිලධාරීන්ට හැකි විය. මොහොමඩ් නමින් සමාජ සත්කාර සිදුකරන පුද්ගලයකු විය. ඔහුට යූටියුබ් චැනලයක්ද විය. ඔහු එම ගිණුම හරහා නැති බැරි අයට සහ මුස්ලිම් පල්ලිවලට උදවු උපකාර කරගෙන ගියේය. ඒ නිසා ඔහුට සමාජය තුළද කිසියම් ජනප්‍රියතාවක් හිමි විය. මේ බව මුල්ලාද දැනගත්තේය. ඔහු මොහොමඩ් ලෙස පෙනී සිටිමින් අසරණයන්ට උදවු උපකාර  කරන මුවාවෙන් පරිත්‍යාගශීලීන්ගෙන් සහ දානපතියන්ගෙන් මුදල් කඩා ගත්තේය.

වැඩි කලක් යන්නට මත්තෙන් මේ බව මොහොමඩ් දැන ගත්තේය. තමාගේ යූටියුබ් නාළිකාව පාවිච්චි කරමින් වංචා සහගත ලෙස මුල්ලා මුදල් උපයන බව මොහොමඩ්ට වැටහිණි. මොහොමඩ් එදා පටන් මුල්ලා කොටුකර ගන්නට ඔහු පසුපස පැන්නුවේය.  සමාජ මාධ්‍ය ජාලා අපරාධ විමර්ශන ඒකකයද මේ බව දැන ගත්තේය. මුල්ලා මොහොමඩ්ට කොටුවෙතැයි බියෙන් තැන තැන රැඳෙන බව අනාවරණය කරගත හැකි විය. ඒ වන විට එම ඒකකයට මුල්ලාට එරෙහිව පැමිණිලි 7ක් පමණ ලැබී තිබිණි. ඒ සියල්ලම වකුගඩු සහ පිළිකා රෝගී තත්ත්වයෙන් අසාධ්‍ය වූ රෝගීන්ගෙන්ය.  පොලිස් පරීක්ෂක ගයාශ්‍රී මේ සම්බන්ධ ප්‍රගතිය පරිගණක අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි රන්දෙණිය මහතා දැනුවත් කරමින් සැකකාර මුල්ලා කොටුකර ගැනීමට කටයුතු කළේය.

වැඩිදුරටත් සොයා බැලීමේදී මුල්ලා මෙලෙස වංචා සිදුකරන්නේ මෘදුකාංග තාක්ෂණය ගැන මහා අවබෝධයකින් පසුවන්නකු බවට අනාවරණය කරගත හැකි විය. ඔහු කලක් සිංගප්පූරුවේ පරිගණක මෘදුකාංග සම්බන්ධයෙන් ඩිප්ලෝමාවක්ද හදාරා තිබිණි.

සිය සැත්කම් සහ වකුගඩු බද්ධ කිරීම සඳහා ආධාර ඉල්ලමින් රෝගීන් විසින් මුහුණුපොත, සමාජ මාධ්‍ය ජාලා සහ පුවත්පත්වල පළ කරනු ලබන දැන්වීම් සැකකරුගේ අවධානයට ලක්වන අතර ඊළඟට එම දැන්වීම්වල ඇති ජංගම දුරකථන අංකවලට මොහු ඇමතුම් දීම සිදුකරනු ලබන බවත් හෙළිකර ගැනීමට නිලධාරීන්ට හැකිව තිබිණි.

“පස්සේ මෙයා ඒ රෝගීන්ගෙන් තොරතුරු අහනවා. එයාලට උදවු කරන්න කැමැතියි කියනවා. රෝගියාගේ බැංකු ගිණුමේ අංක ලබාගෙන රෝගියකුගේ ගිණුමට සුළු මුදලක් බැර කරනවා. ඉන් පස්සේ මෙයා ඒ මුදල එකවුන්ට් එකට වැටුණාද කියලා අහනවා. ඒ මුදල වැටුණු නිසා රෝගියාත් සතුටු වෙලා මේ පුද්ගලයා ගැන විශ්වාස කරලා බැංකුවෙන් එවන රහස්‍ය අංකය පවා මේ පුද්ගලයාට ලබාදෙනවා. ඒක මෙයා ගන්නේ ඒ රහස්‍ය අංකය ඔස්සේ රෝගීයාගේ ගිණුමට අන්තර්ජාලය ඔස්සේ ඇතුළු වෙන්න පුළුවන් නිසා. ර්ණීඊර්ථී  කේත අංකය අරගන්නේ ඒ නිසයි. ඒ ර්ණීඊර්ථී  අංකය ඔස්සේ රෝගියාගේ බැංකු ගිණුමට රිංගන මේ සැකකරු එයාගේ ගිණුමට බැරවන සල්ලි අන්තර්ජාලය ඔස්සේ එයාගේ ගිණුමට බැර කරගන්නවා. ඒ සඳහා භාවිත කරන ලද ඇප් කිහිපයක්ද අපි හඳුනාගෙන තියෙනවා. අපි ඒ ඔස්සේ මේ පුද්ගලයා ගැන දීර්ඝ විමර්ශනයක යෙදුණා. ඔන්න ඔය අතරේදී තමයි…”

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී සමාජ මාධ්‍යජාලා අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරියකු එසේ සඳහන් කළේය.

ඒ අතර මුල්ලා ගැන අවධානයෙන් සිටි මොහොමඩ්ට මේ අතරතුර කිසියම් තොරතුරක් ලැබී ඇත. ඒ මුල්ලා පිටකොටුව වේල්ලවීදිය ප්‍රදේශයේ ලැගුªම්හලක සැඟව සිටින බවය. පොලිසිය ඔහු දුන් තොරතුරු අනුව වේල්ලවීදිය පොලිසිය එම ලැගුම්හල සෝදිසිකොට මුල්ලා අල්ලා ගත්තේය.

පසුව බුද්ධි තොරතුරු විශ්ලේෂණයකදී මෙම සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට අවශ්‍ය කරන සැකකරුවකු බව ඒත්තු ගියේය. පසුව එම ඒකකයට සැකකරු භාර කෙරිණි.

ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනුණු සැකකාර මුල්ලා පසුව කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. ඔහු කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ කැස්බෑවේ පදිංචි රෝගියාගේ  ගිණුමෙන් රුපියල් ලක්ෂ පහකට ආසන්න මුදලක් වංචා සහගත ලෙස ලබාගෙන තිබීම නිසාය. අධිකරණය සැකකරු ඇප මත මුදාහරිනු ලැබීය. එහෙත් මහියංගණය, කඩුවෙල සහ මහර අධිකරණවල මොහුට එරෙහිව නඩු පවතින බව කියයි.

එබැවින් තමන් සතු බැංකු ගිණුම්වල අංක සහ රහස්‍ය සංකේත අංක ඇතුළු පෞද්ගලික තොරතුරු බාහිර පුද්ගලයන්ට ලබා නොදෙන ලෙස පවසන එම ඒකකය නවීන තාක්ෂණය උපයෝගී කරගෙන එම සංකේත අංක අන්තර්ජාලයට යොමුකර ඒ ඔස්සේ සිය ගිණුම්වල ඇති මුදල් මෙවන් වංචාකරුවන් ලබාගන්නා බැවින් මේ පිළිබඳ දැඩි අවධානයෙන් පසුවන ලෙස අසරණ රෝගීන්ගෙන් මෙන්ම සමස්ත මහජනතාවගෙන්ම පොලීසිය ඉල්ලීමක් කරයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහතාගේ උපදෙස් මත එම දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ලකී රන්දෙණිය මහතාගේ අධීක්ෂණය මත  සහකාර පොලිස් අධිකාරි ජයනෙත්සිරි මහතාගේ මෙහෙයවීමෙන් සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බී.වී. ඉෂාර ගයශ්‍රී ප්‍රමුඛ මහේෂ් චන්ද්‍ර කුමාර (71191), විරංග බණ්ඩාර (68813)  සංජීව ( 93399) කුමාර (64160),  අරුණ ශාන්ත (18913)  සහ මෙන්ඩිස් (70153) යන නිලධාරීහු මේ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූහ.

කීර්ති මෙන්ඩිස්