ලෝකේ වටින් ගෙනා මැණික් රැජිනගේ ඔටුන්නෙන් ගැලවෙයිද?

0
47

දෙවැනි එලිසබෙත් මහ රැජිනගේ අභාවයෙන් පසු රජකමට පත් 3 වැනි චාල්ස් රජු වෙත පැවරෙන වටිනාම වස්තූන් අතර ප්‍රධානම එකක් වන්නේ රාජකීය ඔටුන්නයි. මිල කිරීමට අපහසු තරම් වටිනාකමකින් යුතු මෙම ඔටුන්න පසුගිය දිනවල කාගේත් අවධානයට ලක්වූයේ එය නිතර මහ රැජිනගේ මිනී පෙට්ටිය මත තැන්පත් කර තිබෙනු දැකිය හැකි වූ නිසාය. රාජකීයත්වය හා බැඳී ඇති ප්‍රධානම සංකේතයක් වන මෙය බි්‍රතාන්‍යයේ රජු හෝ රැජින සහභාගි වන සුවිශේෂ නිල උත්සවවලදී පලඳිනු ලබයි.

සෑම වසරකම එරට පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කිරීමේ උත්සවය පැවැත්වෙන්නේ රජුගේ හෝ රැජිනගේ ප්‍රධානත්වයෙනි. එම අවස්ථාව ඔහු හෝ ඇය මෙම ඔටුන්න පලඳින ප්‍රධානම අවස්ථාවකි. ඉදිරියේදී චාල්ස් රජුද මෙවැනි අවස්ථාවල මෙම රාජකීය ඔටුන්න පැලඳ සිටිනු දැකිය හැකි වනු ඇත. බොහෝ විශේෂඥයන් පවසන්නේ මෙය මිල කිරීමට ඉතා අපහසු වස්තුවක් බවයි. ඒ ප්‍රධාන වශයෙන්ම එහි අල්ලා ඇති දියමන්ති සහ මැණික් ගල්වල වටිනාකම නිසාය.

මෙවැනි වටිනා ගල් 3,000ක් පමණ එහි අල්ලා ඇති බව සඳහන් වේ. දියමන්ති 2868ක් ද, සැෆයර්, එමරල්  සහ රූබි වැනි වර්ගවලට අයත් ඉතා වටිනා මැණික් ගල් 33ක් ද, මුතු 273ක් ද මෙහි ඇති බව පැවසේ. රජ පවුලේ ඔටුනු ගැන The Crown Jewels නමින් ග්‍රන්ථයක් රචනා කළ ඇනා කේයි වරක් පවසා තිබුණේ මෙම ගල්වලින් විහිදෙන කාන්තිය කෙතරම්ද යත් ඔටුන්න දෙස සෘජුව  බලා සිටීම පවා අපහසු බවයි.

වර්තමානයේ භාවිත වන ඔටුන්න නිර්මාණය කරන ලද්දේ දෙවැනි එලිසබෙත් රැජිනගේ පියා වූ 6 වැනි ජෝර්ජ් රජු වෙනුවෙනි. ඒ 1937 වසරේයි. ඊට පෙරද වෙනත් මෝස්තරවලින් නිමැවුණු මෙවැනි ඔටුනු භාවිත කර තිබිණි. වත්මන් ඔටුන්නට කලින් භාවිත කළ ඔටුන්න නිර්මාණය කර තිබුණේ වික්ටෝරියා රැජිනගේ කාලයේයි. ඇය සිහසුන දැරුවේ 1837-1901 අතර කාලයේය. වත්මන් ඔටුන්න එම ඔටුන්නට වඩා අඩු බරකින් යුතුව වඩා හොඳින් හිසෙහි රැ‍ෙ¾දන සේ නිර්මාණය කරන ලද්දකි. නමුත් එය පවා කි.ග්‍රෑ. 1.06ක් (රාත්තල් 2.3ක්) බර බව සඳහන් වේ.

මෙහි බර ගැන මහ රැජින ඇතැම් අවස්ථාවල විහිළු කර තිබෙනුද දැකිය හැකි විය. සෑම වසරකම පාර්ලිමේන්තුව විවෘත කරන අවස්ථාවේ මහ රැජින මෙම ඔටුන්න පැලඳ රන් සිහසුන මත අසුන්ගෙන කතාවක් කරයි. ඉදිරි වසර සඳහා රජයේ සැලසුම් ඇතුළත් එම කතාව ඇය කරන්නේ ලියැවිල්ලක් බලාගෙනය. එහිදී මෙම ඔටුන්න නිසා ඇතිවන අපහසුතාව ගැන වරක් මහ රැජින විසුළු ස්වරයෙන් සඳහන් කර තිබුණාය. “කතාව කරන කොට කොළය දිහා බලන්න ඔළුව පහත් කරන්න හරි අමාරුයි. ඒක නිසා කොළය ටිකක් උඩට උස්සගන්න වෙනවා. එහෙම නැත්නම් බෙල්ල කැඩෙන්න පුළුවන්” යැයි ඇය පවසා තිබිණි.

2019 වසරේ ඇය හිස පැලඳ තිබුණේ මෙයට වඩා බරින් අඩු වෙනත් ඔටුන්නකි. ඒ වනවිට ඇය 90 වැනි විය පසු කර සිටියාය. පාර්ලිමේන්තුව විවෘත කිරීමේ අවස්ථාවට මහ රැජින අවසන් වරට සහභාගි වූයේ 2021 වසරේයි. එම වසරේ ඇය ඔටුන්නක් පැල¾දුවේම නැත. මෙම රාජකීය ඔටුන්නෙහි ඇති වටිනාම දියමන්තියක් වන්නේ කලිනන් – 2 (Cullinan-2) නමැති දියමන්තියයි. එය කැරට් 317ක දියමන්තියකි.

“අප්‍රිකාවේ දෙවැනි තාරකාව“ නමින්ද එය හ¾දුන්වනු ලැබේ. එහි ඇති විශේෂත්වයක් වන්නේ මෙතෙක් සොයා ගන්නා ලද විශාලතම දියමන්තියෙන් කපා ගන්නා ලද්දක් වීමය.  අප්‍රිකානු කලාපයේ ට්‍රාන්ස්වාල් නමැති යටත් විජිතයක සිටි පාලකයන්  මෙම දියමන්තිය 1905 වසරේ බි්‍රතාන්‍යයේ 7 වැනි එඩ්වඩ් රජුට තෑගි කර තිබිණි. ඒ ඔහුගේ 66 වැනි උපන් දිනය වෙනුවෙනි. 7 වැනි එඩ්වඩ් රජු රජකම දැරුවේ 1901-1910 අතර කාලයේයි.

කෙසේ වෙතත් Imperial State Crown නමින් හැඳින්වෙන මෙම ඔටුන්න බි්‍රතාන්‍යයේ රජුගේ හෝ රැජින ගේ අභිෂේක මංගල්‍යයේ දී හිස පලඳවන්නේ නැත. එම අවස්ථාවේ පළඳවනු ලබන්නේ ශාන්ත එඩ්වඩ්  ගේ ඔටුන්න (St Edward’s Crown) නමින් හැඳින්වෙන වෙනත් ඔටුන්නකි. 13 වැනි ශත වර්ෂයේ සිටම අභිෂේක මංගල්‍යයන්හි දී හිස පළඳවනු ලබන්නේ මෙම ඔටුන්නයි. කෙසේ නමුත් මේ වනවිට භාවිත වන්නේ එහි මුල් ඔටුන්න නොවේ. එම මුල් ඔටුන්න 1649 පමණ විනාශ වන්නට හෝ විකුණා දමන්නට හෝ ඇති බව සඳහන් වේ.

මේ වනවිට අභිෂේක මංගල්‍යයන්හි දී භාවිත වන ශාන්ත එඩ්වඩ් ගේ ඔටුන්න නිර්මාණය කර තිබුණේ 1661 වසරේ 2 වැනි චාල්ස් රජුගේ අභිෂේකය වෙනුවෙනි. ඒ අනුව පෙනෙන්නේ එය වසර 360ක් පැරණි ඔටුන්නක් බවයි. කෙසේ හෝ වේවා, අභිෂේක මංගල්‍යයෙන් පසු මෙම ඔටුන්න රජු හෝ රැජින විසින් භාවිත කෙරෙන්නේ නැත. ඒ එය ආගමික සම්බන්ධයක් ඇති වස්තුවක් වන බැවිනි. එයින් පසු නිල උත්සවවලදී හිස පලඳිනු ලබන්නේ කලින් සඳහන් කළ Imperial State Crown නම් ඔටුන්නයි.

මෙම ඔටුනු දෙකම භාවිත නොකරන අවස්ථාවල මහජනතාවට දැකගත හැකි අයුරින් ප්‍රදර්ශනය කරනු ලැබේ. ඒ ලන්ඩන් කුලුනේ (Tower of London) පිහිටා ඇති මැණික් නිවහනේය. පසුගිය වසර 600ක පමණ කාලය තුළ රජ පවුලේ සියලු ඔටුනු සහ මුතු මැණික් තැන්පත් කර තිබෙන්නේ මෙම ස්ථානයේයි.

මේ අතර රජ පවුලට අයත් තවත් දියමන්තියක් සම්බන්ධයෙන් මේ වනවිට විශාල ආන්‍ෙදා්ලනයක් ඇති වී තිබේ. එය හැඳින්වෙන්නේ කලිනන් – 1 හෙවත් අප්‍රිකාවේ මහා තාරකාව යන නමිනි. කැරට් 500කට ආසන්න මෙම දියමන්තියද කලින් සඳහන් කළ කලිනන් – 2 දියමන්තියද එකම විශාල දියමන්තියකින් කපා ගන්නා ලද ඒවාය. කලිනන්-1 දියමන්තිය සවි කර තිබෙන්නේ රජ පවුලට අයත් යෂ්ටියකයි.

මෙම දියමන්තිය  සම්බන්ධයෙන් ආන්‍ෙදා්ලනයක් මතුව ඇත්තේ දකුණු අප්‍රිකානුවන් මෙය නැවත සිය රටට භාර දෙන ලෙස  ඉල්ලා සිටීම නිසාය. මෙය බි්‍රතාන්‍යය තම රට පාලනය කළ සමයේ තම රටෙන් නීති විරෝධී ආකාරයෙන් පැහැර ගන්නා ලද්දක් බව ඔවුහු පවසති. මෙම දියමන්තිය ආපසු ඉල්ලා මේ වනවිට අන්තර්ජාලය හරහා පෙත්සමක්ද අස්සන් කෙරෙමින් ඇති බවත්, දහස් ගණනක් මේ වනවිට ඊට අස්සන් තබා ඇති බවත් මාධ්‍ය වාර්තා කර තිබිණි.

සනත් වික්‍රමගේ