ලංකාව වගේ නෙවෙයි ජාත්‍යන්තරය අපේ වැඩ අගයනවා

0
43

කොහොමද මේ දිනවල වැඩකටයුතු?

මේ දිනවල මම  චිත්‍රපටයක වැඩ කටයුතු සඳහා සූදානම් වෙමින් සිටිනවා. ඒ වගේම සාහිත්‍ය මාසය වෙනුවෙන් පොතක් එළිදක්වන්න බලාපොරොත්තුවක් තිබුණා. නමුත් කඩදාසි ප්‍රශ්නය නිසා එය තරමක් ප්‍රමාද වුණා. මේ වැඩකටයුතු සමඟ මම තරමක් කාර්යබහුලයි.

ඔබගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුණු stranger කෙටි චිත්‍රපටයට පසුගියදා අන්තර්ජාතික සම්මාන හතරක් හිමිවුණා. ඒ පිළිබඳව මුලින්ම කතා කරමු?

stranger කෙටි චිත්‍රපටය කෙටි කතාවක්  පාදක කරගෙන තමයි නිර්මාණය වුණේ. එය විරාජ් කරුණානන්ද අතින් ලියැවුණු කෙටිකතාවක්. stranger චිත්‍රපටය නිෂ්පාදනය කළෙත් විරාජ් කරුණානන්ද.  තමිල්නාඩුවේ පැවැත්වුණු white pearl international film festival එක මඟින් තමයි අපිට මෙම සම්මාන හිමිවුණේ. එහිදී හොඳම නිෂ්පාදනය, හොඳම තිර රචනය, හොඳම කෙටි චිත්‍රපටය සහ හොඳම කෙටි චිත්‍රපට අධ්‍යක්ෂණයට හිමි සම්මාන  මෙම චිත්‍රපටයට හිමිවුණා.

ඒ වගේම මීට පෙර stranger චිත්‍රපටය Tagore international film festival නියෝජනය කරමින් හොඳම නිෂ්පාදනය සඳහා සම්මානයෙන් පිදුම් ලැබුවා. ඒ වගේම Golden leaf international film festivalහිදීත් හොඳම නිෂ්පාදනයට හිමි සම්මානය ලබා ගත්තා. The buddha film festivalහිදී හොඳම විදෙස් භාෂා කෙටි චිත්‍රපටයට හිමි සම්මානයෙන් පිදුම් ලැබීමට අපි වාසනාවන්ත වුණා.

stranger කෙටි චිත්‍රපටය සඳහා ඔබ නළු නිළි වරණය සිදු කළේ කෙසේද?

මේ චිත්‍රපටය සඳහා  රංගන දායකත්වය ලබා  දුන්නේ දක්ෂතා සහිත රංගනය පිළිබඳ හැදෑරූ  එහෙත් රංගනය වෙනුවෙන් අවස්ථාවක් නොමැති සාමාන්‍ය තරුණ පිරිසක්. ඔවුන් කලාවේ  ප්‍රසිද්ධ චරිත නොවෙයි. නමුත් මම ඔවුන් සමඟ වැඩ කරන්න කැමැතියි. එයට හේතුව වන්නේ  ඔවුන් සතුව  තිබෙන අවංකකම සහ කැපවීම. අපිට ලැබෙන පළමුවැනි අවස්ථාවෙන්ම මිනිස්සුන්ගේ මතකයේ රැඳෙන විධියට වැඩක් කරන්න කියලා මම ඔවුන්ට නිතරම පවසනවා.

මේ චිත්‍රපටය සඳහා  අපේ ලොකු බජට් එකක් තිබුණෙ නැහැ. අපි බොහොම සකසුරුවම් විධියට තමයි වැඩ කටයුතු සිදුකළේ.  අපි  මෙහි රූපගත කිරීම් කළෙත් දවස් දෙකක් ඇතුළත. තමන්ගේ වැඩේ උපරිමයෙන්ම කරන පිරිසක් තමයි මේ චිත්‍රපටය තුළ රඟපෑවේ. සම්මානයක් ලැබෙනවා කියන්නේ ඔවුන් ඔවුන්ගේ වගකීම නිවැරැදිව ඉටු කර තිබෙනවා කියන අදහසනේ.

ඔබ නිතරම සමාජයට යම් දෙයක් ලබා දීමට උත්සාහ කරන චරිතයක්. එහිදී ඔබ මුහුණ දෙන අභියෝග ගැන කතා කළොත්?

මම පොතක් ලිව්වත් ඒක මාර පොතක් කියන තැනට එන්න අවශ්‍ය නැහැ. ඒක වෙනස් පොතක් කියන සංකල්පය මිනිස්සුන්ගේ ඔළුවට ගියානම් මට ඇති. මම හිරු එකේ අදිසි වැඩසටහන කළා. ඒක තමයි ලංකාවේ මුල්ම හොල්මන් වැඩසටහන. ඒ වගේම මම කරපු  ආයෙමත් ආදරෙන් වැඩසටහන ඒ කාලයේ  බොහොම ජනප්‍රිය වුණා.

මම මේ විෂය ඉගෙන ගත්තු පුද්ගලයෙක්. මම නිර්මාණයක් කරන්නේ හැම විටම සමාජයට නැති දෙයක් ලබා දීම සඳහායි. මගේ  ඕනෑම  නිර්මාණයක් සඳහා පාදක වෙන්නේ මගේ සංකල්පයන්. අපි දැන් ජීවත් වෙන්නේ ඩිජිටල් යුගයක. ඒ නිසා තාක්ෂණය සමඟ තමයි මම සියලු වැඩකටයුතු කරගෙන යන්නේ. මොකද  අද ගොඩක් අය ගැවසෙන්නේ තාක්ෂණය සමඟ. තිබෙන දෙයක් අරගෙන මම නිර්මාණයක්  කරන්නේ නැහැ. අලුතින්ම දෙයක් හිතලා තමයි මම දෙයක් නිර්මාණය කරන්නේ. නවකතාවක් වුණත් ලියන්නේ මේ යුගයට ගැළපෙන විධියට.

මේ වනවිට ඔබට ලැබී තිබෙන්නේ ජාත්‍යන්තර සම්මාන පමණයි. ලංකාවෙහි පවත්වන සම්මාන උළෙල තුළ ඔබට යම් අසාධාරණයක් වුණා කියලා ඔබ විශ්වාස කරනවාද?

මම ලංකාවේ පවත්වන  සම්මාන උළෙල විශාල ප්‍රමාණයකට නිර්දේශ වී තිබෙනවා. එක අවස්ථාවක මම නිර්දේශ වුණු සම්මාන උළෙලක  මට සම්මානයක් ලැබුණේ නැහැ. එදා සම්මාන උළෙලේ නිර්දේශ වී තිබුණු නම් තුනට අමතරව වෙනත් නම් දෙකක් දාලා වෙනත් කෙනකුට සම්මාන ලබා දුන්නා. මගේ වැඩසටහන්වලට වඩා ඉතාම බාල මට්ටමක වැඩසටහන්වලට සම්මාන දීපු අවස්ථා අපමණ තිබුණා. මට ඒක ලොකු ගැටලුවක්. නමුත් මේ වන විට ජාත්‍යන්තර සම්මාන පහළොවක් පමණ මට ලැබී තිබෙනවා. අපේ රටේ සම්මාන ලැබෙන්නේ නැතිව මට කොහොමද ජාත්‍යන්තර සම්මාන ලැබෙන්නේ. එකම හේතුව තමයි ජාත්‍යන්තරය අපි කරන වැඩ අගයනවා. ලංකාව තුළ එහෙම දෙයක් නැහැ.

ඔබ කලා ලොව විවිධ ඉසව් ස්පර්ශ කරනවා.   අධ්‍යක්ෂවරයෙක් විධියට, මාධ්‍යවේදියෙක් විධියට ඔබ ඒ භූමිකාව වෙනුවෙන් කරපු කැපකිරීම් මතක් කරමු.

මම මුලින්ම නවකතාවක් ලිව්වා. පසුව මාධ්‍යවේදියෙක් විධියට වැඩ කළා. කැමරාව සහ රූපවාහිනිය මුණගැසුනට පසුව මම කළේ  පත්තරවල සහ පොත්වල තිබෙන දේවල් රූප බවට පත් කිරීම. මගේ නිර්මාණවලට ප්‍රධාන භූමිකාව වුණේ පත්තර කලාව. අපි යම් විෂයක් හදාරලා යන්නේ යම් රාමුවක් තුළට. ඒ රාමුව තුළට කොටු වීමෙන් පසු  අපි උත්සාහ කරන්නේ  අපි කොටුවන රාමුව ඉවත් කරලා අපි ඉගෙන ගත් දෙයක් ප්‍රායෝගිකව ක්‍රියාවට නංවන්න. ඉගෙන ගන්නා දේවල් ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීම තමයි අපි මූලික වශයෙන් කළ යුතු වන්නේ. එය තමයි නිර්මාණකරුවෙක් සතුව තිබෙන වැදගත්ම දෙය.

අද සිටින තරුණ පිරිසෙහි කලාව පිළිබඳ තිබෙන අවබෝධය ඔබ දකින්නේ කොහොමද?

ඇතැම් තරුණ දරුවන්ට කලාව පිළිබඳ ලොකු අවබෝධයක් තිබෙනවා. අද සමාජ මාධ්‍ය සාමාන්‍ය දෙයක් බවට පත් වී තිබෙනවා. සමාජ මාධ්‍ය පැවැත්මක් සඳහා යොදා ගන්න අපහසුයි. අද කලා ලෝකයේ ඉන්නේ පායලා බැහැලා යන තරු. ඔවුන් අහසේ රැඳෙන්නේ නැහැ. අහසේ රැඳෙන තරුවලට අවස්ථාව නැහැ. එයාලට තමන්ගේ දක්ෂතා පෙන්වන්න තිබෙන අවස්ථා හරි අඩුයි.

අපි නිතරම පැළවෙන්නට අවශ්‍ය වෙන්නේ සරු පසක සහ අපිට වැඩෙන්නට අවශ්‍ය මිනිසුන් ළඟ. ලංකාවේ මේ වනවිට දක්ෂයන්ට හිමිවන අවශ්‍යතා විරලයි. අද බොහෝ දෙනකුට  තමන්ගේ දක්ෂතාවට  තැනක් නැහැ. අපි සාර්ථක වෙන්නනම් නිතරම අභ්‍යාසවල නිරත වෙන්නට ඕනේ. හැම අංශයකම තිබෙන දුර්වලතාවක් තමයි අධ්‍යයනය නොකිරීම. එම නිසා කලාව වෙනුවෙන් උනන්දුව තිබෙන අයට අනාගතයේ  අවස්ථාවක් ලැබුණොත් කලා ක්‍ෂේත්‍රයේ යම් පැවැත්මක් තියේවි. නැතිනම් අපිට හැමදාම මෙහි තිබෙන අඩුපාඩු ගැන කතා කර කර ඉන්න පුළුවන්.

අද ඔබ සතුව සිටින දැවැන්ත කලාකරුවා බිහිවීමට ඔබගේ අතීතයත් බෙහෙවින්ම ඉවහල් වී තිබෙනවා. ඒ අත්දැකීම් ගැනත් කතා කළොත්?

මගේ ගම බදුල්ල. මගේ තරුණ කාලය ගෙවුණේ  බදුල්ල සහ කොළඹ අතර. මම උසස් අධ්‍යාපනය ලැබුවේ කොළඹ. මගේ ගමනට උදවු කරන්න හොඳ ගුරුවරු මුණගැසුණා. හොඳ යහළුවො මුණගැසුණා. මට ලැබුණු සෑම  අවස්ථාවකින්ම  මම නිවැරැදි  ලෙස  ප්‍රයෝජන ගත්තා. 1987 වර්ෂයේ තමයි මම  ලියන්න පටන් ගත්තේ. 1995 තමයි කොළඹට පැමිණියේ. 1998 වර්ෂයේ තමයි මගේ පළමුවැනි ටෙලි නාට්‍යය  නිර්මාණය කළේ. ඒ වගේම මාධ්‍යවේදියෙක් විධියටත් වසර දෙකක් පමණ වැඩ කළා. 2000 වර්ෂයේ අවසානයේදී මම සිරස මාධ්‍ය ආයතනයට බැ¾දුණා. එහි වසර අටක් පමණ සේවය කළා. පසුව මම හිරු නාළිකාවෙත් වසර පහක් පමණ වැඩ කටයුතු කළා. එහෙම බැලුවොත් වසර විසි තුනක් පමණ මගේ සේවය මම ලබාදී තිබෙනවා.

ඔබ ඔබෙන් පසුව කලාවට පසු ගෝල පරම්පරාවකුත් නිර්මාණය කළා. ඒ ගැනත් කියමු?            

 ඔව්. මම බිහිකළ බොහෝ දරුවන් මාධ්‍ය ආයතනවල වැඩ කටයුතු කරගෙන යනවා. ඇතැම් දරුවන් රංගනයෙහි නිරත වෙනවා. මම ගුරුවරයා යනුවෙන් අමතක වුණු  දරුවන් පිරිසකුත් සිටිනවා. ඒ නිසා මම බිහි කරපු ප්‍රසිද්ධ ගෝලයන්ගේ නම කියන්න මම කැමැති නැහැ. මම ගුරුමුෂ්ටියක් නැතිව හැම දෙයක්ම ඔවුන්ට කියලා දෙනවා.

ඔබේ වැඩකටයුතුවලට පවුලෙන් ලැබෙන සහයෝගය කොහොමද?

මම විවාහකයි. මට දුවකුයි පුතෙකුයි සිටිනවා. ඔවුන් දෙදෙනාම  දැනට අධ්‍යාපනය ලබනවා. මගේ බිරිය තමයි මගේ වැඩකටයුතුවලට සහයෝගය ලබා දෙන්නේ. දුව චිත්‍ර අංශයෙන් ජාත්‍යන්තර සම්මාන පවා ලබාගෙන තිබෙනවා. ඔවුන් කලාවෙහි නියැළේවිද කියලා කියන්නට අමාරුයි.

දිනූෂා මනෝරි නිශ්ශංක

සචිනි බස්නායක