රොක් කියන්නෙත් ඇත්කඳ ලිහිණියාටමද?

0
75

අද අපි කතා කරන්න යන්නේ ටිකක් අමුතු ජාතියෙ කතාවක් ගැන. පියාඹන කතාවක් ගැන කියමුකො. ජේම්ස් ජොයිස් එයාගෙ පිටු 730කින් යුතු යුලිසස් නවකතාවෙ එකතැනක මෙන්න මෙහෙම ලියනවා. “Sinbad the Sailor and Tinbad the Tailor and Jinbad the Jailer and Whinbad the Whaler and Ninbad the Nailer and Finbad the Failer and Binbad the Bailer and Pinbad the Pailer and Minbad the Mailer and Hinbad the Hailerand Rinbad the Railer and Dinbad the Kailer and Vinbad the Quailer and Linbad the Yailer and Xinbad the Phthailer.” ජොයිස්ගෙ පොත් පරිවර්තනය කරනවා තියා හිතා ගන්නවත් බෑ. ඒව ඒ තරමටම සංකීර්ණයි. අනික ජොයිස් කියන්නෙ සාහිත්‍ය ලෝකයේ නූතනත්වයට අතිශයින්ම බලපෑම් කරපු ලේඛකයෙක්.

මේකෙ කියවෙන්නෙ වෙළෙඳාමේ ගිය ඉස්ලාම් නාවිකයෙක් ගැන සහ එයා මුහුදෙදි ලබපු අත්දැකීම් ගැන. අපි ගොඩක් හිතන්නෙ නැති වුණත් ධනවාදය බිහිවෙන්න ගොඩක් බලපෑම් කරපු පිරිසක් තමයි ඉස්ලාම්වරු කියන්නෙ. බින්දුව කියන අංකය හොයා ගත්තට පස්සෙ ඕන තරම් බින්දු අගට එකතු කර කර ගණින්න පුළුවන් වුණා. අපි දැන් බලමු මේ නාවිකය ගැන. සින්බෑඩ් මතකනෙ, අපි පොඩි කාලේ අපේ ළමා ලෝකෙ බයකරපු ඒ අරුම පුදුම සත්සමුදුරු කතාව. 2003 ආපු Sinbad : Legend of the Seven Seas කාටූන් එක ඇත්තටම නොස්ටැල්ජික් (අතීතකාමය) මතකයක්.

මහ ගෙදර J.D. බාප්පට හඬ කවපු පුද්ගලයම තමයි සින්බෑඩ්ටත් හඬ කැවීම් කළේ. පස්සෙ තමයි දැන් ගත්තෙ ඒ වෙන කවුරුත් නෙමෙයි තෙලිජ්ජවිල බින්දුසිරිට රඟපාපු ධර්මප්‍රිය ඩයස් කියලා. මට මතකයි ඒකෙ ඉන්න ඒරිස් (Eris) කියන නපුරු දේවතාවිය පපුවෙ කතිරයක් ඇඳන් කියන කතාවක්. දේවතාවියො බොරු කියන්නෙ නැහැ. පොරොන්දුවක් දුන්නොත් දුන්නම තමයි. Eris කියන්නෙ ව්‍යාකූලත්වයට එහෙම නැත්නම් කැවෝසයට (Chaos) අධිපති  ග්‍රීක දෙවඟන. ඇයගේ පරම වුවමනාව වෙන්නෙ ලෝකය අවුල් සහගත කිරීම.

ඒවගේම ඒරිස් Cetus Scorpio, Musca, Leo , Lacerta සහ Roc ඇතුළු දැවැන්ත සත්ත්වයන්ගෙන් යුත් ම්ලේච්ඡ හමුදාවක් පාලනය කරනවා. අපි කතාකරන්න යන්නෙත් ඒරිස්ගෙ දැවැන්ත හමුදාවෙන් එක්කෙනෙක් ගැන. එයා පක්ෂියෙක්. ඒරිස් දේවතාවියක් නිසා එයාට තිබෙන සර්වබලධාරී බලය ගැන හිතා ගන්නවත් බැහැ. සින්බෑඩ් ලංකාවට ආපු කතාවකුත් තිබෙනවා. මතකනෙ දයානන්ද ගුණවර්ධනගෙ මධුර ජවනිකා නාට්‍යයෙ සින්බෑඩ් ද සේලර් ගීතය. මධුර ජවනිකාවෙ තුන්වැනි කොටස තමයි සින්බෑඩ්ගෙ චාරිකාව. සින්බෑඩ් එයාගෙ 06 වැනි ලෝක සංචාරයේදී ශ්‍රී පාදයට ඇවිත් තිබෙනවා. ඔහු ඒ ගමන විස්තර කරන්නෙ මෙහෙම

“සෙරන්ඩිබ් දූපත නිරක්ෂයට පහළින් තමයි පිහිටා තිබෙන්නේ. එහි රාත්‍රිය සහ දහවල සමසේ පැය ‍ෙදාළහකින් යුක්තය. උතුරේ සිට දකුණට එහි දිග ලීග අසූවකි (සැ.240). පළල ලීග 30ක් පමණ වන අතර රට හරහා විශාල ක¾දු පේළියක් හා ගංගා නිම්නයක්ද වෙයි. දින තුනකින් යා හැකි දුර ප්‍රමාණයක සිට මේ මහා කන්ද දිස්වෙයි. මෙහි වටිනා රතු කැට ඇතුළු ඛනිජ වස්තූන්ද හැම වර්ගයකටම අයත් කුළුබඩු හැදෙන ගස් වර්ගද එමටය. මම මේ කන්ද නැග්ගෙමි. මට විස්තර කළ නොහැකි ආශ්චර්යමත් දර්ශනවලින් මම වශී වුණෙමි.”

මේ හැමදේම සින්බෑඩ් කොහොම විඳගන්න ඇද්ද. පයින් ඇවිද ඇවිද. ඔන්න ඔතන තමයි ගැටලුව උපදින්නෙ. සමහරක් විට සින්බෑඩ් පියාඹගෙන ආව වෙන්න පුළුවන්. ඒත් එයාට කොහෙද පියාපත් මම නම් හිතන්නෙම සින්බෑඩ් කුරුල්ලෙක්ගෙ පිටේ එන්න ඇති.

ඔන්න අපි අද කතා කරන්න යන්නේ ඒ අරුම පුදුම කුරුල්ලා ගැන. ඔන්න මම මේ ලියමන කියවන ඔයාව තවත් කුතුහලයට ලක් කරනවා. අපි පොඩ්ඩක් කතා කරල ඉමු මේ ලෝකෙ දැනට ජීවත් වන විශාලම පක්ෂීන් ගැන. කුරුල්ලෙක් කොපමණ විශාලද? මේකට විද්වතුන්ගෙ දත්ත සහ තොරතුරු පරිශීලනය කරන්නෙ නැතුව නිවැරදි උත්තරයක් දෙන්න බැහැ. ශ්‍රී ලංකාව තුළ හමුවන උසම කුරුල්ලා වෙන්නෙ “අලි මානාවා”. විශාලම කුරුල්ලා වෙන්නෙ “බහුරූ මානාවා”. ඒ ලංකාවෙ. එතකොට ලෝකයේ?

ලෝකයේ දැනට ජීවත්වන විශාලම පක්ෂියා තමයි පැස්බරා. සාමාන්‍යයෙන් හොඳින් වැඩුණු පැස්බරෙක් කිලෝග්‍රෑම් 150ක පමණ බරකින් යුක්ත වනවා. ඒ වගේම පැස්බරෙක් අඩි 6ක් පමණ උසකට වැඩෙනවා. පැස්බරාට වේගයෙන් දිවීමේ හැකියාව තිබෙනවා. පැස්බරුන් තමයි ලෝකෙ ඉන්න වේගයෙන්ම දිවිය හැකි පක්ෂී විශේෂය වන්නෙත්. ඔවුන්ට පැයට කි.මී. 70ක පමණ වේගයකට ළඟා වෙන්නට පුළුවන් බව වාර්තාවල සඳහන් වෙනවා.

ඒ වගේම විශාලතම බිත්තරය දමන පක්ෂි විශේෂය වන්නේත් පැස්බරා. මොවුන්ට පියෑඹීමේ හැකියාවක් නැහැ. ඒවගේම පැස්බරුන් කියන්නෙ සර්වභක්ෂක සත්ත්ව කොට්ඨාසයක්. පැස්බරුන් සාමාන්‍යයෙන් විවිධ ඇට වර්ග, පැළෑටි, මල් හා කුඩා කෘමීන් වැනි දේ ආහාරයට ගන්නවා. මීට අමතරව ආහාර අඹරාගැනීම සඳහා කුඩා ගල් කැබලිත් සිය මුඛයේ රුවාගන්නවා කියල කියනවා. අප්‍රිකාවේ ස්වභාවික පරිසරයේ ජීවත් වන පැස්බරුන්ට දින කිහිපයක් වුවත් ජලය නොමැතිව ජීවත්වීමේ හැකියාව තිබෙනවා.

මොවුන් ඉතා ආක්‍රමණශීලී පක්ෂීන් විශේෂයක් වන අතර කණ්ඩායම්ගත වී සතුරාට පහර දීමට පුරුදුව සිටින බවත් කියවෙනවා. පැස්බරුන් වසරකට බිත්තර 60ක් පමණ දමනවා. ඔවුන්ගේ බිත්තරයක් සාමන්‍යයෙන් අඟල් 5.1ක විෂ්කම්භයක් හා කිලෝග්‍රෑම් 1.4ක බරක් දරනවා. පැස්බරා වගේම විශේෂයෙන් කතා කරන්න ඕන තවත් පක්ෂියෙක් ඉන්නවා. ඒ තමයි. කොරී බස්ටර්ඩ්. ඇයි මෙයා විශේෂයි කියලා කියන්නෙ. පියෑඹීමේ හැකියාව තිබෙන විශාලතම පක්ෂියා තමයි කොරී කියන්නෙ. අප්‍රිකා මහාද්වීපයට ආවේණික මේ වර්ගයේ සතුන්ගේ පිරිමි සතුන් ගැහැනු පක්ෂියාට වඩා දෙගුණයකින් බර වැඩියි.

අඩි 4ක පමණ දිගින් යුතු මේ පක්ෂියෙක් සම්පූර්ණයෙන් පියාපත් විහිදාහළ විට ඒවායේ එක් කොනක සිට අනෙක් කොනට දිග අඩි 9ක් පමණ වෙනවා. හිතාගන්නකො කොරී බස්ටර්ඩ්ගෙ තරම. සර්වභක්ෂකයින් වන කොරී බස්ටර්ඩ් පක්ෂීන් සාමාන්‍යයෙන් කටුස්සන්, හූනන්, සර්පයින්, ධාන්‍ය වැනි දේ ආහාරයට ගන්නවා. මේ පක්ෂින් ජලය පානය කරන්නෙ උරා බීමෙන්. පියාසැරීමේ හැකියාව තිබුණත් ඔවුන් වැඩිපුරම කාලය ගත කරන්නේ භූමියේ වීමත් පුදුම සහගතයි.

ඔන්න දැන් තමයි අපි හරියටම කතාවට එන්නෙ. ඒ වෙන කවුරුත් නෙමෙයි රොක්. හෝව් හෝව් රොක් මියුසික් නෙමෙයි. මෙයා කුරුල්ලෙක්. Roc ඔන්න ඔහොමයි ඉංග්‍රීසියෙන් ලියද්දි මෙයාගෙ නම ලියන්නෙ. මෙයාව රුක් කියලත් හ¾දුන්වනවා. පෙරදිග විශ්වාසයන්ට අනුව මෙයා වඳවෙලා ගිය කුරුල්ලෙක්. මෙයා ගැන මුලින්ම කතා වෙන්නෙ මධ්‍යම ආසියාවේ (Middle East) එන මිථ්‍යා කතාවල. පර්සියානු ඉතිහාසයෙ වගේම සාහිත්‍යයෙත් මෙයාට ලැබෙන්නෙ විශාල තැනක්.

මෙයාට වැඩුණු අලි ඇතුන් පවා ඔසවා යෑමේ හැකියාව තිබුණු බව කියවෙනවා. මේක කියවන ඔයාට දැන් මතකෙට එන්න ඕනෙ අපේ අතීත මිථ්‍යා කතාවක්. ඒ තමයි ඇත්කඳ ළිහිණියා. ජන මතකයෙන් මැකීයන සාම්ප්‍රදායික සිංහල මන–කල්පිත සත්ත්ව රූ අතර ඇත්කඳ ළිහිණියා කියන්නෙ සුවිශේෂී සත්ත්වයෙක්. ඇතුන් පවා දඩයම් කළායැයි කියවෙන මෙයාව වාරණ කියන නමින් පවා හ¾දුන්වා තිබෙනවා.

ඇත් හිසක් ඇති මෙම උකුසු විශේෂය ඉගිළෙන වෙලාවේදී වලාකුලක සෙවණැල්ලක් සේ බිම ඇ¾දුරු කරන බව ජනප්‍රවාදයේ කියවෙනවා. මොවුන් ගැන අදටත් තිබෙන එකම සාක්ෂිය තමයි පන්සල්වල සිත්තම් වුණ චිත්‍ර. ඇත්කඳ ළිහිණි ජනප්‍රවාදය ලංකාවේ වගේම ඉන්දියාව, තායිලන්තය (Nok Hasadee) වැනි රටවලද විවිධාකාරයෙන් කියවෙනවා. ඇම්බැක්ක දේවාලයේ තැනෙක ඇත්කඳ ලිහිණියකුගේ කැටයමක් පවා තිබෙනවා. ඒවගේම මෑතකාලීන චිත්‍ර ශිල්පියෙක් වන ප්‍රසන්න වීරක්කොඩි ඉතා ප්‍රබල අයුරින් ඔහුව සිතුවටම නඟනවා. මේ ඇත් කඳ ලිහිණියාට සමාන පක්ෂියෙක් තමයි රොක් කියන්නෙත්.

රොක් කියන්නෙ මතවාදවලට තුඩු දුන් මාතෘකාවක්. රොක්ගේ අබිරහස පිළිබඳව තවමත් බොහෝ දෙනා විවිධ තර්ක විතර්ක ගේනවා. රුක් කියන වදනෙ අරුත වෙන්නෙ ක¾දුකර කුරුල්ලා හෝ අලි කුරුල්ලා කියන අදහස. අඩි 20ක් පමණ උසැති පියාපත් අඩි 48ක් පමණ දිගැති දැවැන්ත ප්‍රමාණයේ මේ සත්ත්වයාගේ බිත්තරයක් අඩි 150 ක වට ප්‍රමාණයකින් විශාල බවත් කියවෙනවා.

සින්බෑඩ් නම් නාවිකයා සහ අබ්දුල් අල් රහුමාන් කියලා කතා දෙකක් තිබෙනවා. අපි කවුරුත් ආස කරපු අරාබි නිසොල්ලාසයෙ තමයි ඒ කතා තිබෙන්නෙ. ඒකෙදි සින්බෑඩ්ට රොක්ව මුණගැහෙනවා. ඒ කතාවෙදි සින්බෑඩ්ව ආරක්ෂිත ස්ථානයට රැගෙන යන්නෙ මේ රොක් කියන කුරුල්ලා. සින්බෑඩ් තමන්ගෙ නාවික කණ්ඩායමත් එක්ක මුහුදෙදි   අනතුරකට ලක් වෙනවා. මේ කුරුල්ල සින්බෑඩ්ව අරගෙන ගිහින් තමන්ගෙ කූඩුවෙ තියාගත් බව තමයි කියවෙන්නෙ. සින්බෑඩ් මේ කුරුල්ලගෙ බිත්තර දැකලා බයවෙනවා. ඊට පස්සෙ සින්බෑඩ් පලායෑමට උත්සාහ කරනවා. සින්බෑඩ් පස්සෙ වෙනත් දූපතකට යන්නෙ රොක්ගෙ කකුලක එල්ලිලාලු.

උතුරු අප්‍රිකාවේ නාවිකයකු වන අබ්දුල් රහුමාන් දූපතකට ගොඩ බහිනවා. එහිදී ඔහුට විශාල ගෝලාකාර බිත්තර සොයා ගන්න ලැබෙනවා. ඔවුන් ඒ බිත්තර ආහාරයට ගත් බවත් ඒ නිසාවෙන් හිස කෙස්වල වර්ණය වෙනස් වුණ බවත් ඒ කතාවෙහි සඳහන් වෙනවා.

මාර්කෝ පෝලෝගෙ වාර්තාවලත් රොක් ගැන සඳහන් වෙනවා. 13 වැනි ශත වර්ෂයේ චීනයට යන ගමනේදී මාර්කෝ පෝලෝ මැඩගස්කරය අවට ජීවත්වන දැවැන්ත රාජාලියකු වැනි ජීවියකු දුටු බව වාර්තා කරනවා. මාර්කෝ පෝලෝ මේ විශාල කුරුල්ලා පහළට පියාඹන ආකාරය අලංකාරව විස්තර කරනවා. සම්පූර්ණයෙන් වැඩුණු අලි ඇතුන් පවා එසවීමට ඔහුගේ පියාපත් ශක්තිමත් බවද සතුන් අඹරා ආහාරයට ගැනීමට හැකියාවක් ඇති බවද මාර්කෝ පෝලෝගෙ වාර්තාවල සඳහන් වෙනවා.

ඉතියෝපියානු ශුද්ධ ග්‍රන්ථයක් වන ද කෙබ්‍රා නාගස්ට්හි රොක් ගැන සඳහන් කරනවා. ඒ පොතට අනුව, රොක් ආශීර්වාද ලත් ලී කැබැල්ලක් බයිබලයෙහි එන ප්‍රඥාවේ මහා රජු සලමොන් රජුට භාර දෙනවා. ඉන්පසු මහා සලමොන් රජු තමන්ගෙ දේව මාලිගාව ඉදිකිරීමේදී එම ලී කැබැල්ල භාවිත කරනවා. එම ලී කැබැල්ලේ ආනුභාවය නිසාවෙන් ෂීබා රැජිනට තිබුණු එළු පාද සාමාන්‍ය මිනිස් පාද බවට පරිවර්තනය වූ බවත් කියවෙනවා.

මෙම ලී කැබැල්ල කෙතරම් ගෞරවයට පාත්‍ර වී ඇත්ද යත්, එය රිදී මුදු සැරසිලි අලංකාර කිරීමට යොදා ගත් බවත් කියවෙනවා. ජේසුස් වහන්සේ පාවා දීම නිසා ජුදාස් ඉස්කාරියොත්ට ගෙවූ රිදී මුද්ද එය බවටද කිතුනු සම්ප්‍රදායේ පොදුවේ පවතින විශ්වාසයකි. ඒ සමඟම, එම ලී කැබැල්ල යේසුස් වහන්සේගේ කුරුසය තැනීමට භාවිත කළ බවද විශ්වාස කෙරෙනවා (ජුදාස් රිදී කාසි 30කට යේසුස් වහන්සේ පාවා දුන් බව ප්‍රචලිත ප්‍රවාදයයි. ඇතැම් කිතුනු මතවලට අනුව ජුදාස් ඉස්කාරියොත් පාවා දෙන්නේ රිදී මුදුවකටයි)

කලා ඉතිහාසඥයකු වන රුඩොල්ෆ් විට්කෝවර් තර්ක කරන අයුරින් ඉන්දියානු සූර්ය පක්ෂියා ගරුඬා සහ නාග සර්පයා අතර ඇති වූ සටනේ කතාව රොක් නම් පක්ෂියාගේ අබිරහසට හේතු වී ඇත. අවස්ථා දෙකකදී, කිඹුලකු සමඟ සටනට වැද තුවාල වූ අලියකු රැගෙන යන ඉන්දියානු සූර්ය පක්ෂියා පිළිබඳ කතාව මෙම කතාවෙන් ගෙන එන බව ඔහු වැඩිදුරටත් පවසයි. එය පමණක් නොවේ. මොරොක්කෝ ගවේෂකයෙක් වන ඉබන් බතූතා ද මේ පක්ෂියා පිළිබඳ සාක්ෂි ලබා දෙනවා. ඔහු 1340 දී චීනයේ සිට යමින් සිටියදී දැවැන්ත යෝධ කුරුල්ලකු දුටු බව විස්තර කරයි. බතූතා රොක් පක්ෂියා දකින්නේ චීන මුහුදට ඉහළින් පාවෙන කන්දක් ලෙසටයි. මේ පක්ෂියාගේ පියාසර කිරීම නිසාවෙන් ඉබන් බතූතා සහ යාත්‍රා කණ්ඩායම ඉර හඳ නොපෙනී, දිසාව ගිලිහී ගොස් නුහුරු මුහුදක නතර වුණ බවත් කියවෙනවා.

මෙවැනි මිථ්‍යා පක්‍ෂි විශේෂයක පැවැත්ම තහවුරු කළ හැක්කේ කිසියම් ස්ථීර සාක්ෂීන්ට යටත්ව නම් එවැනි සාක්ෂි ඉතා අල්ප වන බවද මතක් කළ යුතු වෙනවා. අප්‍රිකාවේ වෙරළට ඔබ්බෙන් වූ මැඩගස්කරයෙන් හමු වූ විශාල පක්ෂි විශේෂවල ඇටසැකිලි සහ බිත්තර කටු මේ සඳහා සාක්ෂි සපයනවා. මැඩගස්කරය යනු අලි කුරුල්ලා සහ මුඩු රාජාලියා ඇතුළු විවිධ විශාල පක්ෂීන්ගේ නිවහනකි.

රොක් නම් පක්ෂියාගේ පසුකාලීන කථා මෙම විශාල පක්ෂීන්ගේ අතිශයෝක්තියක් විය හැකි බව විචාරකයන් පෙන්වා දෙනවා. මිථ්‍යාව විවේචචනය කරන භෞතිකවාදී චින්තකයන් පියාසර නොකරන අප්‍රිකානු පැස්බරා පක්ෂීන්ගේ විශාල විශේෂයක් ලෙස මොවුන් වරදවා වටහාගෙන ඇති බවට කියමින් රොක් පක්ෂියාගේ කතන්දරයට විරුද්ධත්වය පානවා. තවත් විචාරකයන් තර්ක කරන්නේ රොක් යෝධ පක්ෂියෙක් ලෙස හැඳින්වීම පරිකල්පනයේ දිගුවක් වන බවය.

නවසීලන්තයේ සිටින සංචාරක පක්ෂියෙක් වන මෝවා සහ හස්ට්ස් රාජාලියා වැනි සාමාන්‍ය විශාල පක්ෂීන් අතිශයෝක්තියට නැඟීමක් ලෙස ද ඇතමුන් මේ පක්ෂියා දකිනවා. වරෙක ඇන්ටන් චෙකොෆ් මෙහෙම කියනවා “කුරුල්ලන් යනු පියාපත් ඇති පුංචි දරුවන්ය”  ඒත් රොක් කියන මේ කුරුල්ලා පුංචි දරුවෙක්ද? කියන එක දෙපාරක් හිතල බලන්න ඕනෙ.

ගිහාන් සචින්ත