රුසිසි ගඟේ සිටිනා ගුස්ටාව් කිඹුලා තුන්සියයක් මිනිසුන් බිලිගත් නපුරා

0
467

දෙගම්බඩ රජා නැතිනම් කිඹුලා යන නම ඇසෙන විට අපගේ සිත තුළ යම් තැති ගැන්මක් ඇතිවන බව අමුතුවෙන් කිවයුතු නැහැ. ලොව පුරාම ගංගා නිම්නවල මෙන්ම ශ්‍රි ලංකාවෙහිද බහුලවම දැකගත හැකි කිඹුලා ලොකු පොඩි කවුරුත් බිය ගන්වන සත්ත්වයෙක්. මිනී නොකයි මාතර කිඹුලිගේ පැටියා යනුවෙන් අපගේ පැරණි සාහිත්‍යයේ කියමනක් තිබුණත් කිඹුලා යනු මාංස භක්ෂක ගණයට අයත් වන සත්ත්ව යෝධයෙක්.

තමන්ට අසුවන ඕනෑම සතකු තම ග්‍රහණයට ගන්නට දෙපාරක් නොසිතන ඔහු තනි කිඹුලකු ලෙසින් සිටින විට නම් මිනිසුන් බිලිගන්නා අවස්ථා සිදුවන්නේ ඉතාමත්ම කලාතුරකින්. ලෝකයේ එවැනි දරුණු බිලිගැනීම් කිහිපයක් වාර්තා වී ඇති අතර අද අපි මිස්ටි්‍ර තුළින් ඔබ වෙත ගෙන එන්නේ අප්‍රිකාවෙන් වාර්තා වුණු හොලිවුඩ් චිත්‍රපටයකටත් පාදක වුණු මිනී කන කිඹුලෙක් ගැනයි. මේ කතාව ආරම්භ වෙන්නෙ 1987 වර්ෂයෙහි  නැඟෙනහිර අප්‍රිකාවේ බෘෘනායි රාජ්‍යයේ රුසිසි ගඟ හා ටැංගනිකා විල අසලයි. අප්‍රිකා මහද්වීපයේ ජීවත්වන විශාලම කිඹුලන් වර්ගය Nile කිඹුලන් බව ඔබ හොඳින් දන්නා කරුණක්.

එය ඇසෙන විට ලංකාවාසී අපට බියක් දැනුණත් රුසිසි ගඟ අවට සහ ටැංගනිකා විල අසල ජීවත් වන ජනයාට නම් Nile කිඹුලන් ආගන්තුක සත්ත්වයෙක් නොවෙයි. ඔවුන් මෙම කිඹුලන් සමඟ අවුරුදු දහස් ගණන් වාසය කර තිබෙන අතර 1987 වර්ෂයේ ඔවුන් කිසිවකුත් නොසිතන කරදරයකට ඔවුන් හට මුහුණ දීමට සිදුවේ. එනම් රුසිසි ගඟ සහ ටැංගනිකා විල යා කරන ප්‍රදේශයට ආගන්තුක Nile කිඹුලන් පැමිණීමයි. අප සාමාන්‍යයෙන් අලියා සද්දන්තයකු යනුවෙන් හැඳින්වුවත් මෙම කිඹුලන්ගේ බර සහ දිග ඇසුවහොත් ඔබ කිඹුලා සද්දන්තයකු ලෙස හ¾දුන්වන බව නොඅනුමානයි.

ඉතින් බරින් රාත්තල් 2500කට වඩා වැඩි, දිගින් අඩි 18කට වඩා දිග Nile කිඹුලන්  කාලයක් යනවිට ගං ඉවුරෙහි ජීවත් වන මිනිසුන් මරා දැමීමට පටන් ගත්තේය. ඇතැම් විට මෙම කිඹුලන් මිනිසුන් මරා දමා ආහාරට ගත් අතර ඇතැම් මිනිසුන් මරා දමා ආහාරයට නොගනිමින් Nile කිඹුලන් යන්නට ගියේය. එය කිඹුලාගේ  විනෝදාංශයද කියලත් මිනිස්සු  අතර කතා බහට ලක් නොවුණාම නොවේ. මෙම කිඹුලාගේ හැසිරීම බෘෘනයි වැසියන් පුදුමයට සහ භීතියට පත්කළ අතර මෙලෙස කිඹුලාගේ හැසිරීම් වෙනස් වන විට බෘෘනායි දඩයක්කාරයන් හට මෙම කිඹුලන්ව දඩයමක් ලෙස පෙනෙන්නට පටන් ගත්තේය. අවස්ථා ගණනාවකදී ඔවුන් කිඹුලාව දඩයමක් ලෙස ගන්නට ප්‍රයත්නයක් දැරුවත් එය අසාර්ථක විය.

මෙම Nile කිඹුලා කිඹුලකු නොවන බවත් කිඹුල් වෙස් ගත් අමනුෂ්‍යය ආත්මයක් බවත්  බෘෘනායි දඩයක්කරුවන් දැඩි ලෙස විශ්වාස කළ අතර එම නිසාම මෙම කිඹුලාට වෙඩි නොවදින බව දඩයක්කරුවන් විවිධ අදහස් පළ කළේය.

මෙසේ ටික දවසක් ගෙවීගෙන යන විට මෙම අමුතු අකාරයේ පණිවිඩය බෘෘනායි රාජ්‍යයෙන් පිටටත් පැතිර ගිය අතර ටික කාලයක් යන විට මෙම ආරංචිය එකල ජනප්‍රිය උරග වේදියකු වන  ප්‍රංශ ජාතික Patrice fayeට ආරංචි විය.

ඔහු 1978 සිට බෘෘනායි රාජ්‍යයේ මාර්ගෝපදේශකයකු ලෙසද කටයුතු කරන අතර 1990 වර්ෂයේ මෙම රුසිසි ගඟ අසලට පැමිණෙන්නේ මෙම අරුම පුදුම කිඹුලා පිළිබඳව පර්යේෂණ පැවැත්වීමටයි.

Patrice මෙම කිඹුලා පිළිබඳව මාස ගණනාවක් අධ්‍යයනයන් සිදුකළ අතර මිනිසාව ආහාරයට ගන්නා මෙම කිඹුලා හට Patrice විසින්  “ගුස්ටාව්” යනුවෙන් අනුවර්ත නාමයක්ද ලබා දෙන ලදී. අනතුරුව ගුස්ටාව් අවුරුදු හැටක් පමණ වයසැති කිඹුලෙක් බව Patrice විසින් නිගමනය කළ අතර කිඹුලාගේ ශරීරයෙහි විශාල කැළල් හතරක් තිබෙන බව Patrice දුටුවේය. එය හමුදා සෙබළුන් විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාර බව හ¾දුනා ගැනීමට Patrice හට වැඩි වෙලාවක් ගියේ නැත. තවද මෙම ගුස්ටාව් විසින් වෙඩි ප්‍රහාර පමණක් නොව එක් දිනක් අත් බෝම්බයක්ද විකා කෑ බව ගම්වැසියන් විසින් Patrice හට පවසා සිටියහ. නමුත් Patrice මෙම කතා ඇසීමට එතරම් උනන්දුවක් දැක්වූයේ නැත.

Patrice විසින් අවධානය යොමු කරනු ලැබුවේ මෙම කිඹුලා විසින් බිලිගන්නා ලද මිනිසුන් පිළිබඳවයි. එසේ සොයා ගෙන යන විට Patrice අනාවරණය වූයේ ගුස්ටාව් විසින් මිනිසුන්  තුන්සියයක් පමණ තම ගොදුර බවට පත්කරගෙන ඇති බවයි. එය දැනගත් පසු Patrice විසින් පුදුමයට පත්වුයේ කිඹුලකු අතින් ප්‍රහාරයට පත්වුණු වැඩිම පිරිස මෙය වන නිසාවෙනි. එය වාර්තා ගත ඝාතන ප්‍රමාණයක් බව ලොවපුරා පැතිර ගිය අතර මින් පෙර කිඹුලකු විසින් මෙපමණ පුද්ගලයන් ප්‍රමාණයක් සිය ගොදුර බවට පත කරගෙන නොමැත.

ඉන්පසු මෙම කිඹුලා ජීව ග්‍රහණයෙන්ම ඇල්ලිය යුතු යැයි Patrice දැඩිසේ සිතා ගත්තේය. අනතුරුව Patrice සහ ඔහුගේ කණ්ඩායම ගුස්ටාව් අල්ලා ගැනීම සඳහා මුලින්ම යොදා ගත්තේ අඩි තිහක් පමණ දිග යකඩ  කූඩුවකි. පසුව ගුස්ටාව් ජීවත් වුණු ගං තීරයේ ඇමක් ලෙස මස් කුට්ටියක් යකඩ කූඩුව මත තබා අධෝරක්ත කැමරා උඟුල්ද ඒ අසල ඇටෙව්වේය. කොයිතරම් කැපවීමෙන් වෙහෙස මහන්සි වී උගුල් කිහිපයක් ඇටෙව්වත් ඒ සියල්ලක්ම උඩුගං බලා පීනා යෑමක් වැනිය. ඉතා අමාරු කාර්යයක් බවට පත් වෙමින්  ගුස්ටාව් සිර කර ගැනීමේ මෙහෙයුමෙහි Patrice යෙදුණත් එය  අසාර්ථක විය. ඇතැම් වෙලාවක ගුස්ටාව් කූඩුව ළඟටම පැමිණ නැවත හැරී ගියේය.

නමුත් Patrice ඇතුළු කණ්ඩායම උත්සාහය නම් අත හැරියේ නැත. දෙවැනි විකල්පය ලෙස Patrice යොදා ගත්තේ මස් කුට්ටිය වෙනුවට පණ තිබෙන එළුවෙකි. එළුවා කූඩුව තුළට දමා තබා පසුවදා නිරීක්ෂණය කරන විට කූඩුව තිබුණේ ගඟ මැද්දේය. ගුස්ටාව් විසින් කූඩුව ගඟ මැදට ඇදගෙන ගොස් එළුවත් තම ගොදුර බවට පත්කොට ගෙන සිටියේය. පුදුමයට කරුණක් නම් කූඩුවෙහි රඳවා තිබු අධෝරක්ත කැමරා එදිනම තාක්ෂණික ‍ෙදා්ෂයක් නිසා ක්‍රියා විරහිත කර තිබීමයි. අනතුරුව මෙම කූඩුව ඇදගෙනයා හැක්කේ ගුස්ටාව්ට පමණක් යනුවෙන් Patrice නිගමනයකට එළැඹීයේය.

එයින්ද නොනැවතුණු Patrice ගුස්ටාව්ව අල්ලා ගැනීම සඳහා තවත් උපක්‍රමයක් යෙදුවේය. නමුත් 1993 වර්ෂයේ බෘෘනායි සිවිල් යුද්ධය ආරම්භ වුණු පසු එහි රැඳී සිටින විදේශිකයන් හට තම රටට යන්න යැයි එරට රජයෙන් පණිවිඩ නිකුත් කරනු ලැබුවේය. එම නිසා සියලු ක්‍රියාදාමයන් මඟ නවතමින් Patrice ඇතුළු කණ්ඩායමට තම රටට පිටත් වන්නට සිදුවිය.  Patrice විසින් බෘෘනායි රාජ්‍යයහි වසර දෙකක් පමණ සිටිමින් ගුස්ටාව් පිළිබඳව අධ්‍යයනය කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස එම තොරතුරු එකතු කර ගනිමින් 2004 වර්ෂයේ  “CAPTURING THE KILLER CROC” නමින් වාර්තාගත චිත්‍රපටයක්ද නිෂ්පාදනය විය.

එය තිරගත වීමත් සමඟ ගුස්ටාව්ගේ කතාව විද්‍යා ලෝකය තුළ ජනප්‍රිය වන්නට පටන් ගත්තේය. 2005 වර්ෂයෙන් පසුව බෘෘනායි රාජ්‍යයෙහි අර්බුද පහව යනවාත් සමඟ නැවත Patrice ඇතුළු කණ්ඩායමත් විවිධ උරග විද්‍යඥායින් සහ දඩයක්කරුවන් ගුස්ටාව් අල්ලා ගැනීමේ මෙහෙයුම නැවත දියත් කළේය. නමුත් එම මෙහෙයුම් නැවත අසාර්ථක විය. එහෙත්  මෙම කතාව ලෝකයේ තවත් ජනප්‍රිය විය.

2007 වර්ෂයේ ගුස්ටාව්  අලළා “PRIMEVAL” නමින් තවත් චිත්‍රපටයක් ලෝකයට දායාද විය. 2010 පසු ගුස්ටෙව් රුසිසි ගඟෙන් අතුරුදහන් වන අතර 2015 වර්ෂයේදී  නැවත රුසිසි ගඟට පැමිණ ඇත. නමුත් අසල්වාසීන් එදින අවසන් වතාවට ගුස්ටාව් රුසිසි ගඟට පැමිණෙනවා දැක ඇති අතර එදායින් පසු ගුස්ටාව් නැවත රුසිසි ගඟට පැමිණ නැත. ගුස්ටාව්ට කුමක්ද සිදුවූයේ යන්න අදටත් අබිරහසක්. බොහො දෙනකු අදහස් කරන්නේ ගුස්ටාව් රුසිසි ගඟේ මිනිසුන් නොගැවසෙන ස්ථානයක අවසන් සුසුම් හෙළා ඇති බවයි.

එසේම 2019 වර්ෂයේ ගුස්ටාව් මරා දැම්මා යන රාවයක්ද ලෝකය පුරා පැතිර ගොස් ඇත. එහෙත් ඒ පිළිබඳව කිසි¾දු සාක්ෂියක් නම් තවම හමු වී නැත. රුසිසි ගම් වැසියන්ගේ විශ්වාසය වන්නේ තවමත් මිනීමරු ගුස්ටාව් ජීවතුන් අතර සිටින බවයි. ඔවුන් එදා දැක්වූ බියම අදටත් ගුස්ටාව් කෙරෙහි දක්වනු ලබන අතර ගුස්ටාව් පිළිබඳ තිබෙන මතකයන් බෘෘනායි ගම්වාසීන්ගේ සිත් තුළ කාලයක් යනතුරු අනිවාර්යයෙන්ම ගැබ්වෙලා තියේවි යන්න මෙය කියවන අපටත් සිතිය හැකිය.

සචිනි බස්නායක

අන්තර්ජාලය ඇසුරෙනි