රාත්‍රී කාලයේ Dead Children’s පාර්ක් එකේ සැරිසරන අත්භූත රුව කාගේද?

0
179

ළමයින් කියන්නේ නිතරම සතුටින් සිටීමටත්, දවසේ වැඩි වේලාවක් සෙල්ලම් කිරීමටත් වැඩි කැමැත්තක් දක්වන පිරිසක්නේ. ඒ බව අපද හොඳින්ම දන්නවා. ඒනිසාම ලෝකයේ ඕනෑම රටක සෙල්ලම් වයසේ පසුවන කුඩා දරුවන් හට සෙල්ලම් කිරීමට, ක්‍රීඩා කිරීමට වෙන් කරන ලද ස්ථාන ඕනෑම තරම් දක්නට ලැබෙනවා. අපි සැවොම එවැනි ස්ථාන “ළමා උද්‍යාන” වශයෙන් හඳුන්වනවා. ඒ අතර ඇතැමෙක් එවැනි ස්ථාන “සතුටු උයන්” ආදී නම්වලිනුත් හඳුන්වනවා.

බොහෝ විට මෙවැනි ස්ථාන වෙන් වනුයේ දරුවන්ගේ සතුට සැනසීම වෙනුවෙන්මයි. අප දන්නා ආකාරයට උදෑසන කාලයේදී හා සවස් කාලයේදීත්, සති අන්තයන්හිදී, රජයේ නිවාඩු, පාසල් නිවාඩු දිනයන්හිදීත් එවැනි ස්ථාන බොහොමයක් දරුවන්ගෙන් පිරී ඉතිරී යෑම නිසා අතිශය කාර්යබහුල වනවා. එමෙන්ම අප දන්නා පරිදි බොහෝ විට රාත්‍රි කාලයේදී එවැනි ස්ථානවලට කිසිවකු පැමිණෙන්නේ නැහැ.

තත්ත්වය එසේ වුවත් හිරු එළිය පවතින උදෑසනට හා සවස් කාලයට මෙන්ම රාත්‍රි කාලයේදීත් කිසිවකු නොමැති වුවත් දරුවන් කෑගසමින් සෙල්ලම් කරන ශබ්ද ඇසෙන, ඉබේම ක්‍රියාත්මක වන ඔංචිල්ලා, මෙරිගෝ රවුන්ඩ්, සීසෝ තිබෙන ළමා උද්‍යානයක් පිළිබ¼දව ඔබ මින් පෙර අසා තිබෙනවාද? එය තරමක් පුදුමසහගත යැයි ඔබට සිතෙනවා නේද?

අද අපි කතා කරන්නට යන්නේ රාත්‍රී කාලයේදී අතිශය කාර්යබහුල තත්ත්වයක් උසුලන නමුත් කිසිවකු දක්නට නොලැබෙන එවැනි ළමා උද්‍යානයක් පිළිබඳවයි. මෙය පිහිටා තිබෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ඇලබාමා ප්‍රාන්තයේය. එම ප්‍රදේශයේ මේපල් හීල්ස් නම් ප්‍රසිද්ධ සුවිසාල සොහොන් කොතක්ද පිහිටා ඇත. අපි මේ කතා කරන්නට යන Drost Park පිහිටා ඇත්තේ එම සොහොන් කොතෙහි කොනට වන්නටයි. නමුත් එම ප්‍රදේශයේ ජීවත් වන පුද්ගලයන්  මෙම ළමා උද්‍යානය හඳුන්වනු ලබන්නේ Dead Children’s Playground නොහොත් “මළ ළමා ක්‍රීඩා උද්‍යානය” යන නමින්. ඉතින් නිසාම මෙම ක්‍රීඩා උද්‍යානය ලොව පුරා ප්‍රචලිත වී ඇත්තේද ඒ නමින්මයි.

Maple Hill යනුවෙන් හඳුන්වන මෙම සුසාන භූමිය 1822දී පමණ ආරම්භ කර ඇත. එය අක්කර 100කට අධික වූ භූමි ප්‍රදේශයක් පුරා පැතිරී ඇති අතර එම ප්‍රාන්තයේ තිබෙන විශාලතම සුසාන භූමිය වන්නේත් Maple Hill නම් සුසාන භූමියමයි. මෙම සුසාන භූමිය පුරාණ හා ඉපැරණි පෞරාණික ස්වරූපයක් උසුලන අතර තරමක් බියජනක හැඟීමක් දනවන ආකාරයේ පෙනුමකින්ද යුක්ත වේ. ඇත්ත වශයෙන්ම මෙම සුසාන භූමිය හා ඊට යාබදව පිහිටා තිබෙන ළමා උද්‍යානය පිටුපස ඇති අතීත කතාව නම් ඉතාම භයංකර එකක්. මෙම සුසාන භූමිය හා ළමා උද්‍යානය සියැසින් දකින පුද්ගලයකුට හා එහි ඡායාරූප නරඹන අයකුට වුවද එහි අත්භූත, භයංකර ස්වභාවයක් නොඅඩුව ගැබ්ව ඇති බව හොඳින්ම වැටෙහේවි.

ඉතිහාස කතාවලට අනුව Dead Children’s Playground නොහොත් “මළ ළමා ක්‍රීඩා උද්‍යානය” නමින් හඳුන්වන මෙම උද්‍යානය තුළ අත්භූත ළමා ආත්ම විශාල ප්‍රමාණයක් සැරිසරන බව තමයි ආරංචි වන්නේ. එයට හේතුව වන්නේ පෙර සඳහන් කළ ආකාරයට මෙම ළමා උයන පිහිටා තිබෙන්නෙ ඉතාම පැරණි සොහොන් කොතක් ආසන්නව වීමයි. එමෙන්ම මෙම මළ ළමා ක්‍රීඩා උද්‍යානය පිහිටා ඇත්තේ සුසාන භූමිය ආසන්නයේම තරමක් වනගත ආකාරයට සහ ගස්වැල්වලින් ගහන පරිසයක් තුළයි. මේ ක්‍රීඩාපිටිය ආසන්නයේ ජීවත්වන ප්‍රදේශවාසීන් නම් පවසන්නේ රාත්‍රි කාලයට මෙම මළ ළමා ක්‍රීඩා උද්‍යානය අසලින් ගමන් කිරීමට පවා ඔවුන් බිය වන බවයි. එයට හේතුව කිසිවකු නොමැති වුවත් දරුවන් කෑ කෝ ගසමින් සෙල්ලම් කරන ආකාරයේ ශබ්ද ඇසෙන බවත්, ඒවගේම ක්‍රීඩා උද්‍යානය පිහිටා ඇති පොළොව මත ළදරුවන්ගේ පාද සලකුණු නිර්මාණ වී ඇති බවත්, මෙහි දරුවන්ට සෙල්ලම් කිරීමට ඉදිකොට ඇති විවිධ සෙල්ලම් උපකරණ ඉබේ ක්‍රියාත්මක වන බවත් රාත්‍රි කාලයට නිතරම ඝන මීදුම් වලාවන් සහ සීතල සුළං රැලි මේ භූමිය පුරා සැරිසරන බවයි. තවත් විටෙක මවුවරුන් තම දරුවන්ගේ නම් කියා දරුවන්ට හඬ නඟා කතා කරන හඬවල් පවා මේ අසලින් යන අයට අසන්නට ලැබී තිබෙනවා. එනිසාම සිත ශක්තිමත් හොල්මන් අවතාර පිළිබඳව විශ්වාස නොකරන හැඩි-දැඩි මිනිසකු පවා රාත්‍රි කාලයට මේ ස්ථානය පසුකර යෑමට බිය වන බව තමයි අපට නම් ආරංචි වුණේ. මේ උයන අවට ගම්වාසීන් පවසන ආකාරයට මෙවැනි අත්භූත ආකාරයේ සිදුවීම් සිදුවන්නේ විශේෂයෙන්ම රාත්‍රි 10.00 සිට අලුයම 03.00 පමණ අතර කාලය තුළයි.

කෙසේ වෙතත් මෙවැනි අත්භූත අදහාගත නොහැකි සිදුවීම් සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන්ගෙන් සහ අවට ජනතාවගෙන් දිගින් දිගටම ලැබෙන පැමිණිලි සහ තොරතුරු මත, එම පළාතේ පොලිසිය දවසේ පැය 24 පුරාම ක්‍රියාත්මක වන ආරක්ෂිත කැමරා කිහිපයක්ම මෙම ක්‍රීඩා පිටිය අවට ප්‍රදේශයේ සවි කර තිබෙනවා. ඊට දින කිහිපයකට පසුව මෙම කැමරා පද්ධතිය නීරීක්ෂණය කළ ඔවුනට ප්‍රදේශවාසීන් හා අසල්වාසීන් පවසන පරිදිම රාත්‍රි කාලයේදී දරුවන්ගේ සිරුරේ ප්‍රමාණයට සහ උසට මහතට සරිලන ආකාරයේ ආලෝක ධාරා සහිත එක්තරා ඡායාවන් රැසක් මෙම පිටිය පුරා සැරිසරන ආකාරය දැකගත හැකිවිය.

පුරාවෘත්තවලට අනුව 1918 වසරේදී ස්පාඤ්ඤ උණ නම් රෝගය වැලඳීම හේතුවෙන් මෙම ප්‍රදේශයේ  ජනතාව විශාල ප්‍රමාණයක් මැරී වැටී ඇති අතර  දරුවන්ද විශාල ප්‍රමාණයක් එසේ මියගොස් ඇත. ඒ ආකාරයෙන් මියගිය කුඩා දරුවන්ගේ සිරුරු මෙම ක්‍රීඩා පිටියට යාබද සොහොනේ මිහිදන්  කොට තිබේ. ඒ අනුව ඇතැමුන් පවසන ආකාරයට එම දරුවන්ගේ ආත්මයන් අඳුරු වැටුණු පසුව මෙම ක්‍රිඩාපිටියට පැමිණ සෙල්ලම් කරන බව තමයි ආරංචි වන්නේ. එමෙන්ම 1861-1865 දක්වා ඇමරිකානු සිවිල් යුද්ධයේදී මියගිය නාඳුනන සොල්දාදුවන් විශාල ප්‍රමාණයකගේ සිරුරු මෙන්ම  ළමා මළ සිරුරු විශාල ප්‍රමාණයක් මෙම ක්‍රීඩාපිටියට අල්ලපු සොහොන් බිමේ මිහිදන් කොට ඇති බවත් සඳහන් වේ.

ඒ අතරම වෙනත් විවිධාකාරයේ කතා පුවත්ද මේ හා බැඳී පවතී. එයින් එක් කතා පුවතකට අනුව අති බිහිසුණු දාම ඝාතන රැල්ලක ප්‍රතිඵලයක් ලෙසින් මේ ආකාරයෙන් ළමා අවතාර  රැසක් රාත්‍රි කාලයට මෙම භූමියේ නිරන්තරයෙන් සැරිසරති.

ඇත්ත වශයෙන්ම මෙලෙස සැඟවී ගිය දාම ඝාතන කතා පුවත් පිටුපස තුළ ලොවෙන් වසන් වී ගිය කඳුළු කතා රැසක්ම අන්තර්ගතයි. 1950දී පමණ එක්තරා විකෘති ආසාවන් සහිත වූ බිහිසුණු දාම ඝාතකයකු කුඩා ළමයින් පැහැරගෙන ගොස් දරුණු වධ හිංසා පමුණුවා ලිංගික අතවරයන් සිදු කොට මරා දමා ඇති අතර එසේ මරණ ලද දරුවන්ගේ සිරුරු වළලා ඇත්තේ මෙම ක්‍රීඩාපිටිය ආසන්නයේ ඇති සුසාන භූමිය ආසන්නේ වන ලැහැබ තුළයි. මේ ආකාරයෙන් මිහිදන් කළ ළමයින්ගේ ආත්මයන් පසුකාලීනව මෙම ක්‍රීඩා පිටිය තුළ රාත්‍රි කාලයේදී ක්‍රීඩා මෙවලම්වලින් සෙල්ලම් කරන බවට තමයි විශ්වාස කරන්නේ. මේ කතා පුවත පිළිබඳව තවදුරටත් තොරතුරු සඳහන් වන අතර එහිදී සඳහන් වන්නේ මෙලෙස ඝාතනයට ලක්වූ කුඩා දරුවන් මිය යෑමට පෙර දින ගණනාවක්ම කෑම නොමැති දැඩි කුසගින්නෙන් පෙළුණු බවත් එලෙස දින ගණනකට පසුව දැඩි වදහිංසා විඳ මියගොස් ඇති  බවත්ය. එමෙන්ම එලෙස මියගිය දරුවන්ගේ ඇටසැකිලි සහ භෂ්මාවශේෂ පසු කාලීනව ඒ අවට ප්‍රදේශයේ ජනතාවට දැකගැනීමට හැකි වූ බවත් සඳහන් වේ. කෙසේ වෙතත් මේ කතා පුවත් සියල්ල ජනප්‍රවාද සහ එක් එක් අයගේ විශ්වාසයන් මත පදනම්ව ලියවී ඇති ඒවා වන අතර මේ පිළිබඳව නිශ්චිතව පිළිගත හැකි සාක්ෂි සහ සාධක මෙතෙක් හමු වී නැති බවත්  සඳහන් කළ යුතුයි.

තවද 2007 වසරේදී පමණ මේපල් හිල් සොහොන් බිම ඒ ආශ්‍රිත භූමිය තවදුරටත් පුළුල් කොට මෙම ක්‍රීඩා උද්‍යානය අවට ප්‍රදේශය සංවර්ධනය කිරීමට රජය තීරණය කොට තිබේ. එහිදී මෙම ක්‍රීඩා උද්‍යානයේ සවිකොට තිබූ දරුවන්ගේ ක්‍රීඩා උපකරණ ආදිය ගලවා අදාළ තැන්වලින් ඉවත් කිරීමටද ඔවුන් කටයුතු සංවිධානය කොට ඇත. නමුත් මෙම ගම්මානයේ වැසියන් හා මෙම ළමා අවතාර සහ ළමා උද්‍යානයෙහි කතා පුවත විශ්වාස කරන අසල්වාසීන් මෙම ක්‍රීඩාපිටිය තිබූ තැනින් ඉවත් කරනවාට එකහෙළා විරුද්ධ වී ඇත. එයට හේතුව වන්නේ මෙම ක්‍රීඩාපිටිය හා එහි උපකරණ එලෙසම තිබූ තැන්වලට ස්ථානගත කිරීම තුළ, පුරාවෘත්තවල සඳහන් වන ආකාරයට මෙම උපකරණවලින් සෙල්ලම් කළ දරුවන්ගේ ආත්මවලට එය සැනසීම උදාකරන දෙන සිදුවීමක් ලෙස ඔවුන් විශ්වාස කිරීමයි.

මෙම සිදුවීමෙන් දින කිහිපයකට පසුව මෙම නැවත සකස් කළ ක්‍රීඩාපිටිය දෙස බලා සිටින වැඩිහිටි  පුද්ගලයකුගේ රුවක් හෝ අවතාරයක් වැනි දෙයක් ප්‍රදේශවාසීන් කිහිපදෙනකු දැක තිබෙනවා. එසේ නම් එම රුව කාගේද? බොහෝදෙනා පවසන ආකාරයට මෙම රුව දරුවන් විශාල ප්‍රමාණයක් බිලිගත් දාම ඝාතකයාගේය. නමුත් ඒ බව ඔප්පු කිරීමට තරම් සාක්ෂි සාධක නම් හමු වී නැහැ. කෙසේ වෙතත් මෙම අත්භූත රුව තුළින් පෙනී යන්නේ අතීතයේදී මෙන් වර්තමානයේදීත් පෙර සඳහන් කළ දාම ඝාතකයා දරුවන් බිලි ගැනීමට මාන බලන බව නොවේද?

දිනූෂා මනෝරි නිශ්ශංක