රට විරු කයිවාරු නරිවාදම් බේරේ අපේ කතුන් රොත්තක් ඩුබායි නරා වළේ

0
36

අපේ දුප්පත් ගම්වල අම්මලා අක්කලා මැද පෙරදිග මහ මැඳුරුවල බැල්මෙහෙවරට යන්නේ තමන්ගේ දුවා දරුවන්ගේ හෙට දවස ගොඩනඟන්නටත් උන්ට නිදහසේ වැටී ඉන්නට ගෙයක් -‍ෙදාරක් හදා ගන්නටත් මිස ඉර හඳ අල්ලන්නට නොවේ. ගෙදර මහ මනුස්සයා වගකීමෙන් තොර අයකුය යන්න මින් නොකියැවේ.

ඔහු උපයන දෙයින් දරුවන්ගේ බඩ කට පුරවනවාට වැඩි යමක් කර ගැනීමට රටේ පරිසරය ඔවුන්ට ඉඩ තබා නැත. එහෙව් දහිරියසම්පන්න අම්මලාට අක්කලාට අද සිදුව ඇත්තේ තම පවුලේ අනාගත සිහින සුනුවිසුනු වීමට ඉඩහැර රැකියා ඒජන්සිකාර මාෆියාවක ගොදුරු බවට පත්වී වැලි කතරේ රහස් කාමරවල හිරකාරියන් වීමටය.

මේ කතාව කියන්නේ ඩුබායි ගෘහසේවක රැඳවුම් කඳවුරකින් පැන ආ දඹුල්ලේ ලලිතා මහත්මියය. තමා ඩුබායිහි එබඳු වධ කඳවුරක මාස හතක් තිස්සේ සිරකාරියක හැටියට වේදනා විඳි බව ඇය හෙළි කරන්නීය.

“මං වගේ තවත් අසූපස් දෙනෙක් විතර ඒ කඳවුරේ තාමත් දුක් විඳිනවා’යි ඇය හෙළි කරන්නේ ඒජන්සි මාෆියාවට හිතු හැටියේ හම්බ කරගන්නට ඉඩදී සිටින විදේශ රැකියා බලධාරීත්වයේ හොර නින්ද බිඳිමිනි.

ලලිතා පදිංචිව සිටින්නේ දඹුල්ලේ, දඹුලුඔය පෙදෙසෙහිය. මේ අපරාධය ගැන තමා මීට කලින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පමණක් නොව දඹුල්ලේ පොලිස් ස්ථානයට මෙන්ම තමා විදේශ ගත කළ රැකියා නියෝජිත ආයතනයටද පැමිණිලි කර ඇතත් මේ දක්වා කිසිදු පියවරක් ගෙන නැති බවද ඇය කියා සිටියාය.

“මාව මාස තුනක් තිස්සේ මේ කඳවුරේ හිර කරගෙන හිටියා. මාව ගෙන්වා ගන්න මගේ ගෙදර අයට විශාල මුදලක් වියදම් කරන්නත් සිද්ධ වුණා. ඒ මුදල හොයාගෙන තියෙන්නේ හතර වටේටම ණය වෙලා!” ඇය කීවාය.

ලලිතා මහත්මිය කියන හැටියට තමා ඇතුළු කාන්තාවන් විශාල පිරිසක් සංචාරක වීසා මත ඩුබායි යවා ඇත්තේ එක්තරා රැකියා ආයතනයකිනි.  ඒ ආයතනය මඟින් දිනපතාම පාහේ මෙරටින් ගෘහ සේවිකාවන් යැවෙයි.

“එහේ ගියාම අපිව භාරගත්තේ ඒ රටේ රැකියා නියෝජිතවරියකුයි තවත් කීපදෙනකුයි තමයි. අපිව එහෙ විශාල කාමරවල ගාල් කරනවා. කන්න දෙන්නේ දවසටම එක වේලයි. අඳින්න ඇඳුම් නෑ. සනීපාරක්ෂක පහසුකම් නෑ.

“සමහර දවස්වල අපිට කණ්ඩායම් වශයෙන් ගෙවල්වල වැඩට යවනවා. එහෙම ගියාම දවස් දෙකක්, දවස් හතරක් පහක් එක්කෝ සුමානයක් වැඩ කරන්න ඕනෑ. අපිට හම්බ වෙන්න ඕනෑ ගාස්තුව ගන්නේ අර ඒජන්සිය තමයි”

“අපිව ගාල් කරගෙන ඉන්න කාමරේට හරියකට ඉරඑළිය වැටෙන්නෙත් නෑ. ‍ෙදාර ජනෙල් වහලා. මේ විධියට සමහර දවස්වල දවස පුරාම හිර කරගෙන ඉන්නවා. සනීපාරක්ෂාව අන්තිමයි.  ඇඟේ ගාන්න සබන් කැටයක්වත් නෑ. 85 දෙනාටම පාවිච්චි කරන්න තියෙන්නේ එකම වැසිකිළිය තමයි. 

ප්‍රශ්න කොච්චර දරුණුද කියලා කිව්වොත් අපි යට ඇඳුම් වුණත් මාරු කරගෙන තමයි අඳින්නේ. ඇය සුසුම් හෙලුවාය.

දුලීකා ප්‍රියන්ති නමැති මහත්මියක්ද අපට කරුණු දක්වමින් කියා සිටියේ දඹුල්ල ප්‍රදේශයේ රැකියා ඒජන්සියක් මඟින් ඩුබායි යැවුණු තමාගේ සහෝදරිය එරට අතරමංව සිටින බවය.

“එයාව ඩුබායි යවලා අදට මාස තුනක් වෙනවා. තාමත් එයාට රස්සාව නොදී හිර කරගෙන ඉන්නවා. එයාට ගෙදර එක්ක කතා කරන්නවත් ඉඩ දෙන්නේ නෑ. එයාව හිර කරගෙන ඉන්න තැන තවත් පිරිසක් ඉන්නවා” ඇය පැවසුවාය.

පෞද්ගලික ඒජන්සිකාරයන් හා ඩුබායි මාෆියාකාරයන්  මේ සෙල්ලම් කරන්නේ අපේ රටේ අහිංසක ගැහැනුන් සමඟ පමණක් නොවේ, රටේ කීර්තියද සමඟය.

මේ පහත් වැඩ නවත්වා සාධාරණය ඉටු කිරීමට අපේ බලධාරීන්ට බැරිනම් මොවුන් ඉඳීමෙන් වැඩක් නැත.

බදුල්ලේ – කේ.කේ.

ආරියදාස