යහපත් ජීවිතයකට චාණක්‍යගෙන් නීති 7ක්

0
26

චාණක්‍ය නීති යනු සංස්කෘත භාෂාවෙන් රචනා වී ඇති ජීවිතයට නන් අයුරින් උපදෙස් ලබාදෙන ඵලදායී රචනාවකි. ආචාර්ය චාණක්‍ය විසින් සංස්කෘත පද්‍ය ස්වරූපයෙන් රචනා කොට ඇති මෙහි එදිනෙදා ජීවිතයේ අපට මුහුණපාන්නට සිදුවන විවිධ දුක්-කරදර, ප්‍රශ්න හමුවේ දිරිමත්ව සිටින්නේ කෙලෙසද? ඇසුර පවත්වා ගත යුතු ආකාරය, පවුල් කළමනාකරණය, ගුණධර්ම, සමාජ සම්බන්ධතා, දේශපාලන මතවාද, ආර්ථික සංකල්ප ආදී විවිධ පැතිකඩ ඔස්සේ සිත්ගන්නාසුලු කරුණු ඉදිරිපත් කොට ඇත. චාණක්‍ය යනු යුගගත පුරුෂයෙකි.

ජාතිකත්වය පිළිබඳ හැඟීම් පෝෂණය කළ පුරාණයේ විසූ චින්තකයෙකි. ඔහු පහළ වූ කාලවකවානුව ඉන්දියාව අ¾දුරු යුගයෙන් ගොඩ එමින් සිටි කාලයයි. පැරණි සාරධර්මවල අදාළත්වය නැති වී යමින් තිබූ කාලයයි. සමාජයේ සෑම තරාතිරමකම ව්‍යාකූල බවක් ඇතිව තිබූ යුගයයි. ධර්මය පරස්පර විග්‍රහයන්ට ලක්වෙමින් තිබිණි. කල්ලිවාදය සහ මූලධර්මවාදය හිස ඔසවමින් තිබිණි. සමාජ හා ආගමික සම්මතයන් ව්‍යාකූල වෙමින් තිබිණි.

ආගමික අධිකාරියක් නොමැති විට වැරදි ලෙස අර්ථකථනය කරන ලද ඇදහිලි සමාජයේ සහ සදාචාරයේ ව්‍යුහය සුනුවිසුනුු කරන බව ඔහු දුටුවේය. සමාජ පද්ධතියේ සම්පූර්ණ වෙනසක් හෝ ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය විය. මෙම නව ක්‍රමය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට මඟපෙන්වීමක් ලෙස ‘චාණක්‍ය-නීති’ නමින් ජීවිතයේ විවිධ ප්‍රායෝගික අංශ පිළිබඳ ඔහුගේ නිරීක්ෂණ එකතුවක් රචනා කළේය.

‘චාණක්‍ය නිති’ රචනාව ඒ කාලයේ සිටි මිනිසුන්ට ප්‍රායෝගික ප්‍රඥාව ලබාදීමට කරන ලද නිරීක්ෂණයකි. මෙම ඉගැන්වීම් කෙතරම් වැදගත්දයත් ඒවායේ අදාළත්වය අදටද වලංගුව පවතී. පැහැදිලි සිතිවිලි සහිත සරල භාෂාවකින් සංග්‍රහ කර ඇත. උපදෙස් ලබාදීම පමණක් නොව ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරනු දැකීමද චාණක්‍යගේ අභිප්‍රාය විය.

අපේ ජීවිතයේ යහපතට, සාර්ථකත්වයට නියත වශයෙන්ම උපකාරී වන චාණක්‍ය නීති සංග්‍රහයේ  එවැනි ප්‍රතිපත්ති හතක් මෙහිදී විග්‍රහ කරමි.

1. ඔබේ රහස් කාටවත් කියන්න එපා

‘න විශ්වසේත් කුමිත්රේක ච මිතේ‍ර් චාපි න විශ්වසේත්

කදාචිත් කුපිතං මිත්‍රං – සර්වං ගුහ්‍යං ප්‍රකාශයේත්, (චානක්‍ය නීති 2 ආධ්‍යාය)

අපි කාටත් අඩු වැඩි වශයෙන් රහස් තිබෙනවා. ඇතැම් රහස් තමා පමණක්ම දන්නා සහ දැනගත යුතු ඒවාය. ඇතැම් රහස් තම හොඳම මිතුරා හෝ මිතුරිය පමණක් දන්නා ඒවාය. ඇතැම් විට කිහිපදෙනෙක් දන්නා රහස්ද ඇතැම් විට පවුලට පමණක් සීමා වූ රහස්ද ඇත. නමුත් ඇතැම් රහස් තවෙකෙකු දැනගත් විට එහි අනිසි විපාක විඳින්නට සිදු වූ අවස්ථාද අප අත්දැක ඇත.

ඇතැම් විට අනෙකා උවදුරකින් ගලවා ගැනීමට ඇතැම් රහස් සඟවාගෙන සිටීමට සිදු වේ. ඇතැම් විට තමාගේද තම සමීපතයන්ගේද අනාගත සුබසිද්ධිය වෙනුවෙන් රහස් රැකීමට සිදු වේ. මේ කොයිහැටි වුවත් රහසක් සඟවාගෙන සිටිනවාට වඩා තවෙකකුට පැවැසීමෙන් තමාටද තම සමීපතමයන්ටද ඇතිවිය හැකි බාධා කරදර වැඩිය. ඒ නිසා චාණක්‍යගේ උපදේශය වන්නේ රහස් සඟවාගෙන සිටින තරමට අයහපත් ප්‍රතිඵල ඇති වීමේ අවදානම අවම බවය.

රාම-රාවණ යුද්ධය ගැන ඔබ අසා ඇත. විභීෂණ යනු රාවණගේ සහෝදරයෙකි. රාවණගේ මරණය පිටුපස විභීෂණගේ අතක් තිබූ බව රාමායණ පුවතෙහි සඳහන් වේ. දිනක් රාවණ ‘මගේ මරණය මගේ නාභියේ බව’ විභීෂණට පැවැසුවේය. මෙය මතකයේ තබාගත් විභීෂණ රාම-රාවණ යුද්ධයේදී රාවණගේ නාභියට ඊතල විදින ලෙස රාමට කීවේය. රාම රාවණගේ නාභියේ ඊතල හෙළා අවසානයෙහි මරා දැමුවේය. මේ අනුව අපේ ඇතැම් රහස් තවෙකකුගේ සවනට ගිය පසු එය අපේ ජීවිතයේ අවසානයට පවා හේතුවක් විය හැකිය. ඒ නිසා අපේ රහස් අන් අයට කියනවාට වඩා  නොකියා  සිටීම නුවණට හුරුය.

2. දුෂ්ටයන් මිහිරි දේ කතා කිරීමට පටන් ගන්නේ නම් ඔබ අවදියෙන් සිටින්න

‘පරෝක්ෂේ කාරයහන්තාරං ප්‍රත්‍යක්ෂේ ප්‍රියවාදිනං

වර්ජයේත් තාදෘශං මිත්‍රං විෂකුම්භ– පයෝමුඛම්’ (2 ආධ්‍යාය)

ඔබට කොතෙකුත් අත්දැකීම් ඇති ඔබ කෑවද බිව්වද උන්නද මළාද කියලාවත් හොයලා බලපු නැති, හැම මොහොතකම කකුලෙන් අදින්නට උත්සාහ කළ, අඩුම තරමින් දුරකථන ඇමැතුමකින්වත්, කෙටි පණිවුඩයකින්වත් සෑහෙන කාලයකින් සම්බන්ධ නොවුණු සමහර උදවිය හිටිහැටියේම මිහිරි බස් ‍ෙදාඩමින් ඔබට ළංවුණ අවස්ථාවන්. ඒ ළංවුණේ වෙන ආදරයකට නොව ඔවුන්ගේම වාසියට බවත් ඔබට අවසානයේ තේරුම් යන්න ඇති. ඔබ සර්පයාට කොපමණ කිරි දුන්නත්, උෟ කිසි විටෙකත් දෂ්ට කිරීම නතර නොවේ. එබැවින් දුෂ්ටයන් මිහිරි කතා කිරීමට පටන් ගන්නේ නම්, ඔබ අවදියෙන් සිටින්න. එය ඔහුගේ උපක්‍රමයක් විය හැකි නිසා. ඔහුගේ මිහිරි දේවල සිරවී ඔහුගේ කාර්ය කර ගැනීමට හෝ ඔබට හානි කිරීමට අවශ්‍ය විය හැකිය. ඒ නිසා නරක මිනිසුන්ගේ හැසිරීම්වල වෙනසක් ඇත්නම් වහාම අවදියෙන් සිටින්න.

3. සර්පයා විෂ සහිත නොවුණත්, විෂ සහිත බව පෙන්විය යුතුය.

‘නිර්විෂේණාපි සර්පේණ කර්තව්‍යා මහතී ඵණා

විෂමස්තු න චාප්‍යස්තු ඝඨාටෝපෝ භයංකර’ (9 ආධ්‍යාය)

අර කතාවක් තිබෙනවානේ ‘ඉඳලා හිටලා හරි පෙනේ පුප්පන්නත් නැත්තම් තමාව දරමිටි බැදීමට පවා ගනු ඇත’ යනුවෙන්. එනම්, ඔබ අවශ්‍ය ප්‍රමාණයට වඩා අවංක බවක්, අහිංසක බවක්, යටහත් බවක් පෙන්නුවොත් එවිට ඔබව අනිසි ලෙස පාවිච්චි කිරීමට බොහෝදෙනා බලා සිටිති. තව කෙනකු පීඩාවට පත්කරන්නට, අපහසුතාවට පත් කරන්නට, පහළට ඇද දමන්නට නොව, තමාගේ පැවැත්ම තහවුරු කරගැනීම සඳහා ඉඳහිට හෝ තමා කවුද යන වග පෙන්විය යුතුය. නැතිනම් එය ඔබේ දුර්වලතාවක් යැයි අනෙකා සිතනවා ඇත. බොහෝ දෙනෙක් තවෙකෙකුගේ දුර්වලතා දැක ඒවා උපයෝගි කරගෙන තමාව අයුතු ලෙස භාවිත කිරීමට, අයුතු බලපෑම් කිරීමට යොමු විය හැකිය.

4. කිසිවිටෙක අවශ්‍යතාවට වඩා සේවාවක් නොකරන්න. මන්ද, හැම දෙයකම අන්තයට යෑම නරකය.

‘අත්‍යාසන්නා විනාශාය දුරස්ථා න ඵලප්‍රදා–

සේව්‍යතන්තා මධ්‍යාභාගේන වහ්නිර්ගුරු– ස්ත්‍රිය–’ (14 ආධ්‍යාය)

හැම කෙනෙක්ම පාහේ යුතුකම්, වගකීම් ඉටු කිරීමට බැඳී සිටිති. තමාගේ පැවැත්මට, සමාජයේ පැවැත්මට එය අනිවාර්යයෙන්ම කළ යුතුමය. නමුත් ඇතැම් රාජකාරි පැල් බැඳගෙන කරන්න යෑමෙන් සිදුවන්නේ අනෙකකි. සමහර විට හොඳ චේතනාවෙන් කරනවා වෙන්නට පුළුවනි. නමුත් ඒ දෙස විවිධ අය විවිධාකාරයෙන් බලති. නිර්වචනය කරති. කතා හදති. අපහසුතාවට පත්කරති. එබැවින් ඕනෑවට වඩා ඕනෑම දෙයක් ඕනෙම නැත. අන්තයට යෑම හැම අවස්ථාවකම යහපත් ප්‍රතිඵලයකට වඩා අයහපත් ප්‍රතිඵල ගෙන දෙන්නකි.

රජුගේ ආරක්ෂාවට තබා තිබූ වඳුරා රජු නිදිගත් විට රජුගේ ශරීරයේ වැසූ මැස්සා කඩුවෙන් කොටා මරා දැමූ කතාව ඔබ අසා ඇති. අවශ්‍යතාවට වඩා සේවාවන් කිරීමද සේවාවන් ලබා ගැනීමද දෙපාර්ශ්වයම උවදුරෙහි හෙළන්නකි.

5. සත්‍යය කතා කරන්න

‘සතේ‍ය්න ධාර්යාතේ පෘථිවී සතේ‍යා්න තපතේ රවි–

සතේ‍ය්න වාති වායුශ්ච සර්වං සතේ‍ය් ප්‍රතිෂ්ථිම්’ (5 ආධ්‍යාය)

ලෝබ කෙනකුට සල්ලි දී ඔවුන් දිනන්න පුළුවන්. ඔබට ව්‍යාජ පක්ෂපාතීත්වයක් ඇතිව අහංකාර පුද්ගලයකු උපයා ගත හැකිය. ඕනෑම දෙයකට ‘ඔව්’ යන්න එකතු කිරීමෙන් ඔබට මෝඩයකු දිනා ගත හැකිය. නමුත් සැබෑ විශාරදයකු දිනා ගැනීමට නම් ඔබ සත්‍ය කතා කළ යුතුය. සත්‍ය කියන්නාට කිසිවක් මතක තබා ගැනීමේ අවශ්‍යතාවයක් නැත. මොකද එය කවුරුත් දන්නා සත්‍යයක් බැවිනි. බොරුවෙන් කළ නොහැකි දෙයක් නැත. නමුත් සත්‍යයෙන් ඒ හා දහස් ගුණයක් වටිනා දේ කළ හැකිය. ලෝකය පවතින්නේ සත්‍යය මතය. සැමදා සත්‍ය ජයගනු ඇත.

6. ඔබට ව්‍යාපාර අලාභයක් හෝ පෞද්ගලික පවුල් ප්‍රශ්නයක් ඇත්නම් කිසිවිටෙක කිසිවකු සමඟ බෙදා නොගන්න.

‘අර්ථනාශං මනස්තාපං ගෘහේ දුෂ්චරිතානි ච

වංචනං චාප්‍යමානං ච මතිමාන් න ප්‍රකාශයේත්’ (7 ආධ්‍යාය)

සමහර අය පවසන්නේ දුක බෙදාගැනීමෙන් දුක අඩුවන බවයි. එය කෙටි කාලීනව සිදු විය හැකි නමුත් දිගු කාලීනව එය ඔබට අනතුරුදායක විය හැකිය. කාලය මොහොතක්වත් නොනවතී. සජීවී-අජීවී හැම දේම වෙනස් වේ. අද ඔබේ මිතුරා කවුද, හෙට ඔබේ හතුරා කවුදැයි කලින් නිර්ණය කළ නොහැකිය. අද මිතුරා හෙට ඔබේ සතුරා බවට පත් විය හැකි අතර ඔබේ ගැටලුවෙන් ප්‍රයෝජන ගැනීමටද බොහෝ දෙනෙක් බලා සිටිති. ඒ නිසා ඔබ ඔබේ රහස් නොකියන්නට වගබලාගන්නවා සේම ව්‍යාපාර හානි, පවුල් ප්‍රශ්න තවෙකෙකුට නොපවසා සිටීමට වගබලා ගත යුතුය. එය ඇඟට ගුණය. මොකද දුකේදී ඒ දුක බෙදාගන්න ඉන්න අයට වඩා ඒ දුක, පාඩුව හේතුවක් කරගෙන වාසි ගන්නට බලා ඉන්න අය බොහෝය. වැටුණු ව්‍යාපාර ගොඩනඟන්නට හයියක් වෙන්න ආපු කෙනෙක් නිසා ඇතැම් විට තිබූ තත්ත්වයටද වඩා පහළට ඇදවැටුණු අවස්ථා අසා ඇත. පවුල් ප්‍රශ්නයකට මැදිහත් වීමට පැමිණි කෙනකු නිසා මුළු ජීවිතයම අනතුරට බ¾දුන් වූ අවස්ථා දැක ඇත, අසා ඇත.

7. චාණක්‍යට අනුව කිසිවිටෙක ලැජ්ජා නොවිය යුතු කරුණු තුනක්

‘ධන ධාන්‍යප්‍රයෝගේෂු විද්‍යාසංග්‍රහනේෂු ච ආහාරේ ව්‍යවහාරේ ච ත්‍යක්තලජ්ජ: සුඛී භවේත්’  (7 ආධ්‍යාය)

  • –  යමක් ඉගෙන ගන්නා අතරතුර,

ඔබ යමක් ඉගෙන ගැනීමට ලැජ්ජා වන්නේ නම්, එවිට ඔබ බුද්ධිමය වශයෙන් දුර්වල වනු ඇත. ඔබ මහත් උගතෙක් වුණත් පුංචි දරුවකුගෙන් පවා ඉගෙන ගත යුතු යමක් ඇත්නම් එය ඉගෙන ගන්නට නිහතමානී විය යුතුය. ලැජ්ජා නොවිය යුතුය. හිඟන්නකුගෙන් පවා යම් හොඳ ගුණයක් අපේ ජීවිතයට ගත හැකි නම් එය ඉගෙන ගන්නට තරම් නම්‍යශීලී විය යුතුය. ලැජ්ජා නොවිය යුතුය.

–  ආහාර ගන්නා අතරතුර,

ඔබ කෑමට ලැජ්ජාශීලී නම්, ඔබ ශාරීරිකව දුර්වල වනු ඇත. බොහෝ විට තමාගේ ගරුත්වය, ගේ‍ර්ඩ් එක රැකගන්න. ඇතැම් විට අපි යම් යම් අවස්ථාවල ආහාර ගැනීමේදී ලැජ්ජාශීලී ස්වරූපයකින් කටයුතු කරමු. නමුත් ආහාර ගැනීමේදී ලැජ්ජා නොවිය යුතු බව චාණක්‍යගේ මතයයි. මෙයින් බඩජාරියකු සේ කෑම ගන්න යැයි අදහස් නොකරයි.

–  වෙළෙඳාම් කිරීමේදී හෝ ගනුදෙනු කිරීමේදී,

ඔබ වෙළෙඳාම් කිරීමේදී හෝ මුදල් ගනුදෙනුවලදී ලැජ්ජාශීලී නම්, ඔබ මූල්‍යමය වශයෙන් දුර්වල වනු ඇත. ඔබ වෙළෙඳාමක් කරන්නේ නම් ඒ වෙළෙඳාම මත ඔබේ ජීවිතය මෙන්න පවුලේ යැපෙන්නන්ගේ ජීවිතද රඳා පවතී. යම් මුදල් ගනුදෙනු අවස්ථාවලදී, විශේෂයෙන්ම ණය හිලව් ලබා ගැනීමේදී හා බේරීමේදී මෙම ලැජ්ලාශීලී බව බහුලව දැකගත හැකිය.

ඉහත දැක්වූ කරුණු සියයට සියයක් ප්‍රායෝගික නොවිය හැකිය. නමුත් ඒ උපදෙස් පිළිගැනීමෙන් හා පිළිපැදීමෙන් යහපතක් මිසක් අයහපත් නොවන බව නම් පැහැදිලිය. එබැවින් චාණක්‍යගේ ජීවිතය වෙනස් කරන නීති අපේ ජීවිතයටද එකතු කරගනිමු.

රාජකීය පණ්ඩිත

මාවෙල

සීලරතන හිමි