‘යටත්විජිත කාලෙ ජෝර්ජ් රජ්ජුරුවො අපේ ඉස්කෝල ළමයින්ට දවල්ට බත් දුන්නා’

0
29

බි්‍රතාන්‍ය යටත්විජිත ආණ්ඩුව පැවැති සමයේ එංගලන්තයේ 6 වැනි ජෝර්ජ් රජ්ජුරුවෝ ලංකාවේ පාසල් දරුවන්ට එළවළු, මාළු සමඟ දවල්ට බත් වේලක් කන්නට දුන් බව අද ජීවත්වන බොහෝ දෙනා නොදනිති. නිරාහාරව පාසලට පැමිණි දරුවන් ක්ලාන්තව වැටෙන බව අසන්නට ලැබෙද්දී කිසිවක් නෑසුණු හොර උගුඩුවන් සේ සිටින ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට මේ බව මතක් කර දිය යුතුය. දුප්පත් අම්මලා, තාත්තලාට කර ගන්නට දෙයක් නැත. 

දරුවන්ගේ කෑම පෙට්ටිවල පාන් වහල්ලක් හෝ නැති බව ගුරුවරු කියති. වර්තමාන ආණ්ඩුව සෞභාග්‍යය උදා කරන්නට පොරොන්දු වූ ලංකාවේ මෙකල මෙසේ වූවාට 19 වැනි සියවසේ මෙරට පැවැති  යටත්විජිත ආණ්ඩුව එකල අපේ පාසල් දරුවන්ට පාසලේදී දිවා ආහාර ලබා දුන් බව අසන්නට ලැබීමත් අරුමයකි.

අම්මෙ පෙම්බරා

සහතොස දෙන්න සිතපුරා

සතර සැලකරා

යන්නට අපට අවසරා

ජෝර්ජ් මහ රජා

සිහිකර ගනිමු අප සැමා

යන ගීතය ඉංගි්‍රසි ආණ්ඩුව පැවැති සමයේ පාසල් යෑමට ප්‍රථම දරුවන් ගායනා කළ බව අප අසා තිබේ. එපමණක් නොව  එකල ගම්බද නිවෙස්වල ආලින්දයේ බි්‍රතාන්‍ය රජ පවුලේ ඡායාරූපය ලොකුවට රාමු කර ගසා තිබූ බවද අප දැක තිබේ. 19 වැනි සියවසේ යටත්විජිත ආණ්ඩුව මෙරට පුරවැසියන්ට සැලකූ ආකාරයට වර්තමාන පාලකයෝ රටේ මිනිස්සු ගැන කල්පනා නොකරති.

කුමාරණතුංග මුනිදාසයන්ගේ ශික්ෂා මාර්ගය පොතෙහි

කොකු පණු ‍ෙදාස්තර

ගෙදරට එනවලු

ඩුං ඩුං ඩුං

යනුවෙන් කවියක් තිබිණි. ඉන් කියැවුණේ දරුවන් කොකු පණු රෝගයෙන් පෙළෙනවා දැයි ආණ්ඩුව ගෙදරටම පැමිණ සොයා බලා බෙහෙත් දුන් බවය.

කොකු පණු රෝගයට දෙන කට හාරවන තිත්ත බෙහෙත අපට තවමත් මතකය. එපමණක්ද නොවේ, පාසල් නොයන ළමයින් අල්ලන්නට ඉස්කූල් ඉන්ස්පැක්ටර් ගමට එන බව අසා කැලෑ පැන්න ළමයින් සිටි බවද අපට මතකය. ඉතින් ජෝර්ජ් මහ රජ්ජුරුවන් සිහිකර පාසල් යෑම අරුමයක්ද?

පෙඩ්රික් නෝත් ආණ්ඩුකාරයා 1802දී පාසල් අධ්‍යාපනය වැඩිදියුණු කිරීම සඳහා බි්‍රතාන්‍ය ආණ්ඩුවෙන් වාර්ෂිකව රික්ස් ඩොලර් 48,600ක් ඉල්ලා තිබේ. එකල සිංහල, ඉංගී්‍රසි, දෙමළ පාඨශාලාවන් වෙන් වශයෙන් පවත්වා තිබේ. අධ්‍යාපනය නොමිලේ ලබාදුන් අතර ඇතැම් අවස්ථාවල ගුරුවරුන්ගේ වැටුප් පියවා ගැනීම සඳහා ඔවුන්ට නොතාරිස් කටයුතුවල යෙදීමටද අවසර ලබාදී තිබේ.

ක්‍රිස්තියානි පල්ලිය මඟින් පැවැත්වූ ඉංගී්‍රසි පාඨශාලාවල සිසුන් සඳහා දිවා ආහාරය ලබා නොදුන් අතර අනෙක් සෑම පාසලකම සිසුන්ට දිවා ආහාරය ලබා දී තිබේ. ගෑනු නිසි පෝෂණයක් නොලද දරුවන් එකල ගම්වල හැඳින්වූයේ ගිරහෙනිය හැදිලා කියාය.

දරුවන්ගේ දිවා ආහාරයේ බර මවුපියන්ගේ කර මත පැටවූයේ නිදහසින් පසු මෑතකාලීන ආණ්ඩු විසිනි. 1930, 40 දශකවල පාසලේදී දහවල් ආහාරය ලැබුණු අන්දම පිළිබඳව ඉතා රසවත් අත්දැකීම් අද ජීවත්වන වැඩිහිටි පරම්පරාව පවසති. දරුවන්ගේ පෝෂණය සම්බන්ධව එකල බි්‍රතාන්‍ය ආණ්ඩුවට තිබූ උනන්දුව මෙරට දේශීය නායකයන්ට තිබුණේ නැත.

එකල දිවයිනේ බොහෝ ප්‍රදේශවල ආරම්භ කර තිබූ බෞද්ධ පාඨශාලාවලද විහාරාරාම ආශි්‍රතව පවත්වාගෙන ගිය පිරිවෙන් පාඨශාලාවලද ඉගෙනුම ලැබූ දරුවන්ට දිවා ආහාරය ලබා දී තිබේ.

මහගමසේකරගේ සුප්‍රකට නවකතාව වූ තුන්මංහන්දියේ සිරිසේන රදාවාන සිංහල පාසලේ වැඩිහිටි ශිෂ්‍යයකු වශයෙන් සිටියදී පාසල් මුළුතැන්ගෙයි සිසුන්ට දිවා ආහාරය බෙදා දී තමන් ඇතුළු කිහිප දෙනකු සඳහා අමතර පොල් සම්බෝලයක් හදාගත් වරදට මුල් ගුරුතුමාගෙන් වේවැල් පහර කෑ අන්දම තුන්මංහන්දිය චිත්‍රපටය බැලූ අයට මතක ඇත.

ඉංගී්‍රසි ආණ්ඩුව පාසලේ දී දරුවන්ට දිවා ආහාර වේල දෙන්නට කටයුතු යොදා තිබූ ආකාරය  පිළිබඳ සුන්දර මතකයන් එම අත්දැකීම ලද වැඩිහිටියන් සතුව තිබේ.

අවිස්සාවේල්ල සීතාවක විවාහ හා මරණ රෙජිස්ට්‍රාර් අයි.ජී.ඒ.පී ධනපාල මහතා (90)

“අවිස්සාවේල්ල ශාන්ත මරියා ඉංගී්‍රසි පාඨශාලාවේ  අධ්‍යාපනය ලබද්දී  යාබදව පිහිටි සිංහල පාසලේ සිසුන්ට නොමිලේ දිවා ආහාරය දෙන අයුරු මා දුටුවා.”

ඒ සඳහා සෑම  සිසුවකුම තමන්ගේ පිඟානක් පාසලේ තබා තිබුණා. ළමයින්ගේ දිවා ආහාරය සඳහා සිංහල පාසලේ කෑම පිළියෙල කරන සුවඳ අපටද දැනුණා. ළමයින් පෝලිමේ ගොස් පිඟන්වලට කෑම ලබා ගන්නා ආකාරය අප දකිනවා. ඉංගී්‍රසි පාඨශාලාවේ නම් දිවා ආහාර ලබාදීම සිදු වුණේ නෑ. ප්‍රාථමික පාසල් අධ්‍යාපනයෙන් පසුව මා ගියේ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයට. එහිදීත් ඉංගී්‍රසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලැබුවා.”

විශ්‍රාමික විදුහල්පති  දේශකීර්ති ඥානපාල යටගම මහතා (89)

“මා මුලින්ම පාසල් ගියේ අක්මීමන උපනන්ද විද්‍යාලයට. බදුන්ගොඩ සිට අපි ගියේ පයින්. අපේ ඇ¾දුම වුණේ කරට අදින ගැටයක් දැමූ දණහිස දක්වා දිග බාච්චු කමිසය. ගස් කමිසය කියලා සමහරු ඒක හැඳින්නුවා. අපිට පාසලේදී දවල්ට එළවළු සමඟ බත් කෑමට ලැබුණු බව මතකයි. දැන් වැඩි විස්තර කියන්න මතකය තරමක් අඩුයි. ඒ කාලේ කිසිම  ළමයකුට ඉස්කෝලේ නොගිහින් ඉන්න බෑ. ඉස්කෝලේ යනවද නැද්ද බලන්න පරීක්ෂකවරු ගෙවල්වලට එනවා.

ගෙවල්වල ලොකුවට අගහිඟකම් තිබුණෙත් නෑ. හැමෝම ගොවිතැන්බත් කරන පරිසරයක් තිබුණේ. මම විභාග සම්පූර්ණ කර ගත්තේ ගාල්ල විදේ‍යාදය පිරිවෙනට ගිහින්. මා ගුරු වෘත්තියට පිවිසි 1959 වන විට පාසල් ළමයින්ට දිවා ආහාරය වශයෙන් දුන්නේ බනිස්.”

තංගල්ලේ වෙළෙඳ ව්‍යාපාරික බෙනට් සිරිසේන මහතා (80)

“අපේ තාත්තා ඉගෙන ගත්තේ මොරකැටිආර විද්‍යාලයේ. ඒ කාලයේ සිසුන්ට පාසලේම දිවා ආහාරය සඳහා වෑංජන සමඟ බත් පිළියෙල කර දුන් බව තාත්තා මට කියා තිබෙනවා.

1945දී මා දෙවුන්දර විද්‍යාලයේ අධ්‍යාපනය ලබද්දී දිනපතාම දවල් කෑමට පාන් කාලක් සහ ඊට සරිලන වෑංජන ලැබුණා. බොහෝවිට පරිප්පු නැත්නම් කිරි හොදි. එසේ නැත්නම් පොල් සම්බෝල.

වෑංජන බෙදා ගැනීම සඳහා ශිෂ්‍යයන් හොඳින් සුද්ද කළ පොල්කට්ටක් පාසලට ගෙනාවා.  පොල්කට්ට නැවත ගෙදර ගෙන ගියේ නැහැ. සෑම සිසුවකුගේම ඩෙස්කුව මත හොදි ගන්නා පොල්කට්ට මුණින් නමා තිබුණා. දිනක් හොදි මුට්ටිය හිස මත තබාගෙන පාසල වෙත එන කෑම පිළියෙල කරන යසෝහාමි ආච්චි ලෙස්සා ගොස් උණුසුම් පරිප්පු සිරුර පුරා වැටී ඇය රෝහලට ගෙන ගියා.”

තෙල්ලඹුරේ ලීලාවතී විතානගේ

මහත්මිය (87)

“අපේ පාසල තෙල්ලඹුරේ දුටුගැමුණු විද්‍යාලය. එය පිහිටා තිබුණේ ගාල්ල, උඩුගම පාරේ 14 වැනි සැතපුම් කණුවට නොදුරින්. එය එච්.ඩබ්ලිව්. අමරසූරිය බෞද්ධ පාඨශාලාව නමින්ද හ¾දුන්වයි.  1942 – 48 පමණ කාලේ අපට පාසලේදී දිවා ආහාරය සඳහා බත් ලැබුණු බව මට හොඳට මතකයි. කරවල බැදුමක් හෝ කරවල හොදි, වට්ටක්කා වෑංජනයක්, පලා මැලවුමක් සමඟ දවල් විවේක වෙලාවෙදී කෑම දුන්නා.

ගමේම අම්මලා කිහිපදෙනෙක් තමයි රසට කෑම ඉව්වේ. ළමයි පිඟන් බාරදීලා කෑම බෙදුවාට පසු තමන්ගේ පිඟාන හ¾දුනාගෙන රැගෙනවිත් පන්තියේ වාඩිවී කෑම කනවා. ඒ කාලේ පිරිමි ළමයි සරොම් සහ කමිස ඇන්දා. ගැහැනු ළමයින් ඇන්දේ චීත්ත ගවුම්. සමහරු කොණ්ඩා බැඳ සිටියා.”

ප්‍රවීණ ලේඛක පානම ගුණසේකර ගුණසෝම මහතා

“මම නැඟෙනහිර පානම සිංහල විද්‍යාලයේ සිදුකළ සමීක්ෂණයකදී එම පාසලේ 1940 දශකයේ ලොග් සටහන්වල තිබී සිසුන්ට කෑම දීම සඳහා සහල්, එළවළු ආදියට වියදම් කළ මුදල් පිළිබඳ ලැයිස්තු හමුවුණා. එම ලොග් සටහන් ඉතාමත් පිරිසුදුව සටහන් කර තිබුණා.

විදුහල්පති විසින් එම ලොග් සටහන් ඉංගී්‍රසි ආණ්ඩුවේ පරීක්ෂකවරුන්ට පෙන්වා අස්සන් ලබාගෙන තිබුණා. කොටින්ම කියනවා නම් ලුණු සඳහා ගිය ශත 2 මුදල පවා ලියා තිබූ අන්දම දුටු මට පුදුම හිතුණා.”

යටත්විජිත ආණ්ඩුව රටේ දරුවන්ගේ ඉංගී්‍රසි අධ්‍යාපනය ඉහළ නැංවීමට කටයුතු කළාක් මෙන්ම දරුවන්ගේ පෝෂණ තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වූ බවටද උදාහරණ තිබේ.

1927 වනවිට ලංකාවේ  ඉංගී්‍රසි පාසල් 266ක් තිබිණි. එම පාසල්වල සමස්ත සිසුන් සංඛ්‍යාව 50642කි. ඉංගී්‍රසි පාසල් බස්නාහිර පළාතේ පමණක් නොව උෟව සහ වයඹ වැනි දුෂ්කර පළාත්වලද තිබිණි. 1927 දී සිංහල මාධ්‍ය පාසල් 4122ක් තිබී ඇත.  සිංහල සිසුන්ගේ මුළු එකතුව 4,53,886කි. මෙම ගණන් හිලව් ලබා ගන්නා ලද්දේ අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන් විසින් නිකුත් කර ඇති ඒ ඒ වර්ෂවල පාලන වාර්තාවලිනි.

එකල ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය රජයේ පාසල්, ආධාර ලබන පාසල්, ආධාර නොලබන පාසල් යනුවෙන් කාණ්ඩ තුනකට වෙන් කර තිබී ඇත. යටත්විජිත ආණ්ඩුව සියලුම රජයේ පාසල්වල ළමයින්ට දිවා ආහාරය වශයෙන් අංගසම්පූර්ණ බත් පිඟානක් ලබාදී තිබේ. ඒ සඳහා වියදම් අනුමත කර තිබෙන්නේ බි්‍රතාන්‍යයේ යටත්විජිත ලේකම් කාර්යාලය විසිනි. ආණ්ඩුකාරයා විසින් අවශ්‍ය ගණන් හිලව් යටත්විජිත ලේකම් කාර්යාලයට ඉදිරිපත් කරන ලදුව රජයේ අනුමැතිය ලබාගෙන තිබේ.

නිදහස ලැබීමෙන් පසු කෙටි කලක් පාන් කාලක් වශයෙන්ද 1953 දක්වා බනිස් ගෙඩියක් වශයෙන්ද, අනතුරුව බිස්කට් දෙකක් හෝ තුනක් වශයෙන්ද පාසල් සිසුන්ගේ දිවා ආහාරය පල්ලම් බැස්ස බව අපි දනිමු. 1953 දී නවතා දමනු ලැබූ පාසල් සිසුන්ට බනිස් දීම 1956 දී නැවත ආරම්භ කරන ලද්දේ ගාල්ලේ විජයානන්ද දහනායක ඇමතිවරයා විසිනි. එකල ඔහු හැඳින්වූයේ බනිස් මාමා නමිනි.

1960 දශකයේ දී පාසලේ දහවල් විවේකය ළංවෙද්දී බනිස් පෙට්ටි බැඳගත් බයිසිකල් පාසලට ළඟා වනවිට උණුසුම් බනිස් සුවඳ වහනය වූ අයුරු අපට තවමත් මතකය. කැලෑසියෙන් කැලෑසියට නියමිත බනිස් ලබා ගැනීම සඳහා කුඩා කාඩ්බෝඩ් පෙට්ටි තිබූ අතර පෙට්ටි රැගත් පන්ති නායකයෝ බනිස් බෙදන කාමරයට දිව යති. සමහර ළමෝ බනිස් ගෙඩිය කෑම සඳහා අමුමිරිස් කරල් ගෙදරින් ගෙන ඒම පුරුද්දක් කරගෙන සිටියහ.

1970 – 75 වකවානුවේ ඇමරිකන් දීමනා යටතේ බිස්කට් ලැබිණි. 1977 දී පාසල් සිසුන්ගේ දිවා ආහාරයේ බරින් ආණ්ඩු නිදහස් විය. තොපි දරුවන් හැදුවා නම් තොපිම කන්න දීපල්ලා යැයි කියන තැනට ආණ්ඩු පත් විය. අපේ කොල්ලන් ගැන ඒරොප්පේ සුද්දන්ට තිබූ කැක්කුම අපේ රටේ ලොක්කන්ට කවදාවත් තිබුණේ නැත.

නිදහස් සෞඛ්‍ය සේවය සහ නිදහස් අධ්‍යාපනය ඇති කිරීමේ කීර්තිය දේශීය පාලකයන් විසින් ලබා ගත්තද සත්‍ය එය නොවේ. යටත්විජිත ආණ්ඩුව විසින් මේ රට අධ්‍යාපනය සඳහා හෝ සෞඛ්‍ය සේවාව සඳහා හෝ මුදල් අය කළ බවට කිසිදු වාර්තාවක් හමුවී නැත. රෝහල් සේවාව සඳහා රෝගීන්ගෙන් ශත 25ක බද්දක් පළමුවරට අය කරන ලද්දේ 1970 – 1975 සිරිමා බණ්ඩාරනායක අගමැතිනියගේ  ආණ්ඩුවේ මුදල් ඇමතිවරයකු වූ ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා විසිනි.

බි්‍රතාන්‍ය ආණ්ඩුව විසින් ඇති කළ පාසල් සිසුන්ට දිවා ආහාරය ලබා දීමේ වැඩසටහන ශක්තිමත්ව හා විධිමත්ව ඉදිරියට ගෙන ගියා නම් නිසි උස බර සහිත නිරෝගීමත් දරු පරපුරක් අපේ රටේ බිහිවන අතර ලෝකය දිනන්නට ඒ දරු පරපුර සමත් වනු නොඅනුමානය.

උදේනි සමන් කුමාර