මේක පණිවුඩකාරයාට වෙඩි තියන ආණ්ඩුවක්

0
27

විපක්‍ෂ‍යේ මන්ත්‍රිවරියක් වන ඔබට දේශපාලනය අලුත් දෙයක් නොවෙයි නේද? උපන්දා සිට දේශපාලන පරිසරයක හැදුණු ඔබේ අතීතය ටිකක් මතක් කර දෙන්න?

“මම ඉපදුණේ ලග්ගල. මා ඉපදෙන්න පෙර සිටම අපේ ගෙවල්වල තිබුණේ දේශපාලන පරිසරයක්. මගේ අම්මගේ තාත්තා 1965-1970 කාලෙ ලග්ගල මන්ත්‍රිවරයා. මගේ අප්පච්චි කේ.වයි.එම්. විජේරත්න බණ්ඩා හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙක්. මගේ ස්වාමිපුරුෂයා සංජීව කවිරත්නත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක්. ඔහුගේ පියා වන පී.බී. කවිරත්න හිටපු  අමාත්‍යවරයෙක්.

ඉතින් මට පුංචි කාලෙ ඉඳලම දේශපාලන ආභාෂය තිබුණා. අප්පච්චි කිහිප වතාවක් මට කිව්වා දේශපාලනයට එන්න කියලා. මම පුංචිම කාලෙ නම් දේශපාලනයට එන්න කැමැත්තක් තිබුණා. එ්ත් වැඩිහිටි වියට එද්දි මට හිතුණේ ගුරුවරියක් වෙන්න. ගෙදර ‍ෙදාරේ වැඩ බලාගෙන දරුවන්ට යහමඟ පෙන්වන්න. මහජන නියෝජිතයෙක් නොවුණත් ස්වාමිපුරුෂයාගේ දේශපාලනය පිටුපස ඉඳන් ඔහුගේ වැඩවලට සහාය දුන්නා. එ්ත් සංජීව හදිසියේ මිය යෑමත් එක්ක මට දේශපාලනයට එන්න වුණා. 2015 ඉඳන් මම පාර්ලිමේන්තු මන්ත්‍රිවරියක ලෙස කටයුතු කරනවා.”

කාන්තාවක් වුණාම ආර්ථික වශයෙන් ස්වාධීන වෙන්න ඕන කියන මතයේ ඔබ ඉන්නවාද?

කාන්තාවක් යම් ඉපැයීමක් කරනවා නම් පවුලට සහයක් වෙනවා. හැමදේටම ඉල්ලනවට වඩා හොඳ නැද්ද ඒක.  අපි හිතමු සනීපාරක්ෂක තුවායේ ඉඳල හැමදේම ස්වාමිපුරුෂයාගෙන් ඉල්ලනවට වඩා තමන් යමක් උපයනවා නම් හොඳයි නේද? මම උගන්වද්දි මගේ සිසු සිසුවියන්ටත් කිව්වේ ආර්ථික වශයෙන් ස්වාධීන වෙන්න කියලයි.

කාන්තාවන් හා ළමයින් වෙනුවෙන් මීට වසර කිහිපයකට පෙර කැබිනට් අමාත්‍යාංශයක් තිබුණා. ඒත් දැන් තියෙන්නේ රාජ්‍ය අමාත්‍යාංශයක් විතරයි. මේ රටේ කාන්තාවන්‍ගේ දරුවන්ගේ අවාසනාව ඒ. ජනගහනයෙන් සියයට 52ක් විතර කාන්තාවෝ.  තවත් සියයට  43ක් විතර පාසල් දරුවන්. ජනගහනයෙන් සියයට 25ක් දරුවෝ. මේ තරම් විශාල පිරිසක් ආමන්ත්‍රණය කරන්න අමාත්‍යාංශයක් නැහැ. මේක ප්‍රශ්නයක්. මොකක් හරි අමාත්‍යාංශයක එල්ලපු කෑල්ලක් විධියට විතරයි කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය පවත්වාගෙන යන්නේ.

කැබිනට් අමාත්‍යාංශයක් තිබුණත් අය-වැයෙන් අඩුම මුදල වෙන් වන්නේ කාන්තාවන් හා ළමයින් වෙනුවෙන්. ඉතින් අද මාධ්‍ය දිහා බැලුවම රටේ කාන්තාවන්ට, ළමයින්ට වෙලා තියෙන දේ පෙනෙනවා. ඍජුවම තීන්දු තීරණ ගන්න අමාත්‍යාංශයක් ඇත්තෙත් නැහැ. වෙන් වන මුදලක් අවශ්‍යයි.

මේ රටේ පාලකයන් ඇයි මේ කාන්තාවන්ගේ ගොඩටම ළමයිනුත් දාන්නේ? තාත්තලාට දරුවන් ගැන තීන්දු තීරණ ගන්න බැරිද? වෙන රටවල නම් දරුවන් සලකන්නේ රජයට අයත් සම්පතක් හැටියටයි. දරුවන් රැක බලා ගැනීම, පෝෂණය සම්බන්ධයෙන් ලොකු වැඩ කොටසක් රජය කරනවා. නමුත් අද අපේ රටේ දරුවන්ට ආරක්ෂාව, පෝෂණය, අධ්‍යාපනය ඇතුළු අංශ ‍රාශියක ප්‍රශ්න තියෙනවා. අපේ නීතියේ හැටියට දරුවන් රජයට අයත් වුණාට රජය ඒ ගැන හිතන්නේ නැහැ.

බලන්න පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන දිහා. ඒව කොටසක් අධ්‍යාපන අමාත්‍යාංශයට අයිතියි. කොටසක් සෞඛ්‍ය අමාත්‍යාංශයට අයිතියි. ගොනා ගොඩට මීමා මඩට වගේ දෙපැත්තට ඇදීම තුළ යම් යම් ගැටීම් ඇති වෙනවා. යහපාලන කාලෙදී අපි පූර්ව ළමාවිය සංවර්ධනය සම්බන්ධයෙන් ප්‍රඥප්තියක් හදන්න ගිය අවස්ථාවේ මෙහෙම අමාත්‍යාංශ දෙකක තිබීම හේතුවෙන් අපි ප්‍රශ්න රාශියකට මුහුණ දුන්නා.

ස්ත්‍රී දූෂණ, ළමා අපයෝජන, කාන්තාවන් හා ළමයින් ඝාතනය කිරීම්, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වගේම සියදිවි නසාගැනීම්ද හැම පැත්තෙන්ම වාර්තා වෙනවා. ඔබ ජනතා නියෝජිතවරියක්. ඉතින් මේ ගැන ඔබේ මතය කුමක්ද?

මේ රටේ සංඛ්‍යා ලේඛන අනුව 1990දී දූෂණ 369ක්, 2010දී 1084ක්, 2014දී 2008ක් වගේම, 2016දී 2036ක් වාර්තා වෙලා තියෙනවා. ඒ කියන්නේ 1990දී දවසකට එකක් විතර වාර්තා වුණ ස්ත්‍රී දූෂණ ‍මේ වෙද්දි දවසකට පහකටත් වඩා වාර්තා වෙනවා. කාන්තාවන් හා ළමයින් අවදානමක ඉන්නේ. මම මේ තත්ත්වය වෙනස් කිරීම වෙනුවෙන් නිරන්තර පෙනී සිටින කෙනෙක්.

හැම ග්‍රාම නිලධාරි වසමකම ඉන්නවා වනිතා සංවර්ධන නිලධාරිනියක්. ළමා ආරක්ෂක නිලධාරියෙක්, හැම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම ඉන්නවා උපදේශනය වෙනුවෙන් නිලධාරිනියක්. එතකොට එහෙම හිටියත් දරුවන් අනාරක්ෂිතද කියන එක ගැන වාර්තාවක් කවදාවත් එන්නේ නැහැ. ග්‍රාම නිලධාරි ඇතුළු නිලධාරීන් කී දෙනෙක් ගමක ඉන්නවාද? නමුත් මේ නිලධාරීන් විශාල පිරිසකගේ ඇඟිලි අස්සෙන් අසාධාරණයට ලක්වූ දරුවන් හා කාන්තාවන් වැටිල තියෙන්නේ. ඒ නිසා අනාරක්ෂිත කාන්තාවන්, අනාරක්ෂිත දරුවන් අපට හ¾දුනගන්න බැරිවෙලා තිබෙනවා. අපි සිද්ධි දැනගන්නේ දරුවන් අපයෝජනයට ලක්වුණාට පස්සේ. කාන්තාව දූෂණය වුණාට පස්සේ. නැත්නම් කාන්තාව සියදිවි නසාගත්තට පස්සේ.

මේ සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රිවරියන්ගේ සංසදය කැඳවූ සාකච්ඡාවකට වනිතා කටයුතු අමාත්‍යාංශය හා ඒ වගේ වෙනත් ආයතනවල කෙනෙක් ඇවිත් හිටියා. අපි ඒ අයට කිව්වා සංඛ්‍යා ලේඛන පවත්වාගෙන යෑමේ වැදගත්කම ගැන. මේ තරම් විශාල පිරිසක් නිලධාරීන් ඉඳලත් දත්ත පද්ධතියක් පවත්වාගෙන යන්නෙ නැති වීම ගැන අප කථා කළා. ඒ තුළින් ආරක්ෂාව සලසා දෙන්න පුළුවන් බව අප පෙන්වා දුන්නා.

1995දී පැනවුණු ගෘහස්ථ ප්‍රචණ්ඩත්ව පනත කාලානුරූපද? එය ප්‍රයෝජනවත්ද? එහි කිහිප වරක් සංශෝධන සිදුව තිබෙනවා. ඒවා පවා පීඩාවට පත් කාන්තාවන්ට සහනයක් නොවෙන බවයි මේ එසේ පීඩාවට පත් අය කියන්නේ. මේ ගැන ඔබේ මතය කුමක්ද?

කියන්න කනගාටුයි. අපි කියමු ගෘහස්ථව හිංසනයට පත් කාන්තාවක් පොලිසියට ගිහින් පැමිණිල්ලක් දාල ආපසු එන්න ඕන තමන් හිංසනයට ලක්වූ නිවසටමයි. හිංසකයා සිටින ගෙදරටමයි. ඉතින් ආපසු හිංසනයට  ලක්වෙනවා. වාර්ෂිකව වාර්තා වෙන ඝාතන අතර එවැනි ඒවාත් තිබෙනවා. ‌පොලිසියත් කරන්නේ ඔයා ගිහින් තව සැරයක් බලන්නකො ෂේප්කර ගන්න පුළුවන්ද කියල ආපහු ගෙදර යවන එක. ඔය කියන විධියේ පහරදීම්, බෙලභීනතාවන්ට ලක්කිරීම්, ඝාතන සිදුවෙන්නේ එැතනදීයි.

 ජනාධිපතිතුමා ඉදිරිපත් කරල තිබුණා යෝජනා 29ක් එක්ක පනතක්.  අපි කාන්තා සංසදය ඒකට යෝජනා එකතු කරල ජනාධිපතිතුමාට භාර දුන්නා. එය පාර්ලිමේන්තුවට ඒවි. එහිදී අපි යෝජනා කළා සෑම පොලිස් බල ප්‍රදේශයකම ආරක්ෂිත නිවාසයක් ආරම්භ කළ යුතුය කියා.

දිවා සුරැකුම් මධ්‍යස්ථාන බහුල කිරීම අත්‍යවශ්‍යයි කියා අපි යෝජනා කළා. මොකද මවුපියන්ට දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ අයිතියක් ඒක. දැන් කාලෙ දරුවන් බලන්න කෙනෙක් තියල යන්න මවුපියන්ට බැහැ. පුළුවන්කම තිබුණත් එයින් සමහර විට ආරක්ෂාව තහවුරු වෙන්නෙ නැහැ. අනතුරු වෙන්න පුළුවන්. මේ ප්‍රශ්නය මානසික පීඩාවක් නිසා රැකියාවෙදී කාර්යක්ෂමතාව අඩු වෙනවා. මේ නිසා රාජ්‍ය හා පෞද්ගලික ආයතන සියල්ලේම දිවා සුරැකුම් මධ්‍යස්ථාන ඇති කරන්න කියලා.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ දරුවන්ගෙන් සියයට අසූවක් මන්දපෝෂණයට ලක්වෙලා තියෙන බව ඒ ගැන සොයා බැලූ වෛද්‍ය කණ්ඩායමක් කියල තිබුණා. ජනාධිපතිවරුන් දෙදෙනෙක්, මැති ඇමැතිවරුන් රැසක් වගේම වර්තමාන කෘෂි අමාත්‍යවරයාත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ. එහෙම දිස්ත්‍රික්කයක තත්ත්වයත් එහෙම නම් රටේ තත්ත්වය කොහාමට ඇත්ද?

මම මේ ප්‍රශ්නය පාර්ලිමේන්තුවේ ඇහුවා. පත්තර පෙන්නල ඇහුවම ඇමැතිතුමා කිව්වේ මාධ්‍ය දේශපාලනය කරනවා කියලයි. ඒ වෙලාවේ නියෝජ්‍ය කථානායකතුමා කිව්වේ එයා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙන් ඇහූ බවයි. එතැනින් කිව්වේ එහෙම කිසිම දෙයක් නැහැ ඒක බොරුවක් කිව්ව කියලයි. වැරැදි දත්ත අරන් ඒක කරල තියෙනවා කියලයි ඔහු කිව්වේ.

වෙලා තියෙන්නේ හැම වෙලාවෙම ප්‍රශ්න වලිගෙන් අල්ල ගන්න එකයි. මම කිව්ව ඇමැතිතුමා මේ ප්‍රශ්නය වලිගෙන් අල්ල ගන්නෙ නැතිව ඔළුවෙන් අල්ල ගන්න කියලා. ආර්ථික අර්බුදයක් තියෙද්දි දරුවන්ට පෝෂණ උෟනතා ඇති වෙන්න පුළුවන්. ඒ නිසා වැඩපිළිවෙළක් හදන්න කියල. මේ වැඩේ හඳ පෙන්නන කොට ඇඟිල්ල දිහා බලනව වගේ වැඩක්. තව විධියකින් කිව්වොත් පණිවුඩකාරයට වෙඩි තියන ආණ්ඩුවක් මේක.

අද අපේ රටේ දේශපාලනයේ සිටින කාන්තාවන් පිරිස ප්‍රමාණවත්ද? ප්‍රමාණවත් නැතැයි සිතනවා නම් ඒ පිරිස වැඩි කර ගන්න දැනටමත් ඔබ යම් වැඩපිළිවෙළක් යෝජනා කර තිබෙනවාද?

“ඇත්තටම දේශපාලනයේ කාන්තා දායකත්වය සතුටු විය යුතු මට්ටමක  නැහැ. අපි සතුටු වෙන්න ඕන යහපාලන ආණ්ඩුවේදී පළාත් පාලන ආයතන වෙනුවෙන් සියයට විසි පහක කාන්තා කෝටාවක් ලබාදීම ගැන. ඒ නිසා අපට අද පළාත් පාලන ආයතනවල මන්ත්‍රිවරියන් 2046 දෙනෙක් ඉන්නවා.  මේකෙන් දේශපාලනයේ ක්‍රියාකාරීව කටයුතු කරන්න අපේ කාන්තාවන්ට ආසාවක් උත්තේජනයක් ඇති වුණා. ඒත් ඒ ඇතිවුණ උත්තේජනයෙන් ආ පිරිස හැරුණු විට දේශපාලනයේ තනතුරුවලට, තීන්දු තීරණ ගන්න තැන්වල කාන්තාවන් හිඟයි.

පළාත් සභාවන්වල කාන්තාවන් කී‍ දෙනාද හිටියේ. පාර්ලිමේන්තුව බලන්න. 13 දෙනාගෙන් එහාට යන්නේම නැහැ. කාන්තාවන්ට දේශපාලනයේ තනතුරුවලට, තීන්දු තීරණ ගන්න තැන්වලට ඇතුළත් වෙලා ඉන්න පිරිස හරිම අඩුයි.

ප්‍රමාණාත්මකව මෙන්ම ගුණාත්මකව කාන්තා දායකත්වය වැඩි කර ගන්න වුවමනායි. එ්ක බොහොම වැදගත් කාරණාවක්.  ඒ නිසා තමයි අපි පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට අපේ යෝජනා ඉදිර‍ිපත් කළේ. කාන්තා සංසදය ලෙස අපි ජාතික ලැයිස්තුවෙන් සියයට පනහක් කාන්තාවන් අවශ්‍ය බව, පක්ෂ ව්‍යුහය තුළ කාන්තාවන් සියයට තිහක්වත් සිටිය යුතු බව වගේම මේ යෝජනා ව්‍යවස්ථාව තුළින්ම තහවුරු විය යුතු බව යෝජනා කළා. කාන්තාවන් පත් කරන්න පක්ෂ නායකයන් තීරණය කරනවා නම් මේ නීති හදන්න අවශ්‍ය නැහැ.

දැන් ඉන්න ආසන සංවිධායකගේ අය විතරයි ගේන්නේ කියන චෝදනාව තියෙන නිසා අපි යෝජනා කළා සමාජ ක්‍රියාකාරීන්ට ප්‍රමුඛතාව දෙන්න කියලා. විශේෂයෙන් අපි දන්නවා ආයතන ඇතුළත කාන්තා නියෝජිතවරියන් හිංසනයට ලක්වෙනවා. විශේෂයෙන් වාචික හිංසනයට. ඒකට මුහුණ දීපු කෙනෙක් හැටියට මම දන්නවා එ් ගැන. අපට ශක්තිය නැතිව නොවෙයි ඒවට විරුද්ධව නැඟිටින්න. එතනදි තමයි ප්‍රමාණාත්මක බව අවශ්‍ය වන්නේ. සංඛ්‍යාව මදි බව ප්‍රශ්නකාරී වෙන්නේ එහෙම තැන්වලදී. හැමදාම කෝටා ඉල්ල ඉල්ල ඉන්න බැහැ. පිරිමි අහයි ඇයි එයාලට විතරක් කෝටා දෙන්නේ කියලා. ඒවට උත්තර දෙන්න වෙනවා. ඒ නිසා සමාජයේ මතයක් ඇති වෙන්න අවශ්‍යයි. කාන්තාවන් දේශපාලනයේදී වඩාත් සුදුසුයි කියල ජනතාව හිතන කාලයක් එන්න ඕන. එතකල් අපට මේ කෝටා ඉල්ලන්න වෙනවා. කවද හරි ‍කෝටා ‍නැතත්, කාන්තාවන් වඩාත් සුදුසුයි කියල හිතන පරමාදර්ශි චරිත බවට පත්වෙන එක දැනට දේශපාලනයේ ඉන්න කාන්තාවන්ගේ යුතුකමක්, වගකීමක්. ගෑනු යැව්වොත් හොඳයි නේද කියන එක ඡන්දදායකයාගේ හිතට අනිච්ඡානුගතවම එන තැනට ජන මනසට අපි ආදර්ශවත් විය යුතුයි. සමාජයේ ක්‍රියාකාරීව කටයුතු කරන කාන්තාවන්ට දේශපාලන පවුලක වුණත් නැතත්, ඉදිරියට එන්න අවස්ථාව තිබිය යුතුයි. ඒ වගේම දේශපාලනය හදාරන්න අවස්ථාව තිබිය යුතුයි.

ඔබට කාන්තා හා ළමා අමාත්‍යාංශය භාර වූවොත් මේ රටේ දරුවන් වෙනුවෙන් ඔබේ කෙටිකාලීන, මධ්‍යකාලීන හා දී

ර්ඝකාලීන වැඩපිළිවෙළ කුමක්ද?

ළමයින් සම්බන්ධ‍ෙ‍ය‍න් බැලුවම පෝෂණ ප්‍රශ්නයට කෙටි හා දිගු කාලීන විස¾දුම්දීම අවශ්‍යයි. අධ්‍යාපනය දෙවැනි එක. පවතින අධ්‍යාපන ක්‍රමය දරුවන්ගේ මනසට හා ශාරීරික යෝග්‍යතාවට කොයිතරම් සුදුසුද කියන එක ඊළඟට බැලිය යුතුයි. අධ්‍යාපන ක්‍රමය කොහෙත්ම අපේ දරුවන්ට සුදුසු නැහැ.  දරුවන්ගේ හැකියාවන්ට තැනක් ලැබෙන අධ්‍යාපන ක්‍රමයක් ඇති විය යුුතුයි.

දරුවන්ගේ හැකියාවන් ප්‍රමුඛ කොටගත්, අනාගත ලෝකයට ගැළපෙන අධ්‍යාපන ක්‍රමයක් ඇති විය යුතුයි. විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය වෙනුවට කුසලතා හා දක්ෂතා කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක් ඇති විය යුතුයි. පහේ ශිෂ්‍යත්වය බලන්න කොයි තරම් පීඩාකාරිද ඒක. රටේ හැම දරුවටම එක හා සමාන අධ්‍යාපන ක්‍රමයක් ඇති විය යුතුයි. 13 වසරක් ඉගෙන ගන්න නම් සාමාන්‍ය පෙළ වෙනස් කරල දෙන්න ඕන. පාසල්  අධ්‍යාපනය අවසන් වෙද්දි හැම දරුවකුටම යම් වෘත්තිය සුදුසුකමක් එක්ක එළියට එන්න අවස්ථාව හදා දියයුතුයි.

ඊළඟට කාන්තාවන්ට සමාජයේ පවතින ගැටලු. ගෘහස්ථ හිංසනය, ආයතනවල තනතුරුවලට යෑමට ඇති බාධක වගේ දේවල්. නියෝජ්‍ය පොලිස්පතිනි බිම්ෂානිගේ පත්වීම වෙලාවේ ආ ප්‍රශ්න මේකට හොඳම උදාහරණයයි. අපි පාර්ලිමේන්තු කාන්තා සංසදයෙන් ලොකු බලපෑමක් කළා ඒ තනතුර ඇයට දිය යුතුයි කියා. එහි ප්‍රතිඵලයක් ලෙස ඇයට සාධාරණය ඉටුවුණා කියල මම හිතනවා. පවතින නීතිය ඇතුළේ අසමාන කොට සැලකීම කියන එකට නීතිමය හා සාමාජීය ලෙස අවශ්‍ය පියවර ගන්නවා. කලින් කිව්ව වගේ ‍ආරක්ෂිත නිවාස, දරුවන්ට දිවා සුරැකුම් මධ්‍යස්ථාන ඇති කිරීම ආදිය කළ යුතුයි.

සංලාපය: විනීතා එම්. ගමගේ