මෙත් සිසිලෙන්  මනුසිත් සනහන බෝධිනාගල ආරණ්‍යය

0
32

ලෞකික ජීවිතයේ එදිනෙදා ගැටලුවලට මුහුණ පෑම නිසා විඩාපත් වන සෑම දෙනෙක්ම ඉඳහිටක හෝ මනසට සැනසීමක්, සැහැල්ලුවක් ලබා ගන්න කැමැතියි. නිස්කලංක සොබා සෞන්දර්යයෙන් පිරුණු  පරිසරයක අසිරිය විඳිමින් මනසට සැනසීමක් ලබා ගැනීමටත්, පුණ්‍ය කටයුතුවල යෙදෙමින් මෙලොව පරලොව සැනසීම උදාකරගැනීමටත්  හැකි ස්ථාන ලෙස ආරණ්‍ය සේනාසන හ¾දුන්වන්න පුළුවන්.

එම නිසාම ‘සංසාර’ අතිරේකය තුළින් අප ඔබට එවැනි තැවුණු සිත් සනසන පරිසරයකින් යුතු ආරණ්‍ය සේනාසන ගැන ලිපි ගෙන එනවා. කොළඹින් බොහෝ දුර බැහැරට ගමන් කිරීම මේ දිනවල තරමක් අපහසු නිසා කොළඹ සිට පැය 1 1/2ක, 2ක ගමනකින් යා හැකි ආරණ්‍ය සේනාසනයක් පිළිබඳව තොරතුරු අද අප ඔබ වෙත ගෙන ඒමට සිතුවා. ඓතිහාසික වටිනාකමකින් සහ ස්වාභාවික වටිනාකමකින් යුතු පරිසරයක පිහිටා ඇති බෝධිනාගල ආරණ්‍ය සේනාසනය පිළිබඳවයි.

අප මේ තොරතුරු ගෙන එන්නේ. කොළඹ සිට පැමිණෙන විට රත්නපුර – හොරණ මාර්ගයේ හොරණ නගරයත් ඉංගිරිය නගරයත් අතර මැද තිබෙන ‍ෙදාඹගස්කන්ද මංසන්ධියට පැමිණීමෙන් මෙම බෝධිනාගල ආරණ්‍ය සේනාසනයට පැමිණිය හැකියි. රක්ෂිත වනාන්තරයක් තුළ පිහිටා ඇති මේ ඉතාමත් සුන්දර ආරණ්‍ය සේනාසනය වෙත පිවිසීමට ‍ෙදාඹගස්කන්ද රක්ෂිතය තුළින් පැය භාගයක පමණ දුරක් ඇවිද යා යුතුයි.

1955 වසරේ ඇරඹී මෙම ආරණ්‍ය සේනාසනය සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වයට අයත් වූවක්. මෙහි ආරම්භක ගුරු ස්වාමීන් වහන්සේ වූයේ ත්‍රිපිටකවාගීශ්වර පණ්ඩිතාචාර්ය වනවාසික ශ්‍රී රේවත ධර්මකීර්ති නාහිමිපාණන් වහන්සේය. උන්වහන්සේ මෙම ආරණ්‍ය සේනාසනය වෙනුවෙන් විශාල මෙහෙවරක් ඉටු කළා. එමෙන්ම උන්වහන්සේගේ සමයේදී ජය ශ්‍රී මහා බෝ සමි¾දුන්ගෙන් හටගත් අෂ්ටඵල රුක බෝධි අංකුරවලින් එකක්ද වර්ෂ 1967 අප්‍රේල් 14 වැනි දින මෙම ආරණ්‍ය සේනාසනයේ පැළ කොට තිබෙනවා. වර්තමානයේ මෙම ආරණ්‍ය සේනාසනයේ නායක ස්වාමීන් වහන්සේ වන්නේ පූජ්‍ය ලබුගම ආනන්ද ධම්මකිත්ති ස්වාමීන් වහන්සේයි.

මෙම ආරණ්‍ය සේනාසනයට බෝධිනාගල යන නම ලැබීම සම්බන්ධ අපූරු කතාවක් තිබෙනවා. අතීතයේ මෙම වනාන්තරයේ ‘බෝධිනා’ නමින් තාපසවරයෙක් වාසය කර තිබෙනවා. එම තාපසවරයා සිහි වීමට ‘බෝධිනා’ යන කොටසත් මෙහි පර්වතයක් ඇති බැවින් ‘ගල’ යන කොටසත් එක්කොට ‘බෝධිනාගල’ යන නම ලැබී තිබෙනවා. හෙක්ටයාර 192ක වපසරියක් පුරා පිහිටා ඇති මෙම රක්ෂිතයේ දකුණු පසින් සුන්දර කළු ගං කොමළිය ගලා බසිනවා. ඔෟෂධ වටිනාකමකින් යුතු බොහෝ ශාක වර්ගවලින් සහ ඒක දේශික ශාක බොහෝමයකින් සමන්විත මෙම රක්ෂිතයට බෝධිනාගල ආරණ්‍ය සේනාසනය මඟින් තවත් වටිනාකමක් එක්කර තිබෙනවා. එමෙන්ම තැනින් තැන ගලා බසින කුඩා දිය දහරා මෙන්ම ඇළ ‍ෙදාළද මේ වන අරණ තුළ සුන්දරත්වය තව තවත් වැඩි දියුණු කරනවා. එපමණක් නොවෙයි, රක්ෂිතය පුරා වෙසෙන පක්ෂීන්ගේ හඬ මෙන්ම ගහ කොළ සුළඟට මුසු වී නැඟෙන හඬත් සවනට එක් කරන්නේ අපූරු සුන්දරත්වයක්.

ඉතාම සුන්දර පරිසරයක පිහිටා ඇති මෙම ආරණ්‍ය සේනාසනය තුළ සාමාන්‍යයෙන් ආරණ්‍යවාසී භික්ෂුන් වහන්සේලා 20 නමකට ආසන්න ප්‍රමාණයක් වාසය කරනවා. මේ ගෙවී යන්නේ වස් කාලය බැවින් මේ වන විට ආරණ්‍ය සේනාසනයේ භික්ෂුන් වහන්සේලා අට නමක් වාසය කරන බව පැවැසෙනවා. එම භික්ෂුන් වහන්සේලා වැඩ වසන කුටි තුළ මෙන්ම රක්ෂිත වනාන්තරයේ තැනින් තැනත් භාවනානුයෝගීව වැඩ සිටින ආකාරය බෝධිනාගල ආරණ්‍ය සේනාසනයට යන ඔබට දැක ගන්නට පුළුවන්.

සිසිල් සුන්දර පරිසරය විඩාබර සිතට මෙන්ම ගතටද විඳගත හැකි මෙම ආරණ්‍ය සේනාසනය අවට පරිසරයේ සුන්දරත්වය ඉක්මවා ගිය ආධ්‍යාත්මික සුවයක්ද අත්පත් කරගත හැකි ස්ථානයක්. මෙම ස්ථානයට යන ඔබට ආරණ්‍යවාසී භික්ෂුන් වහන්සේලා වෙත දානය ගෙන යෑමට හැකියාව තිබෙනවා. එමෙන්ම ආරණ්‍ය සේනාසනය තුළ රැයක් නැවතී ඔබේ අතින්ම දානය පිළියෙල කර භික්ෂුන් වහන්සේලාට පූජා කිරීමටත් මෙම ආරණ්‍ය සේනාසනය තුළ හැකියාව තිබෙනවා. එපමණක් නොවෙයි එහි සිදු කරන භාවනා වැඩසටහන්වලට සම්බන්ධ වීමටත්, ධර්ම සාකච්ඡා සඳහා සම්බන්ධ වීමටත්, ධර්ම දේශනාවලට සම්බන්ධ වීමටත් ආදී වශයෙන් බොහෝ පුණ්‍ය කටයුතුවලට සම්බන්ධ වීමට ඔබට හැකියාව තිබෙනවා.

ඉතාම නිසංසල සොබා සෞන්දර්යයෙන් අනූන මෙම ආරණ්‍ය සේනාසනයට යන ඔබ ගැළපෙන සුදුසු සංවර ඇඳුමින් පැල¾දුමින් සැරසී ගමන් කිරීමට සැලකිලිමත් වන්න. එමෙන්ම මෙය ජෛව විවිධත්වයෙන් යුතු රක්ෂිත වනාන්තරයක් බැවින් එයට කිසිදු හානියක් නොවන පරිදි කටයුතු කිරීමටත් සැලකිලිමත් වන්න. ස්වාමීන් වහන්සේලා වනාන්තරයේ තැනින් තැන වැඩ හිඳිමින් භාවනා කරන බැවින් ආරණ්‍ය සේනාසනයට යන එන ඔබ නිශ්ශබ්දතාව රැක ගනිමින් කටයුතු කිරීමටත් උත්සුක වන්න. 034-3346902 යන දුරකථන අංකය ඇමැතීමෙන් බෝධිනාගල ආරණ්‍ය සේනාසනයට යෑම හෝ දාන වේලක් පිළිගැන්වීම සිදු කරන්නේ කෙසේද යන තොරතුරු විස්තර ඔබට දැනගත හැකියි.

තොරතුරු අන්තර්ජාලය ඇසුරෙන්

කුශාන්ති අනුරාධා බණ්ඩාර