මහා පරාක්‍රමබාහු රජු ගැන අමුතු කතාවක් හෙළිකරන දෙමළ සෙල්ලිපියේ හැංඟුණ කතාව

0
20

‘යාපනය’ යන්න කියූ පමණින් බොහෝ දෙනා අද දන්නේ යාපනය නගරය හා ඒ ආශ්‍රිත ප්‍රදේශයයි. එහෙත් එහි ඓතිහාසික සත්‍ය විමසා බලද්දී පවතින්නේ වෙනස් තත්ත්වයක් බව බොහෝදෙනා නොදනිති. මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා ප්‍රමුඛ විද්වතුන් ඉතා ගැඹුරින්, ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක සාක්ෂි පදනම් කරගෙන මෙහි සත්‍ය පහදා දී තිබේ.

යාපනය අසල ඇති ‘නයිනතිව්’ කුඩා දූපතකි. මෙය පුරාණ ලංකා රාජ්‍යයට අයත්ව තිබිණි. නයිනතිව් කුඩා දිවයින, අද ‘නාගදීපය’ නමින් හඳුන්වන නමුදු පුරාණයේ නාගදීපය යන්න හඳුන්වාදී තිබෙන්නේ සමස්ත යාපනය අර්ධද්වීපයටය. එනිසා අතීත මූලාශ්‍රයනට අනුව මුළු යාපන අර්ධද්වීපයම ‘නාගදීපය’ ලෙස හැඳින්වීම නිවැරැදිම සත්‍ය බව අද වෙද්දී ඔප්පු වී හමාරය.

ලක්දිව ලියැවුණු පැරැණි සිංහල ග්‍රන්ථවල එය ‘උෟරාතොට’  නමින් හඳුන්වා ඇත. මෙය පූජාවලිය, රාජාවලිය හා නිකාය සංග්‍රහය යන්න ග්‍රන්ථවලින්ද සනාථ වේ. එහි පාලි ස්වරූපය නම් ‘සූකරතිත්ථ’  යන්නය. එම නාමය චූලවංසයෙහිද සඳහන් වේ. එය දෙමළ භාෂාවෙන් සඳහන් කරන්නේ ‘උෟරාත්තුරෙයි’ යනුවෙනි. මේ අනුව ලියන ලද UR-KAVAR – RURAI යන්න ලන්දේසීන් විසින් ම්රබඵ  වශයෙන් භාවිත කර ඇත.

යාපනයේ මෙන්ම උතුරු හා නැඟෙනහිර බොහෝ තැන් පිළිබඳ නම් සලකා බලද්දී එහි ‘මුල් සිංහල නාමය’  නොවෙනස්ව රැකගනිමින් ද්‍රවිඩ හුරුවට පෙරළා ගෙන තිබෙන බැව් පෙනෙයි.

යාපනයේ ඉතිහාසයේ සැබෑ අතීත කතාව සොයාගෙන යද්දී හමුවන අතිශය වැදගත් සෙල්ලිපියක් වන්නේ නයිනතිව් දූපත තුළ නාකපූසානි අම්මාන් කෝවිල අසලින් හමු වූ සෙල්ලිපියය. එය ප්‍රකටව ඇත්තේ ‘නයිනතිව් සෙල්ලිපිය’ ලෙසින්ය. එහි ඇති සුවිශේෂතාව වන්නේ ඉන් කියැවෙන දෑ, එතෙක් මෙතෙක් ඉතිහාස ගවේෂණයේදී හෙළි නොවුණු තොරතුරු කිහිපයකින් පූර්ණ වී තිබීමය. සෙල්ලිපියෙහි සඳහන් වන්නේ ක්‍රි.ව. 1153-1186 දී ලක්දිව එක්සේසත් කොට ලංකා රාජ්‍යය බැබළවූ නරපතියා වන මහා පරාක්‍රමබාහු විසින් එකී සෙල්ලිපිය පිහිටු වූ බවය. එය එම සෙල්ලිපියෙහිම සඳහන්ව තිබේ. තවත් විශේෂයක් නම් එය දෙමළ භාෂාවෙන් ලියා තිබීමය.

ලංකාවේ සෙල්ලිපි වර්ග කිහිපයකි. ඒවා ලෙන් ලිපි, ටැම් ලිපි, පර්වත ලිපි හා පුවරු ලිපි වශයෙන් හැඳින්වේ. නයිනතිව් සෙල්ලිපිය හඳුන්වන්නේ පුවරු ලිපියක් වශයෙනි. සෙල්ලිපියේ ඇත්තේ පේළි 24කි. මේ පිළිබඳව තොරතුරු ඇතුළත් කොට ග්‍රන්ථයක් සැකසූ මහාචාර්ය අබය ආර්යසිංහ මහතා ‘සකල සිංහල චක්‍රවර්ති’ නමින් එය පළ කළේය. එහි මෙම සෙල්ලිපියේ සිංහල පරිවර්තනයද සඳහන් කොට තිබෙන්නේ මෙලෙසය.

“අපි….. පිටරටුන්ගේ වාඩිලෑමටද, ඔවුන් රකිනු ලැබීමටද, පිටරට බොහෝ වරායවලින් මෙහි එන්නන්ට අප වරායේ නැවතීමටද (අවසර දෙමු) අසුන් හා ඇතුන් මෙහි ගෙන එන නැව් විනාශ වුවහොත් අප අසුන්ට හා ඇතුන්ට කැමැති බැවින් (මුල් සතුන් ගණනින්) හතරෙන් එක් භාගයක් රාජ්‍ය භාණ්ඩාගාරයට හැරිය යුතුය. (ඉතිරි) තුන් භාගය අයිතිකාරයන්ට පැවැරිය යුතුය. වෙනත් බඩු ගෙනෙන නැව් විනාශ වුවහොත් ඉන් සම අඩක් රාජ්‍ය භාණ්ඩාගාරයට හැරිය යුතුය. ඉතිරි අඩ අයිතිකරුවන්ට හැරිය යුතුය. ඉර හඳ පවතින තුරු මේ අණ බලපායි. මේ අණ සිලෙහිද, තඹ පතෙහිද ලියන ලදී. ‘මේ පනත දෙවා වදාළේ ශත්‍රැ රාජ වංසයට ළැව් ගින්නක් වූ සකල සිංහල චක්‍රවර්ති පරාක්‍රමභුජ දේවයන් වහන්සේ විසිනි.”

මෙයින් තහවුරු වන ප්‍රබලම කාරණාව වන්නේ ලංකා රාජ්‍යයේ සියලු තැන් මහා පරාක්‍රමබාහු  රජතුමාගේ අණසකට යටත් වූ බවත්, ඒ අණ ක්‍රියාත්මක කෙරුණු බවත්ය. එය අණක් මෙන්ම නීතියක් ලෙසින්ද ‘ඉර හඳ පවතින තාක් කල්’ පැවැතිය යුතු බවටද නියමයක් දී තිබේ.

එහි නීති අණපනත් ද්‍රවිඩ බසින් සඳහන් කෙරුණේ ඇයිද යන්නත් විමසිය යුතුය. ඒ අනුව ඉන්දියානු භූමියට යාබද විවිධ පෙදෙස්වලින් වැඩිපුර නාවික වෙළෙඳුන් මෙහි ආ ගිය බවත්, ඔවුන්ට මෙම අණ දැක බලා ගැනීමට සැලැස්වූ බවත්, එම අණ ක්‍රියාත්මක කරවන්නට මෙහි පරාක්‍රමබාහු රජුගේ නිලධාරීන් හා සෙනෙවියන් මෙන්ම හමුදාවක්ද රඳවා සිටි බවත් සිතිය හැකිය. එම බදු මුදල් එකතු කිරීම මෙන්ම මෙහි සඳහන් බදු වශයෙන් ලබාගත් දෑ රාජ්‍ය භාණ්ඩාගාරය තිබුණු පොළොන්නරුවට ගෙන යෑමටත් ක්‍රමවේද සකසා තිබුණු බැව් පෙනෙයි.

ඒ නිසා මෙය ද්‍රවිඩ බසින් මේ අණ නිකුත් කර දැක්වූවා විය යුතුය.

එසේ නම් නාගදීප භූමියෙහි පරාක්‍රමබාහු රජුගේ අණින් ස්ථාපිත කළ වරායක්, වෙළෙඳ නගරයක් මධ්‍යස්ථානයක් තිබුණු බවක්ද පෙන්නුම් කෙරේ. එය එසේ නම් පරාක්‍රමබාහු රජුගේ අණින් සෙසු වරායවලද මෙලෙස අණ පනත් සඳහන් පුවරු ලිපි තිබෙන්නට පුළුවන.

රජු පිහිටු වූ මෙම පුවරු ලිපියේ තවත් විශේෂත්වයක් පුරාවිද්‍යාඥයන් විසින් හඳුනාගනු ලැබ ඇත. සෙල් ලිපියේ අගට එන සංස්කෘත පාඨය ‘වසන්ත තිලකා’  යන වෘත්තයෙන් බැඳි ශ්ලෝකයකි. ඒ අනුව ක්‍රි. වර්ෂ 12 වැනි සියවසේදීත් යාපනය ඇතුළු ප්‍රදේශය පොළොන්නරුවේ පැවැති සිංහල අධිරාජ්‍යයට යටත්ව පැවැති බැව් තහවුරු වේ. එය වෙනත් සාක්ෂිවලට වඩා හොඳින් තහවුරු කරන්නේ මෙම පුවරු ලිපිය මඟිනි.

වර්තමානයේ බොහෝ දෙනකු නොදන්නා කරුණක්ද මෙහිදී දැක්වීම වටී. එනම් මෙම පුවරු ලිපිය පළමුවෙන්ම කියැවූයේ කවුරුන්ද යන්නය. ඒ අනුව එය 1926දී මුදලිඳු සී. රාසනායගම් මහතා විසින් පළමුවෙන්ම මෙය කියවා ඇත. එහි එස්. පිටපතක් සහිතව ඉංග්‍රීසි අනුවාදයක් ඔහු විසින් ‘Ancient Jaffna’ නම් ග්‍රන්ථයේ 208 වැනි පිටුවේ සඳහන් කර ඇත.

ඉන් කලකට පසු මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා විසින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ශිලා ලේඛන අංශය වෙනුවෙන් මෙහි පිටපතක් 1949දී ලබාගෙන තිබේ. එම ලිපිය ඇසුරින් සැකසූ තොරතුරු මහාචාර්ය කාර්තිකේසු ඉන්ද්‍රපාලන් මහතා විසින් 1963දී ‘යුුනිවර්සිටි ඔෆ් සිලෝන් රිවිච්’ හි එකොළොස් වැනි වෙළුමේ 63 වැනි පිටුවේ පළ කර ඇත.

පුවරු ලිපිය පිළිබඳ වැඩිදුරටත් කරුණු විග්‍රහ කරන බොහෝ විද්වතුන්ගේ මතයට අනුව මෙය පරාක්‍රමබාහු රජුගේ නාවික ගමනාගමනය ආශ්‍රිතව පැවැති ප්‍රතිපත්ති ගැන හැදෑරීමකට මංපෙත් විවර කරවන්නකි. එමෙන්ම එකල ලක්දිව පැවැති තීරු බදු ප්‍රතිපත්ති හා ඒවා ක්‍රියාත්මක වූ ආකාරයත් ඉන් පැහැදිලි වෙයි. විශේෂයෙන් විදෙස් රටවලින් පැමිණෙන නාවික යාත්‍රාවලට සියලු ආරක්ෂාව සැපයීම ලංකා රජය මඟින් සිදුකර ඇති අතර නැව් තොට සම්පූර්ණයෙන්ම පාලනය කොට තිබෙන්නේ රජුගේ අධීක්ෂණය යටතේය. මෙහි සඳහන් වන පරිදි ලක්දිවට වෙළෙඳ කටයුතු පිණිස එන නෞකා යම් කිසි ලෙසකින් විනාශ වුවහොත් එම තත්ත්වයේදීද තීරු බදු අය කර ගැනීමද සාධාරණ පදනමකින් ක්‍රියාත්මක කොට ඇති බැව්ද පැහැදිලිය.

අශ්වයන් හා ඇතුන් රැගෙන එන නෞකාවලින් මුළු සතුන් සංඛ්‍යාවෙන් හතරෙන් කොටසක්ද, භාණ්ඩ ප්‍රවාහනය කරන නෞකාවලින් හරි අඩක්ම සිංහල නරපතියාගේ රාජ්‍ය භාණ්ඩාගාරයට දිය යුතු බවටත් වූ රාජ නියෝගයක් මහා පරාක්‍රමබාහු රජු පිණිස නිකුත් කර තිබෙන තත්ත්වයක් මත උතුරේ එනම් ‍ෙදාළොස්වැනි සියවස වන තුරුත් වෙනත් පිරිසක් අත එහි පාලනය තිබී නැති බැව් තහවුරු වේ. 13 වැනි සියවසට පෙර උතුරේ දෙමළ රාජ්‍යයක් හෝ ආධිපත්‍යයක් තිබී නැති බවට මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා දැක්වූ මතය තවදුරටත් තහවුරු වෙයි.

සෙල්ලිපිය තිබූ ස්ථානය හා ඒ පිළිබඳව මහාචාර්ය අබය ආර්යසිංහයන් තම කෘතියේ දැක්වූ අදහස් ඔබගේ දැනගැනීම පිණිස මෙහි දැක්වීම වටී.

‘නාගදීප’ නමින් හඳුන්වන දූපතේ නාග පූසානි අම්මාන් නම් පැරණි කෝවිලක් පිහිටා තිබේ. එහි මිදුලේ වැටී ඇති ගල්පුවරුවේ අප අධ්‍යයනයට ලක්වන සෙල් ලිපිය දක්නට ලැබේ. මෙහි අකුරු ඇති පැත්ත (මුණතෙහි) දිග පැත්ත අඩි 3 අඟල් 11කි. මුදුන් පැත්ත අඩි 1යි අඟල් 7කි. පා පැත්තෙ අඩි 2 අඟල් 4කි. එම පුවරුවෙන් එක් කොටසක් කඩා හෝ කැඩී තිබී කෝවිලේ බිත්තියට අල්ලා බැඳ තිබේ. පුවරුවේ උඩුබැලි අතට ඇති පැත්තේ තිබුණු අකුරු කියවා ගන්නට බැරි තරම් මැකී ගොස්ය. ඊට හේතුව වී තිබෙන්නේ ඒ මුණත ලෝහ උපකරණ මුවහත් කිරීමට උදවු කරගෙන තිබීමය. මේ පැත්තෙහි ලිපියේ මුල් කොටස ඇතුළත් වන්නට ඇතැයි පිළිගැනීම දුෂ්කර නොවේ. මෙහි යම් තරමකට හෝ කියවා ගත හැක්කේ අධිපති හා පරාක්‍රම යන වචන දෙක පමණි. සෙල්ලිපිය පිහිටුවීමේ අරමුණ සහ එය පිහිටුවන රජතුමාගේ නම ඇතුළු විස්තර යටිබැලි කොටසේ දක්නට ලැබීම වාසනාවකි.”

පරාක්‍රමබාහු රජු හා ඔහුගේ වෙළෙඳ ප්‍රතිපත්තියත් නාවික ප්‍රතිපත්තියත්, ශක්තියත්, අණසකත් ගැන කරුණු කාරණාවන් ඓතිහාසිකව, වෙනත් සාධකවලින්ද තහවුරු වී ඇත. ඒ අනුව ‘උෟරාතොට’ ඉතාමත් කාර්යබහුල වරායකි. ඒ බැව් ක්‍රි. වර්ෂ 1178 දී පිහිටුවූ තිරුවාලකොඩු චෝල සෙල්ලිපියෙන් (1186-96) ද පැහැදිලිව ඔප්පු වෙයි. එහි දැක්වෙන්නේ උෟරාතොට වරායේ නෞකා තනමින් හා සේනා සංවිධානය කරමින් පරාක්‍රමබාහු රජු සිටි බවය. මේ තත්ත්වය මත උෟරාතොට නෞකාතොට පාලනය කළේ පරාක්‍රමබාහු මහ රජතුමා බව සාක්ෂි සහිතව ඔප්පු වී හමාරය.

ඔහුගේ බල පරාක්‍රමය කෙලෙස පැතිර තිබුණේද යන්නත් පැහැදිලිය.

සජිත් රෝහිත ලියනගේ

(පර්යේෂණ වාර්තා ඇසුරෙනි.)