මරණය පෙනි පෙනී අතිදුෂ්කර ලකේගල මුදුනට ගිය හැටි

0
182

අපි මීමුරේ ගම්මානය සොයා යන්නේ හුදෙකලාව පිරී ගිය සුන්දර ගම්මානයක දින කිහිපයක් ගත කිරීම සඳහායි. හරියාකාර මාර්ගයක් හෝ නොමැති මීමුරේ කෙළවරටම offroad Jeep රථයකින් ගමන් කිරීමට අපට සිදු විය. මීමුරේ ගම්මානය පුරා ඇවිදයමින් සහ එම ගැමි සුන්දරත්වය විඳිමින් ගත කළ දින කිහිපය සදාකාලිකවම හදවතේ රැඳී තිබෙනු ඇත. මීමුරේ ගම්මානය මධ්‍යයේ ඇති බෝධින් වහන්සේගේ සිට අෑතින් දිස්වන ලකේගල දෙස බලා සිටීම ඒ දින කිහිපය පුරා අපගේ

පුරුද්දක් විය. විටෙක මිතුරකු කීවේ “අන්න බං කඳු මුදුනේ මනුස්සයෙක්” කියාය. හොඳින් බැලූ විට සුළඟත් සමඟ සෙලවෙන කුඩා ගසක් යැයි හඳුනා ගැනීමට වැඩි වේලාවක් ගත නොවීය. “මචං ලකේගල නඟින්න බැරි වෙයිද…?” තවත් අයකු විමසීය. රාත්‍රි වන තුරුම ලකේගල මුදුන දෙස බලා සිටි අප රාත්‍රි ආහාරය සඳහා අප නවාතැන් ගෙන තිබූ ගැමි නිවෙස වෙත ගමන් කළ අතර ආහාර ලබා ගන්නා අතරතුරත් අප කතා කළේ ලකේගල ගැනයි.

තවකෙකු ගැමි ගෙදර මාමාගෙන් “මාමේ ලකේගල නඟින්න බැරිද..?” යි විමසීය “අම්මෝ පුතාලා ඒක ලෙහෙසි පහසු ගමනක් නෙමෙයි… මහ කැලේ මැදින් පාර හොයාගෙන යන්න ඕන.. ඒ විතරක් නෙමෙයි ලණු උපකරණ මහ ගොඩක් ගෙනියන්න ඕන කඳුපාමුලට යනකම්. ඒ ගෙනිච්චත් පොඩි පොදයක්වත් ගිහින් ගල තෙමුණොත් නඟිනවා බොරු. නැග්ගත් ගල උඩ තමා ඉන්න වෙන්නෙ.

බහිනවා බොරු පායලා ගල වේළෙනකම්.” මාමාගෙ අදහස එසේ විය. මුහුණට මුහුණ බලාගත් අප ලත් තැනම ලොප්විය. “පුතේ ඕකෙ පෝයට හේවිසි හඬ ඇහෙනවා. ඒ විතරක් නෙමෙයි ගිය මිනිස්සු කිහිපදෙනෙක්ම අතරමංව දවස් ගණන් කැලේ ඉඳලා තියෙනවා. පරීක්ෂණ වගේකට ආපු ‍ෙදාස්තර මහත්තයෙක් බීලා ගිහින් ගල මැද වැටිලා මැරුණා මාමා නැවතත් අපගේ සිත් තුළ හටගත් සිතිවිල්ල නැති කොටම දැමීය. අප කණ්ඩායමේ චතුර, සංක, සමා, අමිල මේ කතාබහට සහ සංචාරය සඳහා එකතු වූ අයයි.

වර්ෂ 2021 වසරේ යම් කිසි දිනෙක මුහුණුපොතේ ඡායාරූප බලමින් සිටියදී ලකේගල පෙනෙන සේ ලබාගත් ඡායාරූප කිහිපයක් අප නෙත ගැටෙන්නෙ අහම්බයකින්. වර්ෂ හතරකටත් පසුව ලකේගල පිළිබඳ හද තුළ තිබූ කුතුහලය සහ අශාව නැවත වතාවක් ඉස්මතු වූයේ පුදුමාකාර ලෙසයි. පුරුදු කණ්ඩායම සමඟ යෑමට සැලසුම් කොට තිබූ ගමනද නවතා ලකේගල පිළිබඳ  කතාබහක් ආරම්භ වන්නේ සියලුම දෙනාගේ ආශාව සහ කුතුහලය වැඩි කරමිනි.

“අපි වෙනදා වගේ යමු. මස්, මාළු නොකා යං. ලණු ටිකක් හොයා ගමු, නැත්තම් අරගමු.” විවිධ අදහස් අතරින් ලකේගල කඳු තරණය ආසන්නයට ඒමට මෙවර අවස්ථාව උදාවිය. “අපි කලින් ගිහින් බලමු. එතකොට සැලස්මක් හදන්න පුළුවන්” තවත් අයකුගේ අදහස විය. මාද එයට එකඟ වූයේ නිදහස් දෑතින් මාර්ගය සොයා යෑම සහ නැවත බර පටවාගෙන යෑමේදී මාර්ගය දැනගෙන යෑම ඇඟට ගුණ නිසාය. කෙසේ හෝ සැලසුම ක්‍රියාත්මක විණි.

තවත් සුන්දර උදෑසනක්. පාන්දර තුනට පමණ ගමන් ඇරඹූ අප මහනුවර පසුකරන විට මධ්‍යම කඳුකරයට මහ වැසි වැටෙමින් පැවතිණි. හුන්නස්ගිරිය පසු වන විට තද මීදුමක් තිබූ අතර කඳු පාමුලට නම් කෙසේ හෝ යාගත යුතු බව අපගේ ස්ථීර අදහස විය. මීමුරේ ගම්මානය ආසන්නයට ළං වෙත්ම වර්ෂාවෙහි සහ මීදුමෙහි අඩුවක් දක්නට ලැබිණි.

මීමුරේ ගම්මානයට හිරු උදාවෙමින් පැවතුණා. කුඩා කඩපිළක අසුන්ගෙන සිටි කාළ වර්ණ හැඩිදැඩි ගැමියකු අසල රථය නවතා “මාමේ ලකේගලට ලේසි මොන පාරෙන්ද..? අපි ඇසුවෙමු. මඳ සිනහවකින් යුක්තව සිටි ගැමියා “මහත්තුරු ලකේගල යන්නද මේ වැස්සේ..?” යනුවෙන් පෙරළා අපෙන් ප්‍රශ්න කළේය. “ඔව් මාමෙ” අපි පැවැසීමු. “මේ වැස්සෙ ඔය මූකලානට ගමේ මනුස්සයෙක්වත් යන්නෙ නෑ මහත්තයෝ. යන්න නම් ගඟ දිගේ ඉහළට යන්න වෙනවා. මහත්තුරුන්ට ගමේ මනුස්සයෙක්වත් හොයා ගන්න වෙයි උදව්වට. හැබැයි කොහොම ගියත් ගල මුදුනට නම් යන්න වෙන්නෙ නෑ. මේ මීදුමයි, වැහි මන්දාරමයි මහ හුළඟයි එක්ක ඕක මුදුනට යන එක මහා අවදානම් ගමනක් මහත්තයෝ.” මාමාගෙ අදහස එසේය. මාමාගෙන් මඟ තොරතුරු විමසා ගල පාමුලට පමණක් යන වග පවසා එතැනින් පිටත් වූයේ “අපි ඇහුවේ අපරාදෙ” කියා අපටම කියා ගනිමිනි.

දිනේෂ් ආසිරි පැතුම්

ඉතිරිය ලබන සතියට…