මනස සුවපත් කරන ප්‍රායෝගික භාවනාව

0
28

සමථ සහ විපස්සනා යනුවෙන් භාවනාවේ කොටස් දෙකක් තිබෙන බව අප මෙම ලිපි පෙළ ආරම්භයේදී සඳහන් කළා. ඒ අනුව පසුගිය ලිපි තුළින් සමථ භාවනා ක්‍රම මඟින් සිත තැන්පත් කරගන්නා අකාරය පිළිබඳව අප ඔබව දැනුවත් කළා. අද අප සාකච්ඡා කරනු ලබන්නේ විපස්සනා භාවනාව පිළිබඳවයි. මෙතෙක් අප ඔබ වෙත ගෙන ආ භාවනා ලිපි පෙළේ අවසන් ලිපිය මෙයයි.

විපස්සනාව යනු සිතෙහි යථාර්ථය දැකීමයි. බුදුරජාණන්වහන්සේ වසර 06ක් තිස්සේ බෝධි සත්ත්වයකු ලෙස සමථ භාවනා ක්‍රම අත්හදා බැලුවා. නමුත් සමථ භාවනාව තුළින් කළ හැක්කේ සිත තැන්පත් කොට ගැඹුරු සමාධියකට ලක් කිරීම පමණක් බව උන්වහන්සේ තේරුම් ගත්තා. එසේ සිත තැන්පත් කිරීම මඟින් පමණක් නිර්වාණය කරා ළඟා වීමට නොහැකි බවත් උන්වහන්සේ වටහා ගත්තා.

භාවනාවෙන් ඇතිවන සංස්කාර අනෙඤ්ජාභි සංස්කාර ලෙස හැඳින්වෙනවා. නමුත් විපස්සනාව කියන්නේ සෝතාපන්න, සකෘදාගාමී, අනාගාමී, අරහත් කියන ඵල ලබා දෙන නිර්වාණය භුක්ති විඳීමට හැකි ස්වභාවයයි. විපස්සනාවේදී මුලින්ම තේරුම් ගත යුත්තේ තමන්ගේ මනස ක්‍රියා කරන ආකාරය පිළිබඳවයි.

මනස ක්‍රියා කරන ආකාරය පිළිබඳව දැනගත් විට මනස නිවීම ආරම්භ වනවා. විපස්සනාවෙන් සිදු කරනු ලබන්නේ මනස තැන්පත් කිරීම නොව ගින්නක් නිවනවාක් මෙන් මනස සදාකාලිකව නිවීමයි.

බෝධි සත්ත්වයෝ සුජාතා උපාසිකාව දුන් කිරිපිඬු ආහාරයට ගෙන පාත්තරය ගඟට දැමූ බවත් එවිට එම පාත්තරය උඩුගං බලා ගිය බවත් අප අසා තිබෙනවා. එයින් සංකේතවත් වන්නේ වෙනත් කාරණාවකි. බෝධි සත්ත්වයන් දානය වළඳන අතරතුර ගඟට වැටෙන සියලු දේ පහළට ගලා ගෙන යන බව දුටුවා. ගඟ පහළට ගමන් කරන්නේ යම් ශක්තියක් විසින් බව තේරුම් ගත්තා. හදිසියේවත් ගඟ ඉහළට යම් වස්තුවක් ගසා ගෙන ගියහොත් කුමක් සිදුවේද යන්න උන්වහන්සේ කල්පනා කළා. පාත්තරය ගඟට දැමුවහොත් එය ගං දියත් සමඟ පහළට ගසාගෙන යනවා. පාත්තරය උඩුගං බලා යෑමට නම් එයට අමතර බලයක් යෙදිය යුතුයි යන්න උන්වහන්සේට වැටහුණා. එසේ බලයක් යොදන විට බලයන් දෙකක් පාත්තරය මත යෙදෙවන බැවින් පාත්තරය ඝර්ෂණයකට හසුවනවා. එවිට පාත්තරය කෙමෙන් කෙමෙන් ගෙවෙන්නට පටන් ගන්නවා. මෙසේ යම් කාලයක් ගතවන විට පාත්තරය ක්ෂය වී යනවා.  මේ බව උන්වහන්සේ එදා තේරුම් ගත්තා.

විපස්සනාව ලෙස හ¾දුන්වන්නේද එයයි. ඕනෑම මනුෂ්‍යයකුගේ සිත වැඩකරන්නේ පොදු ආකාරයකටයි. මිනිසුන් වෛර කරන පුද්ගලයාට වෛර කරනවා. උපකාර කරන පුද්ගලයාට උපකාර කරනවා. නොදෙන පුද්ගලයාට නොදී සිටිනවා. බොරු කියන පුද්ගලයාට බොරු කියනවා. එය තමයි ලෝක ස්වභාවය. මේ ලෝකයේ අති බහුතරයක් මිනිසුන් එකම පැත්තකට සිතනවා. බොහෝ මිනිසුන් දේවල් ලබා ගැනීමට සිතනවා. මුළු ලෝකයම සිතන්නේ ගඟ පහළට ඇදී යන පාත්තරය වගේ බව බෝධිසත්ත්වයන් වටහා ගන්නවා. එසේ නම් මෙයට විරුද්ධ දෙය කළොත් කුමක් වන්නේද කියා උන්වහන්සේ කල්පනා කළා. මෙලෙස ප්‍රතිවිරුද්ධ දෙය කරන එක පහසු නැහැ. නමුත් අපහසුවෙන් හෝ බොරු කියන පුද්ගලයාට ඇත්ත කියමින් වෛර කරන පුද්ගලයාට මෛත්‍රී කරමින් ප්‍රතිවිරුද්ධ දේ කළහොත් සිතට කුමක් වේවිද? උඩුගං බලා යන පාත්තරය ක්ෂය වී යනවාක් මෙන් සිතද ක්ෂය වී නැති වී යනවා. එය නිර්වාණය ලබා ගැනීමයි.

ඔබ බොරු පවසනවා නම් සත්‍ය කතා කිරීමට පුහුණු විය යුතුයි. ඔබට වෛර කරන පුද්ගලයාට මෛත්‍රී කිරීමට පුහුණු විය යුතුයි. මෙලෙස වීර්යයෙන් යුතුව සිත පුහුණු කිරීම මඟින් ඔබේ සිත ක්ෂය වී යනවා. සෑම මානසික පීඩාවක්ම ඇති වන්නේ සිත නිසයි. සියලු දුක් ඇතිවන්නේ සිත නිසයි. එසේ නම් සිත අතුරුදන් වූ විට කුමක් සිදුවේද?  දුක නැති වී යයි. එය නිර්වාණයයි. බෝධිසත්ත්වයන් වහන්සේට බුද්ධත්වයට පත්වීමට උපකාර කළේ මෙම අදහසයි. පාත්තරය උඩුගම බලා ගියා යැයි සංකේතාත්මකව පැවැසෙන්නේ එම නිසයි. ඔබටත් නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය නම් මේ ක්‍රමය අනුගමනය කිරීමට සිත පුහුණු කළ යුතුයි.

“අක්කෝධේන ජිනේ කෝධං

අසාධුං සාධුනා ජිනේ

ජිනේ කදරියං දානේන

සච්චේන අලිකවාදිනං”

ක්‍රෝධ කරන්නා ක්‍රෝධ නොකිරීමෙන්ද නුගුණ නැත්තා තුළ ගුණ ඇති කිරීමෙන්ද නොදෙන්නා දීමෙන්ද බොරු කියන්නා ඇත්ත කතා කිරීමෙන්ද ජයගන්නා බවත් මේ ආකාරයට සිත දිනා ගත යුතු බවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා.

විපස්සනාව ප්‍රගුණ කරනවා යනු මෙයයි. ඔබේ සිත ක්‍රියා කරන පිළිවෙළ හ¾දුනාගෙන,  සිතට වහල් නොවී උඩුගං බලා යෑමට එනම් බහුතර ලෝකය සිදුකරන දෙයට වඩා යහපත් ප්‍රතිවිරුද්ධ දෙය කිරීම මඟින් ඔබට සිත නිවා ගත හැකිය.

මෙලෙස සිත පුහුණු කරන්නාට සිතෙහි අන්ත දෙකක් ඇති බව තේරුම් යනවා.

මිනිසුන් සුදු _ කළු යහපත – අයහපත ආදී වශයෙන් සිත කොටස් දෙකකට බෙදාගෙන සුදු කොටසට ඇලෙමින් කළු කොටස ප්‍රතික්ෂේප කරනවා. එවිට අප ඇලෙනවා සහ ගැටෙනවා. යමක ඇලෙන විට එක් අන්තයකුත් යමක් සමඟ ගැටෙන විට තව අන්තයකුත් හමුවනවා. මේ ලෝකයේත් සිත අභ්‍යන්තරයේත් දෙපැත්තක් තිබෙනවා. නමුත් මිනිසුන් ප්‍රධාන වශයෙන් හ¾දුනා ගන්නේ එක් පැත්තක් පමණයි. මෙලෙස දෙපැත්තක් පමණක් තිබෙන බව වටහා නොගත්විට එම මිනිසුන් අන්තගාමී වනවා. මෙලෙස අන්තගාමී වූ පුද්ගලයා ඉක්මනින් කලබලයට පත්වනවා. ඉක්මනින් ප්‍රතික්‍රියා කරනවා. නමුත් මේ ධර්මය තේරුම් ගත් පුද්ගලයා ලෝකයේ ද්වි ස්වභාවයක් තිබෙන බව තේරුම් ගන්නවා. යම් මනුෂ්‍යයෙක් මේ ද්වි ස්වභාවය තේරුම්ගෙන තීරණ ගන්නවා නම් ඔහු මධ්‍යස්ථ පුද්ගලයෙක් වනවා. මෙලෙස මධ්‍යස්ථ වූ පුද්ගලයාට වැටහෙනවා මෙම ද්වි ස්වභාවයෙන් එක් පැත්තකට හෝ ඇලීම නතර කළ යුතු බව. ඒ බව,

“මජ්ඣමා පටිපදා තථාගතේ නං සම්බුද්ධං”

මම බුද්ධත්වයට පත්වුණේ මධ්‍යම ප්‍රතිපදාවෙන්ය යනුවෙන් මෙලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එසේ නම් අපට නිර්වාණය සාක්ෂාත් කරගත හැක්කේද මධ්‍යම ප්‍රතිපදාවෙන්ය.

කුමක්ද මේ මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ?  ඉහත සඳහන් කළ ආකාරයට එක් අන්තයකට නතු නොවූ තමන්ගේ මනස මධ්‍යස්ථව පවත්වා ගැනීමයි. තමන්ගේ මනස තුළත් මනසින් පිටත ලෝකය තුළත් ද්වි ස්වභාවයක් තිබෙන බව ප්‍රත්‍යක්ෂ කර ගැනීමෙන් පසුව, කිසිවකුට නොඇලෙන කිසිවක් ප්‍රතික්ෂේප නොකරන පුද්ගලයකු බිහිවනවා. එම පුද්ගලයාගේ මනස නිවීමට ලක් වූ එකක්.

මෙය භාවනා කිරීමෙන් ප්‍රත්‍යක්ෂ කරගත හැකි වන්නක් නොවේ. මෙය ගුරුවරයකු විසින් අවබෝධ කර දිය යුතු වූවක්. ගුරුවරයා විසින් මෙය අවබෝධ කර දෙනවාට අප ධර්මය දේශනා කරනවා යැයි පවසනවා. එම දේශනාවට කන් දෙන්නා ශ්‍රාවකයායි. මෙම ශ්‍රාවකයාට සත්‍ය අවබෝධ කරගන්නට ගුණාංග දෙකක් තිබිය යුතුයි.

එනම්,

1. ශ්‍රවණය කිරීමේ හැකියාව

2. ශ්‍රවණය කරගත් ධර්මය තේරුම් ගැනීමේ හැකියාව.

ඒ වගේම මෙම ශ්‍රාවකයාට බාහිර උපකාර දෙකක් ලැබිය යුතුයි.  එනම්,

1. කල්‍යාණ මිත්‍රයෙක් මුණගැසීම.

2. එම කල්‍යාණ මිත්‍රයාගෙන් ශ්‍රී සද්ධර්මය අවබෝධ කර ගැනීම.

මෙම කරුණු හතර යම් තැනක එක්තැන් වූ විට විපස්සනාවේ ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. ඉන් පසුව එම පුද්ගලයාට නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට හැකියාව ලැබෙනවා. බණ කියන සියලු දෙනාම කල්‍යාණ මිත්‍රයන් නොවෙයි. තව කෙනෙක්ට නිර්වාණ මාර්ගය අවබෝධ කර දීමේ හැකියාව තිබෙන්නේ නිර්වාණ මාර්ගය අවබෝධ කරගත් අයකුටම පමණයි. දේශනා කරන ධර්මය තේරුම් ගන්නා විට ඔහු තමන්ගේ සිත දකිනවා. සිත දකින විට එම පුද්ගලයාගේ සිත මධ්‍යස්ථ වනවා. මධ්‍යස්ථ වූ විට සිත නිවීමට ලක්වනවා. මේ ආකාරයට සිත නිවීමට ලක් වූ විට විපස්සනාවේ ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාව ලැබෙනවා.

කුශාන්ති අනුරාධා බණ්ඩාර

තිත්තගල්ලේ ආනන්දසිරි ස්වාමීන් වහන්සේගේ අත්දැකීම්

ඇසුරෙන්..