පිල්ලෙයාන් පුදුම කළ බන්දුලගේ තෑග්ග

0
51

චාල්ස් රජ්ජුරුවෝ ජනාධිපති රනිල්ට කීවේ මොනවාද?

දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගි වීමට එංගලන්තයට ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ රැජිනගේ දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් පසු එදින සවස තුන්වැනි චාල්ස් රජු විසින් අමුත්තන් පිළිගැනීම වෙනුවෙන් සංවිධානය කර තිබූ රාත්‍රි භෝජන සංග්‍රහයට එකතුවීමටද අවස්ථාව ලැබිණි. එහිදී ජනාධිපතිවරයාට චාල්ස් රජු මුණ ගැසී සාකච්ඡා කිරීමටද අවස්ථාව ලැබිණි. මේ කතාබහේදී චාල්ස් රජු ශ්‍රී  ලංකාවේ වර්තමාන තත්ත්වය ගැනද විමසා ඇත. ජනාධිපතිවරයා චාල්ස් රජු සිහසුනට පත්වීම ගැන සුබ පතමින් වේල්සයේ කුමරු ලෙස ශ්‍රී  ලංකාවට පැමිණි ගමන ගැනද සිහිපත් කළේය. ඒ 50 වැනි නිදහස් උත්සවයට ආරාධිතයකු ලෙස සහභාගි වූ අවස්ථාවය.

සුහද පිළිසඳරකින් පසු සමුගනිද්දී චාල්ස් රජු ලංකාව පත්ව සිටින තත්ත්වයෙන් මුදා ගැනීමට අවශ්‍ය සහාය දෙන බවයි.

බි්‍රතාන්‍ය විදේශ ලේකම් සංවිධානය කර තිබූ රාජ්‍ය නායකයන් පිළිගැනීමේ අවස්ථාවට ජනාධිපති රනිල් සහභාගි විය. ඊට ඇමරිකානු, ප්‍රංශ ජනාධිපතිවරු ඇතුළු රාජ්‍ය නායකයෝ සහභාගි වූහ.

ජනාධිපති රනිල් පසුව පොදුරාජ්‍ය මණ්ඩලයීය ලේකම් පැටී්‍රෂියා හමුවූයේ රාජ්‍ය මංගල්‍යයට පසු දිනය. මේ හමුව අවසන් වීමට මත්තෙන් ජනාධිපතිවරයා මහ ලේකම්වරියට 75 වැනි නිදහස් දින උළෙලට සහභාගි වීමට මෙරටට පැමිණෙන ලෙස ආරාධනා කර ඇත. ඇය එම ඇරයුම සුහදව පිළිගත්තාය.

විදුලි බිලේ ප්‍රශ්නය තියෙන්නේ පන්සල් 3,000ටලු

රැජිනගේ අවමඟුල් උත්සවයට සහභාගි වී රනිල් ඇතුළු පිරිස පසුගිය 21 වැනිදා අලුයම මෙරටට පැමිණ සියලුදෙනා සිය රාජකාරි ඇරැඹූහ. ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණි රනිල් පවතින තත්ත්වය සොයා බැලුවේය.

මේ තත්ත්වය ගැන සාකච්ඡා කිරීමට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක ඇතුළු නිලධාරීන්, ජේ‍යෂ්ඨ උපදේශක  අකිල විරාජ් කාරියවසම්, මැති ඇමැති පිරිසක්ද පැමිණ සිටියහ.

“විදුලි බිල වැඩි කිරීම ගැන හාමුදුරුවරු පාරට ඇවිල්ලා ලබන පෝයට පන්සල් අඳුරේ තියන්නයි කතා කරන්නේ. මේ ගැන මොකක් හරි කරන්න වේවි” යැයි අකිල පෙන්නා දුන්නේය.

ඇමැති කංචන පිළිතුරු බඳිමින් කීවේ “පන්සල් 3,000කට විතර තමයි මේ ප්‍රශ්නය මතුවෙලා තියෙන්නේ. අනෙක් අයට රුපියල් ලක්ෂය දෙක වැඩි වෙලා නෑ. 1,500 තිබුණු බිල 3,000ක් වෙලා තියෙනවා” කියායි.

“අපි මේ ප්‍රශ්න තියෙන තැන්වලට සෝලා පැනල් සවි කරන්න සහනයක් දෙනවා. ඊට පස්සේ දළදා මාලිගාව, ශ්‍රී පාදය, අටමස්ථානය, කතරගම, කිරිවෙහෙර, නල්ලූර් කෝවිල, මඩුපල්ලිය වැනි තැන්වලට ජනාධිපති අරමුදලෙන් හරි සහනයක් දෙන්න පුළුවන්නේ” කී ජනාධිපතිවරයා හැබැයි “ධම්මපදයේ තියෙන්නේ තමන් තමන්ට පහනක් වෙන්න කියලයි” කියද්දී හැමෝටම සිනා ගියහ.

දයා පෙරේරාගෙන් අගමැතිගේ දිවංගත බිරිය ගැන සංවේදී කතාවක්

පසුගිය බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තු මාධ්‍යවේදීන් සමඟ අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ හමුවක් පැවැත්විණි. දිනේෂ් ගුණවර්ධන අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු පාර්ලිමේන්තු මාධ්‍යවේදීන් එකවිට හමු වූ අවස්ථාව මෙය වේ.

සුහද හමුව පැවැති ස්ථානයට අග්‍රාමාත්‍යවරයා ඇතුළු වෙද්දී පාර්ලිමේන්තුවේ මාධ්‍යවේදීහු සංගමයේ සභාපති ප්‍රගීත් පෙරේරා සමඟ සාකච්ඡාවක් ආරම්භ කළේය. ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර සහ යදමිණි ගුණවර්ධන මන්ත්‍රිවරයාද අගමැතිවරයා විසින් මෙම සාකච්ඡාවට එක්කරගෙන සිටියහ.

අගමැතිවරයා මාධ්‍යවේදීන් අසුන්ගෙන සිටි මේසයෙන් මේසයට යමින් කතා කරද්දී පාර්ලිමේන්තු මාධ්‍යවේදියකු ලෙස බොහෝ කලක් පුවත්පත් කිහිපයකම සේවය කළ දයා පෙරේරා ද ඒ අතර සිටියේය. අගමැතිවරයාගේ ද පරණ මිතුරකු වූ දයා දුටු විගසම “ආ – දයා කොහොමදැයි” අගමැතිවරයා විමසුවේය.

අගමැතිගේ විමසීමට පිළිතුරක් දීම වෙනුවට දයා අතීත සිද්ධියක් මතක් කළේය. ඒ 1983 අතුරු මැතිවරණයේදී කොට්ටාව මාකුඹුර පැවැති රැස්වීමකදී වූ සිද්ධියකි.

දයා කියන්නට යන්නේ කුමක්දැයි අපි විමසිල්ලකින් සවන් දෙමින් සිටියදී අගමැතිතුමා එදා එම සිද්ධිය පුවත්පත් වාර්තාකරුවකු ලෙස වාර්තා කරමින් සිටියදී. පොඩි වැස්සක් ආවා. නෝට් බුක් එක තෙමෙද්දිම දිගටම මගේ රාජකාරිය කරගෙන යද්දී නෝනා කෙනෙක් ඇවිල්ල මට කුඩේ ඇල්ලුවා. තෙමි තෙමි රාජකාරිය කරන්න බැහැ නේයි ඇය කිව්වා. අන්තිමට මං ඇහැව්වා ඔබතුමිය කවුද කියලා. මම දිනේෂ් ගුණවර්ධන මහත්තයගේ නෝනාය රාණි වත්සලා කොතලාවල කියලා ඇය කිව්වා.

දැනට ජීවතුන් අතර නැති සිය බිරිය ගැන මතකය අවදි වෙද්දී අගමැතිවරයා දයාගේ පිටට තට්ටු කර එතැනින් ඉවතට යද්දී තවත් ජේ‍යෂ්ඨ මාධ්‍යවේදියකු වන ජේ.ටී. සිල්වා “ඔබතුමා තමයි මෙහෙම පාර්ලිමේන්තු මාධ්‍යවේදීන් හමු වූ පළමු අගමැතිතුමය” කනට ළංවී කීවේය.

මේ අතර AP පුවත් සේවයේ භාරත මල්ලවආරච්චි අගමැතිගෙන් මෙහෙම ප්‍රශ්නයක් ඇසුවේය.

පොළොවේ පය ගහලා ඉන්න කෙනාට අගමැති කියා දැනෙන්නෙ නෑ.

“දැන් ඔය රාජ්‍යතාන්ත්‍රික කතා යන අස්සේ ජනාධිපතිතුමයි ඔබතුමයි පාසලේ පන්තියේ හිටිය කාලෙ පරණ සිද්ධි මතක් කරන්නේ නැද්ද?”

“මොකද නැත්තෙ, ඒව ජනාධිපතිතුමා මතක් කරනවා නිතර”

“ඔබතුමා අගමැති වුණාට සැහැල්ලුවෙන් නේද ඉන්නේ?” මාධ්‍යවේදිනියක් ඇසුවාය.

“මහ පොළොවෙ ඉන්නකොට මට අගමැති කියලා දැනෙන්නේ නෑ.”

දිනේෂ් කීවේ අවට සිටිය අයටද සිනා පහළ කරවමිනි.

ඇමැතිකම් හිඟමනේ යන සටන අත්හළ

හිටපු ඇමැතිවරු දෙදෙනා

ළඟදී සිදුකරන්නට යන බව කියන කැබිනට් සංශෝධනයේදී ඇමැති ධුර ලබාගන්නට ‘කැන්වස්’ පාරවල් යොදා ගනිමින් ආණ්ඩුවට සම්බන්ධ පක්ෂවල විශේෂයෙන් පොහොට්ටුවේ දැනට මන්ත්‍රිවරු ලෙස කටයුතු කරන හිටපු ඇමැතිවරු විශාල උත්සාහයක් දරමින් සිටියදී හිටපු ජේ‍යෂ්ඨ ඇමැතිවරුන් දෙදෙනකු සම්පූර්ණයෙන්ම ඇමැති ධුර ලබා ගැනීමේ සටනින් ඉවත්ව සිටින බව වාර්තා වේ.

ඇතැම් අය බැසිල් රාජපක්ෂ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙන්ම ජනාධිපතිවරයා, එක් එක් මාර්ගවලින් හා පුද්ගලයන්ගේ මාර්ගයෙන් ඇමැති ධුර ලබා ගන්නට කටයුතු කරද්දී එම දේශපාලනයෙන් ඉවත්ව සිටින්නේ මහින්දානන්ද අලුත්ගමගේ සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටපු ඇමැතිවරුන් බව වාර්තා වේ.

බන්දුල ඇමැති කාර්යාලය පිල්ලෙයාන්ට පරිත්‍යාග කරලා

පරිත්‍යාගශීලී ගුරුවරයකු වූ බන්දුල දේශපාලනයේදීද එම ප්‍රතිපත්තිය අනුගමනය කළ සිද්ධිය මෙම තීරයට වාර්තා වේ. බන්දුල කැබිනට් ඇමැතිවරයෙකි. පසුගියදා ජනාධිපතිවරයා පත් කළ රාජ්‍ය ඇමැතිවරුන් සිවුදෙනකු බන්දුලගේ අමාත්‍යාංශය යටතට පත්කර ඇත. ඒ ප්‍රවාහන රාජ්‍ය ඇමැති ලෙස ලසන්ත අලගියවන්න, ජනමාධ්‍ය රාජ්‍ය ඇමැති ලෙස ශාන්ත බණ්ඩාර, මහාමාර්ග විෂයට සිරිපාල ගම්ලත් සහ ග්‍රාමීය මාර්ග විෂයට සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් (පිල්ලෙයාන්) මන්ත්‍රිවරුන්ය. මෙයින් සිරිපාල ගම්ලත් හැර අනෙක් තිදෙනා රාජ්‍ය ඇමැතිවරුන් ලෙස වැඩ භාරගත්තේ ඇමැති බන්දුල රුසියාවට ගොස් සිටින අතරතුරදීය.

මෙහිදී සිවනේසතුරයි රාජ්‍ය ඇමැතිවරයාට කාර්යාලයක් පිළිබඳ ප්‍රශ්නය පැන නැඟී තිබූ බැවින් ඔහු රාජ්‍ය අමාත්‍ය ධුරයේ වැඩ භාරගත්තේ බන්දුලගේ ඇමැති නිල කාර්යාලය තුළදීය.

බන්දුල රුසියාවේ සිට ආපසු දිවයිනට පැමිණීමෙන් පසු ඔහුගේ මාධ්‍ය ලේකම් මේ ගැටලුව ගැන ඇමැතිවරයා දැනුවත් කළේය. ඒ මොහොතේම ඇමැති බන්දුල පිල්ලෙයාන්ට දුරකථනයෙන් කතා කොට සෙත්සිරිපාය ගොඩනැඟිල්ලේ තම කාර්යාලයේ සිට සිය නිල කටයුතු නිදහසේ කරගන්නා ලෙස දැනුම් දුන්නේය. ඒ සද්කාරය කරමින් බන්දුල මෙහෙම ඉල්ලීමක්ද කළේය.

“ඉඳ හිටලා මම එන වෙලාවට මටත් පොඩි ඉඩක් දුන්නොත් ඇති”

පාර්ලිමේන්තුවෙන්

කට්ටි පනින රාජ්‍ය ඇමැතිවරුන්ට වැට බඳී

ජනාධිපතිවරයා මහ රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගි වීමට එංගලන්තයට ගොස් සිටි නිසා පසුගිය සතියේ කැබිනට් මණ්ඩලය රැස්වූයේ අගමැති දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙනි.

මෙදින මුලින්ම කතා කළේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්නයි. ආණ්ඩුවේ ඇතැම් කැබිනට් ඇමැතිවරු, මන්ත්‍රිවරුන් කල්දෙන ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමේදී නිතරම වාගේ ප්‍රශ්න මතුවීමත්, ඇතැම් අවස්ථාවල ප්‍රශ්නයට  පිළිතුරු දෙන්නට අදාළ ඇමැතිවරයා නොසිටීමත් නිසා බොහෝ විට ඒවාට මැදිහත් වන්නට සිදුවන්නේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකටයි. ඔහු මේ පදවියට පත්ව සුළු කාලයක් ගතවුවත්, දිගු කලක් පාර්ලිමේන්තුව නියෝජනය කරන්නකු ලෙස ප්‍රසන්න මෙහි පවතින බරපතළ බව හොඳින්ම දන්නේය. මේ ප්‍රශ්නයට විසඳුම් දෙන්නට මුල පිරුමක් ලෙස ප්‍රසන්න මන්ත්‍රි පිරිසට දැනුම් දුන්නේ මේ මස 20 සිට 23 දක්වා සියලුම කැබිනට් හා රාජ්‍ය ඇමැතිවරුන් පාර්ලිමේන්තුවේ රැඳී සිටීම අනිවාර්යය බවයි. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ප්‍රශ්නවලට ප්‍රශස්ත මට්ටමින් මැදිහත්වීම හා විවාදවලදී සක්‍රිය දායකත්වය ලබාදීමේ අරමුණින් මෙම තීරණයට එළැඹි බව ප්‍රසන්න ඇමැතිවරයා කීවේය. ඔහු එහෙම කියන්නට ඇත්තේ ඇතැම් ඇමැතිවරු ප්‍රශ්නවලට උත්තර දෙන නොසැලකිලිමත් විලාසයද සිහියේ තබාගෙන විය හැකිය.

අරගලය පන්සලෙන් මතුවෙයි

මේ දිනවල පන්සලෙන් විප්ලවයක් එළි දැක්වෙන විලාසයක් රට පුරා පෙනෙන්නට තිබේ. ඒ විහාරස්ථාන හා ආගමික ස්ථානවලින් අය කරන විදුලිය ගාස්තුව වැඩි කිරීමට විරෝධය පාමින් මෝදු වෙමින් පවතින අරගලයයි. ජනතාව වෙත පැමිණ භික්ෂුන් වහන්සේලා දේශනා කරන්නේ විදුලි බිල නොගෙවා විහාරස්ථාන රාත්‍රි කාලයේ අඳුරේ තබන බවයි. භික්ෂුන් වහන්සේලාගේ එම තීරණය අගය කරමින් මන්ත්‍රිවරයකු අදහස් ප්‍රකාශ කර තිබෙනු මාධ්‍යවල දක්නට ලැබිණි. භික්ෂුන් වහන්සේ අරගලයකට අරඅඳින විට දේශපාලනඥයන්ට “ෂොක්” එක වැදීම සාමාන්‍ය දෙයකි. ඇයි ඒ බොහෝ දේශපාලනඥයන් දේශපාලනයේදී යැපෙන්නේ භික්ෂුන්ගේ උදවු උපකාර මෙන්ම කටහඬවලින් බැවිනි.

ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදීද, විහාරස්ථානවල විදුලි ගාස්තු වැඩිකිරීම ප්‍රශ්නයක් ලෙස මතුවිය. මහා සංඝරත්නය මේ ප්‍රශ්නය නිසා ආණ්ඩුව සමඟ පසුවන්නේ එතරම් හිත හොඳකින් නොවේ. ගමේ පන්සල සමඟ හොඳ සබඳතාවක් තිබෙන ජගත් කුමාර මන්ත්‍රිවරයා ලයිට් බිල වැඩි කිරීම ගැන කීවේ මෙහෙම කතාවකි.

“පන්සල්වල ලයිට් බිල වැඩිවීම ඉස්සරහට ලොකු ප්‍රශ්නයක් වේවි. ඒක නිසා මේකට සහනයක් දෙන්න බලන්න.”

මල් වට්ටි අතින් ගෙන

වට වන්දනාවේ ගිය මහින්ද ලයිට් බිල ගැන කියන කතා

කාලයක් මල් වට්ටි අතින් ගෙන පන්සල් වන්දනාවේ ගිය මහින්ද රාජපක්ෂ ලයිට් බිලේ ප්‍රශ්නයට විසඳුමක් දෙන්නට යෝජනාවක් ගෙනාවේය.

“අපි ඒ ගැන කංචන ඇමැතිතුමා එක්කයි විදුලිබිල මණ්ඩලය එක්කයි කතා කරමු.” මහින්ද පොහොට්ටුවේ නායකයා නිසා එහි ඇමැතිවරු සමඟ කතා කර ප්‍රශ්න විස¼දාගන්නට අමාරුවක්ද නැත.

ආණ්ඩුවට වී ගන්න

සල්ලි නෑලු

හැමවිටම ජනතාව මුහුණ දෙන ප්‍රශ්න ගැන කතා කරන ජගත් කුමාර තවත් ප්‍රශ්නයක් මතු කරමින් ගොවියාගේ වී අස්වනු මිලදී ගැනීම බකල් වී තිබීම ගැන කරුණු දැක්වූයේය. “දැන් කුඹුරුවල අස්වැන්න නෙළනවා. වී ගන්න රාජ්‍ය බැංකු වී මණ්ඩලයට සල්ලි දෙන්නෙ නෑ කියලා කෘෂිකර්ම ඇමැතිතුමා කියනවා. මෙහෙම ගිහිල්ලා ගොවියා ශක්තිමත් කරන්නේ කොහොමදැයි” ප්‍රශ්න කළේය.

“ඉල්ලපු මුදලින් යම් ප්‍රමාණයක් ලැබුණානේදැයි” ළඟදී රාජ්‍ය මුදල් ඇමැති ධුරය ලැබුණු රංජිත් සියඹලාපිටිය කෘෂි ඇමැති මහින්ද අමරවීරගෙන් ඇසුවේය.

සමහර විට සියඹලාපිටියගේ ප්‍රශ්නයට කෘෂි ඇමැතිට කේන්ති ගියාදැයි දන්නේ නැත. එහෙම ගියත් එය නොපෙන්වා මහින්ද කීවේ “නෑ කීයක්වත් ලැබුණේ නෑ”යි තරමක හ¾ඩකිනි.

රංජිත් සියඹලාපිටිය ප්‍රශ්නය දුරදිග යන්නට නොදී එවැනි ප්‍රශ්නයක් ඇසුවා දැයි දන්නේ නැත.

රාජ්‍ය බැංකු මහා මෝල් හිමියන්ට සල්ලි දීලා

වී ප්‍රශ්නය නිසා පසුගිය ආණ්ඩුව සමයේ ගොවි ජනතාවගේ දැඩි විවේචනයට ලක්වූ මහින්දානන්ද එදා හිටපු කෘෂි ඇමැතිවරයාද මේ දෙබසට එක්වෙමින් කීවේ “මේක පිටුපස්සේ ඉන්නේ මහා පරිමාණ වී මෝල් හිමියෝ. මගේ කාලෙත් මෙහෙම වුණා. මහා පරිමාණයේ ව්‍යාපාරිකයන්ට සල්ලි දෙනවා. වී අලෙවි මණ්ඩලයට දෙන්නෙ නෑ.” කීවේ රජයේ බැංකුවලට පොඩි පහේ කෙනෙහිල්ලක් කරමිනි.

“දැනටමත් සති දෙක තුනක් පරක්කුයි. වී ටික ගන්න සල්ලි දෙන්නැයි” අමරවීර කාරුණිකව ඉල්ලීමක්ද කළේය.

ආදායම් බදු ෆයිල් අරින්න යෝජනා කළ විට මන්ත්‍රිලාගේ මුහුණු අවුල් වූ හැටි

පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේ සාකච්ඡා වූ වැදගත් කරුණක් වූයේ බදු ආදායම් වැඩි කර ගැනීම පිළිබඳවයි. මේ ගැන මන්ත්‍රිවරුන් දැනුවත් කිරීම සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාද සාකච්ඡාවට කැඳවා තිබිණි.

රාජ්‍ය මුදල් ඇමැති රංජිත් සියඹලාපිටිය පොඩි පහේ අනතුරු ඇඟවීමක් කරමින් බදු ආදායම් වැඩි කර ගන්න අපිට අලුතින් බදු ගෙවන පිරිස් ලක්ෂ 20-25ක් එකතු කර ගන්න ඕනෑ.

ලබන මාසෙ 1 වැනිදා ඉඳලා ඒ සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා.

පසුගිය දිනවල බදු පැහැර හරින්නන් ගැන දීර්ඝ ලෙස අදහස් දැක්වූ මහින්දානන්ද හිටපු ඇමැතිවරයා ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමට පැමිණ සිටියේ ලිපිගොනු රැසක්ද සමඟය. සියඹලාපිටියගේ කතාවෙන් පසු මහින්දානන්ද රජයේ බදු ආදායම වැඩි කර ගැනීම ගැන ඔහු අත තිබූ ලිපි ගොනු එකින් එක පෙන්වමින් කතාව ආරම්භ කළේය.

“මහා පරිමාණ ව්‍යාපාරිකයන් බදු වංචා කරනවා. ඔවුන්ට එරෙහිව දැඩි දඬුවම් දෙන්න අලුතින් නීති ගේන්න ඕනෑ. අපෙන්ම පටන් ගනිමු. පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ටත් බදු ෆයිල් එක ගානේ අරිමු” මන්ත්‍රිවරුන් එයට එතරම් කැමැත්තක් දැක්වූ බවක් නම් මුහුණුවලින් පෙනුණේ නැත.

රේගු-සුරාබදු විශ්‍රාමිකයෝ අරක්කු කොම්පැනිවල වැඩ

මන්ත්‍රි මධුර විතානගේද බදු ගැහිලි ගැන අලුත් කතාවක් කීවේය. “රේගුවෙන්, සුරාබදු එකෙන් විශ්‍රාම ගිය අය අරක්කු කොම්පැනිවල උපදේශකයන් විධියට වැඩ කරනවා. බදු ගෙවන්න එපා කියලා මේ අය ඒ කොම්පැනිවලට උපදෙස් දෙනවා. හැබැයි බැනුම් අහන්නේ පාර්ලිමේන්තුවේ 225 දෙනා.”

මහින්දානන්ද නැවත කීවේ බදු ආදායම් වැඩි කර ගැනීමට අලුත් නීති ගේන්න ඕනෑ බව. “රේගුව, සුරාබදු එක නියාමනය කරන්න මුදල් අමාත්‍යාංශය යටතේ වෙනම ඒකකයක් පිහිටුවන්න ඕනෑ. දැව ප්‍රවාහනය, වැලි ප්‍රවාහනය, බලපත්‍ර ගාස්තුව වැඩි කරන්න ඕනෑ” යැයි ඔහු යෝජනා කළේය. මේ සාකච්ඡාවට එකතු වූ ඩයනා මන්ත්‍රිතුමිය කීවේ  ටියුෂන් ගුරුවරුන්ගෙන්ද බදු අය කළ යුතු බවයි. ඇය කිසිවකු නොසිතූ යෝජනාවක්ද කළේය. “ත්‍රිරෝද රියැදුරෙක් අවුරුද්දකට ලක්ෂ 27ක් විතර හොයනවා. මේ අයගෙනුත් බදු අයකර ගන්න ඕනෑ” කියද්දී මන්ත්‍රිවරුන් කිහිපදෙනෙක්ම මහ හ¾ඩින් කීවේ ‘අපෝ ඕවා කරන්න නම් බෑ’ කියාය.

ශ්‍රී ලනිප පක්ෂ තීන්දුවට

පිටු පෑ ජේ‍යෂ්ඨයන්ගේ

තටු කැපේ

ශ්‍රී  ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවේ ඇමැති ධුර ලබා නොගැනීමට පක්ෂ මධ්‍යම කාරක සභාව ඒකමතිකව ගෙන තිබූ තීරණයට පටහැනිව, කැබිනට් හා රාජ්‍ය ඇමැති ධුර ලබාගනිමින් පක්ෂයේ විනය කඩකිරීමේ චෝදනා මත නිමල් සිරිපාලද සිල්වා ඇතුළු ජේ්‍යෂ්ඨ සාමාජිකයන් හයදෙනකු පක්ෂයේ සාමාජික ධුරයෙන් හැර අනෙක් සියලු තනතුරුවලින් ඉවත් කොට තිබේ.

මෛත්‍රිගේ තීරණයට සාමාජිකයෝ

අත්පොළසන් දෙති

2022දී පක්ෂයේ ව්‍යවස්ථාව සංශෝධනය කරමින් පක්ෂයට විරුද්ධව කටයුතු කරන හා විනය කඩකරන අයට විරුද්ධව පියවර ගැනීමට පක්ෂයේ සභාපතිවරයාට බලය පැවැරීම මත පක්ෂ නායකත්වය විසින් ඉහත තීරණය ගෙන තිබෙන බව ශ්‍රී ලනිප ප්‍රධානියෙක් මේ තීරුවට පැවැසීය. පක්ෂ නායක මෛත්‍රිගේ ප්‍රධානත්වයෙන් මෙම තීන්දුව ගත් මධ්‍යම කාරක සභා රැස්වීමට දුමින්ද දිසානායක, ජගත් පුෂ්පකුමාර, චාමර සම්පත් දිසානායක, ලසන්ත අලගියවන්න ද සහභාගි වූ අතර ඔවුන් මෙම සංශෝධනයට විරුද්ධව අදහස් දැක්වුවත්, ඡන්දය විමසන අවස්ථාවේදී ඡන්දය දීමෙන් වැළකී සිටියහ. ශ්‍රී ලනිප ජේ‍යෂ්ඨ මධ්‍යම කාරක සභිකයකු කීවේ රංජිත් සියඹලාපිටිය සංශෝධනයට පක්ෂව ඡන්දය දුන් බවයි. අවසානයේ සංශෝධනය සම්මත වූයේ විරෝධතාවකින් තොරවය. මේ යෝජනාව ඉදිරිපත්  කර සම්මත කළ අවස්ථාවේ රැස්ව සිටි පිරිසෙන් බහුතරය අත්පොළසන් දෙමින් සතුට පළ කළ  බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

මෛත්‍රි ජනපති තරගයට ඉදිරිපත් වුණේ පක්ෂ සාමාජිකත්වයෙන් අයින් වෙලාලු

ශ්‍රී ලනිපය එම සාමාජිකයන් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීමට ගත් තීන්දුව ගැන ඔවුන් පවසන්නේ තමන්ව පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කළ නොහැකි බවයි. තනතුරුවලින් ඉවත් කළත් සාමාජිකයන් හයදෙනා ආරම්භයේ සිට සාමාජිකත්වය දැරූ එක විනාඩියක්වත් සාමාජිකත්වයෙන් ඉවත් නොවූ අඛණ්ඩව සාමාජිකයන් ලෙස කටයුතු කළ හා ඉදිරියටත් එසේ කරන බව පවසති. නෙරපිය යුත්තේ පක්ෂයට ද්‍රෝහි වූ අය මිස පක්ෂය රැකගත් අය නොවන බවත්, ශ්‍රී ලනිපයේ නායකයා ලෙස පෙනී සිටින මෛත්‍රි ජනපති තරගයට ඉදිරිපත් වූයේ පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් වී බව සිහිපත් කළ යුතු බවද ඔවුහු පවසති.

ඔවුන්ගේ මතය වී තිබෙන්නේ මෙය පක්ෂයේ අභ්‍යන්තර ප්‍රශ්නයක් මෙන්ම පක්ෂ නායකත්වය වෙනස් කරන්නට පැවැති මතය පරාජය කරන්නට හදිසි ව්‍යවස්ථා සංශෝධනයක් සම්මත කර ගත් බවයි.

මන්ත්‍රිවරු තුනක් ඇමැතිකම් ගත්තොත් ශ්‍රී ලනිපයට ඉතිරි වෙන්නේ තුනයි

කැබිනට් එක තීරුවට වාර්තාව වන්නේ ළඟදී සිදුකරන්නට යන ඇමැති මණ්ඩල සංශෝධනයේදී දැනටමත් ඇමැති ධුරයක් ලබාගැනීමට සූදානම්ව සිටින ශ්‍රී ලනිපයේ ජේ‍යෂ්ඨ මන්ත්‍රිවරයාට අමතරව තවත් දෙදෙනකු රාජ්‍ය ඇමැති ධුර ලබන්නට යන බවයි. එසේ වුවහොත් ඒ අයද ඔවුන් දරන තනතුරු ඉවත් කරන බව ශ්‍රී ලනිප ජේ‍යෂ්ඨයෙක් කීය. එසේ වුවහොත් ශ්‍රී ලනිපය මන්ත්‍රි ධුර තුනකට සීමාවීමට ඉඩක්ද පවතී. 

සනීපාරක්ෂක තුවාවලින් ලකුණු දමා ගන්න පොරකන ඇමැතිවරු

කාන්තාවන් හා වැඩිහිටි පාසල් දැරියන්ට අත්‍යවශ්‍ය භාණ්ඩයක් වන සනීපාරක්ෂක තුවාවල අධික මිල අඩු කිරීමට ජනාධිපතිවරයා තීරණයක් ගත්තේ මේ පිළිබඳව රාජ්‍ය ඇමැතිනි ගීතා කුමාරසිංහ ජනාධිපතිවරයාට පෞද්ගලිකව කරුණු දැක්වීමකින් පසුවය.

දැන් එහි වාසිය විෂයට අදාළ ඇතැම් ඇමැතිවරුන් රූපවාහිනිවල අදහස් දක්වමින් මේ කටයුත්තට තමන් මැදිහත් වූ බව කියන්නට පටන් ගෙන තිබේ. සනීපාරක්ෂක තුවා පසුගිය මැතිවරණ කාලයේදීත් දේශපාලන ප්‍රශ්නයක් විය. තවම මහ මැතිවරණයක් පැවැත්වීමේ හෝඩුවාවක් පවා නොමැතිව මේ ඇමැතිවරු ඡන්ද ගන්න පොටක් පාදා ගැනීම ගැන ගීතාට තරමක් කේන්ති ගොස් ඇති බවක් පෙනෙන්නට ඇත. මම මැදිහත් වී කාන්තාවන්ට ලබාදුන් සහනවලින් වෙනත් ඇමැතිවරු ලකුණු දාගන්න ඉදිරිපත් වන්නේ ඇයි දැයි රාජ්‍ය ඇමැතිනි ගීතා පාර්ලිමේන්තුවේදී ඇමැතිවරයකුගෙන් ප්‍රශ්න කර තිබේ.

ප්‍රමාද වී පහළ වන නුවණ

පාර්ලිමේන්තුවේ පළමුවන මහලේ කොරිඩෝවේ ඉකුත් බ්‍රහස්පතින්දා දහවල් මාධ්‍යවේදීන් පිරිසක්, හිටපු ඇමැතිවරයකු වූ ගයන්ත කරුණාතිලක සමඟ කතා කරමින් සිටියේය.

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ දිවා ආහාරය ලබා ගැනීමෙන් පසු මැති ඇමැතිවරු පිරිසක් පිරිවරාගෙන විදුලි සෝපානය කරා යෑමට පැමිණෙද්දී ගයන්ත කරුණාතිලක හිටපු ඇමැතිවරයා ළඟ මොහොතක් නතර වූ මහින්ද රාජපක්ෂ මහතා ‘කොහොමද ගයන්ත’ ඇසුවේය.

ගයන්ත සිනා සෙමින් “වැරැද්දක් නෑ. හොඳින් ඉන්නවා”යි කීය.

එතැන සිටි මාධ්‍යවේදිනියක් දෙස බලා “ආ මෙයා මොකද කියන්නේ” කියා මහින්ද අසද්දී ඔහු අසලින්ම සිටි මහින්දානන්ද අලුත්ගමගේට අත දිගු කළ මාධ්‍යවේදිනිය, “ඔබතුමාගෙ කාලෙ හිටපු කෘෂිකර්ම ඇමැතිතුමත් ඉන්නවා. එතුමා දැන් කෘෂිකර්මය ගැන යෝජනා ඉදිරිපත් කරනවා. ඒ කාලෙ ඕව කරන්න තිබුණෙනේ” කීවාය. එතැන සිටි අනෙක් මැති ඇමැතිවරු සිනා සෙද්දී “ඇයි අපිට යෝජනා කරන්න හොඳ නැද්ද?” මහින්දානන්ද මාධ්‍යවේදිනියට ප්‍රතිඋත්තර දුන්නේය.

කතාව දුරදිග යන බව තේරුම් ගත් මහින්ද රාජපක්ෂ මාධ්‍යවේදිනිය වෙතින් පිළිතුරක් ලැබෙන්න කලින් “දැන් ඉන්න කට්ටිය හරි කරනවා නම් හොඳයි?” කියමින් සෝපානය වෙත පිය නැඟුවේය.

60න් විශ්‍රාම යැවීම මන්ත්‍රිවරුන්ට නැද්ද?

“ඔයා මහින්දානන්ද ඉවරම කළානේ?” කියා එම කණ්ඩායමේ  සිටි හිටපු ඇමැතිවරයෙක් මාධ්‍යවේදිනියගෙන් අසමින් එතැනින් නික්ම ගියේය.

ඊට සුළු මොහොතකට පසු සමගි ජන බලවේගයේ තුෂාර ඉඳුනිල් මන්ත්‍රිවරයා එම මාධ්‍යවේදීන් අතරට පැමිණ, “මොකද මේ කාණ්ඩෙ” කියා අසද්දී, මහින්දානන්ද මන්ත්‍රිවරයාගෙන් ප්‍රශ්න කළ මාධ්‍යවේදිනිය, “මේ හැටෙන් විශ්‍රාම යන නීතිය මන්ත්‍රිවරුන්ටත් දාන්න ඕන” කියා සිනාසුණේය. “ඔව්… ඔව්… ඒක හොඳ යෝජනාවක්” කියූ තුෂාර ඉඳුනිල් කතාව වෙනතකට යොමු කරමින්, “ඔබතුමිය ජේ.වී.පී. වුණාට අනෙක් අයට වැඩිය වෙනස්. මොකද ජේ.වී.පී. අය කතා කරන්නෙ නෑ. හිනා වෙන්නෙ නෑ. මළ ගෙදරක යන්නෙ නෑ. උඩ බලාගෙන යනවා. ඔබතුමිය හොඳට හිනාවෙනවා” කීවේය.

පොත් බලන්න කියවන්න ඕනෑ ගිනි තියන්න හොඳ නෑ

පොත් කියැවීමේ රුසියකු වන ජනපති රනිල්  ඉකුත් බ්‍රහස්පතින්දා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට ගියේ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නැරැඹීමටය. එහිදී පොත් මිලදී ගත් ජනාධිපති පොත් ප්‍රදර්ශනය අගය කරමින් “පොත් බලන්න ඕනෑ. පොත් කියවන්න ඕනෑ. හැබැයි පොත් ගිනි තියන්න හොඳ නෑ” කියද්දී අසල සිටි අය සිනහ වූහ. රනිල්ට ඔහුගේ පුස්තකාල ගිනි තැබූ අවස්ථාව සිහියට නැඟෙන්නට ඇත.

හුස්ම වැඩසටහනෙන් හුස්ම ගන්න රෝහල්

විපක්‍ෂ නායක සජිත්, ආණ්ඩුවේ ජනතාවට පීඩාකාරී තීන්දු තීරණ හා ක්‍රියාවන් දැඩිලෙස විවේචනය කිරීමේ අඩුවක් නැත. එවැනි විවේචනයක යෙදෙන සජිත්, ජනතාව වෙනුවෙන් අගය කළ යුතු සේවයක යෙදෙන බවද කිව යුතුය. ඒ රටේ මිනිසුන්ට හුස්ම ගැනීමටවත් නොහැකි තත්ත්වයක් පවතිද්දී සමගි ජන බලවේගය ක්‍රියාත්මක ‘හුස්ම’ වැඩසටහනට නම් රටේ ජනතාවගෙන් ලැබෙන්නේ ඉහළම ප්‍රසංශාවකි. සජිත් මේ වැඩසටහන යටතේ අවස්ථා 51කදී රුපියල් ලක්‍ෂ 1562ක් වටිනා රෝහල් උපකරණ පිරිනමා තිබේ. ඔහු 52 වැනි පියවර ලෙස රුපියල් ලක්‍ෂ 35ක් වටිනා Dialysis යන්ත්‍රයක් අම්පාර රෝහලට පසුගිය සතියේ පරිත්‍යාග කළේය.

බෙනට් රූපසිංහ