ප්‍රේමය පාරමිතාවකි නිරාමිස සුව සදන

0
309

ආදරය නොලබන – නොලැබෙන හදෙක ඇත්තේ මහත් හිඩසකි. මේ යැයි වදනින් පළ කළ නොහැකි ඒ බර හැඟුම, හුදෙකලාවේ පත්ලටම කිමිඳ ජීවිත නිසරු කරවයි. මන්දෝත්සාහී කරයි. බලාපොරොත්තුද ගිලිහී යනුයේ නිරායාසයෙනි. අර්ථාන්විත දිවි ගමනක් ඒක පුද්ගලමය ක්‍රියාදාමයක් නොවන්නේ ඔහු සමාජ සත්ත්වයකු වන හෙයිනි. යහපත් සමාජයක් බිහිවීමේ – පවත්වාගෙන යෑමේ ප්‍රවණතාව සහ පුද්ගලතාව මතින් ඉදිරිය දකින්නකි.

කිතුනු ජීවිත භූමිකාවේදී දාන, ශීල, ප්‍රඥා, මෛත්‍රි හා උපේක්‍ෂා ආදී සියලු මානව ධර්මගුණ “ප්‍රේමය” නම් වූ ශාන්ත වදන තුළ ගොනු කොට දැක්වේ. ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ මෙලොව සපැමිණීමේ කාර්යයද ප්‍රේමය පදනම් කොට ගත්, විමුක්තිය සැලසීමේ අදිටනේ ප්‍රතිඵලය වේ. “ප්‍රේමය” සරල තනි වචනයකි. නමුදු අන්තර්ගතය අති සංකීර්ණය. ජේසුතුමන් වදාළ ශේ‍ර්ෂ්ඨතම ආඥාව ශුද්ධවර මතෙව්තුමන් මෙලෙස දක්වයි.

(ශු. මතෙව් 22:37-39)

“….නුඹේ මුළු හෘදයෙන් ද

නුඹේ මුළු සිතින් ද

නුඹේ මුළු බුද්ධියෙන් ද

නුඹේ දෙවි ස්වාමීන් වහන්සේට ප්‍රේම කරන්න. …. දෙවැනි ආඥාවද එයට සමානය එනම් නුඹ, නුඹට ප්‍රේම කරන්නාක් මෙන් නුඹේ අසල්වැසියාටත් ප්‍රේම කරන්න” යනුයි. දේව සමාන කමට මවනු ලැබූ මනුෂ්‍යයාට, කෘත ගුණ දක්වන්නට සේම “ප්‍රේමය” පූර්ණ කරනට අවැසි මෙත් පෑමේ ගුණයද ඔවුන් වහන්සේ එලෙස අවධාරණය කරති.

මෙහිදී අසල්වැසියා යනු කවරෙක් දැයි නැඟෙන පැනයටද වරෙක එතුමාණෝ අපූරු නිර්වචනයක යෙදෙති. එයද මහඟු උපමාවෙකි. සුවිශේෂ ප්‍රකාශනයක් ලෙස කිතුනු ජනතාව දස දහස්වර සජ්ඡායනය කර ඇති “යහපත් සමරිතානුවරයාගේ උපමා කතාව“ අපට කියාදෙන ප්‍රේමයේ පාඩම අනර්ඝය. අසල නිවැසියාම අසල්වැසියා ලෙස අර්ථ නොගන්වන, ජේසු සමි¼දාණෝ දයාව, කරුණාව අවැසි තැනැත්තා අසල්වැසියා ලෙස මෙහි දී හුවා දක්වති.

ශුද්ධවර ලූක් 10: “යහපත් සමාරියා”

…සොරුන් අතට පත් වූ තැළුම් පෙළුම්වලින් අඩපණව ගිය මිනිසකු මඟ වැටී සිටියදී එමඟින් ගිය, පූජකයකුද, ලෙවීවරයකුද ඒ අසරණයා මඟ හැර ගියේය. පසුව එමඟින් යෑමට පැමිණි සමාරිය මිනිසෙක් ඔහු වෙත පැමිණ තුවාල බැඳ තම කොටළුවා පිට තබාගෙන ගොස් තානායමට භාරදී මුදල්ද  වියදමට දී රැකවරණයට උපදෙස් දී ගිය අයුරු එම කතාව වේ.

ස්වාමීන් වහන්සේ මේ උපමාව වදාරා,

ශු. ලූක් 10 – 36 – 38 ඉදින් සොරුන් අතට පත් වූ ඒ තැනත්තාට මෙකී තිදෙනාගෙන් අසල්වැසියා වූයේ කවරෙක්ද කියා ඔබ සිතන්නෙහිද? ප්‍රශ්න කරනු ලැබීය. පිළිතුර සරලය. එහි අන්තර්ගතය “ප්‍රේමය” ප්‍රායෝගික කිරීම නොවනනේද?

ප්‍රේමය වදනකට වඩා ක්‍රියාවකියි කිව හැකිය. මන්ද වචනයක් සැබෑවක් වන්නට – යථාර්ථයක් වන්නට ඒ හා බැඳී ක්‍රියාවක් තිබීම වඩාත් අර්ථ සම්පන්නය.

ශුද්ධ වූ බයිබලයේ නව ගිවිසුම තුළ ශුද්ධ වූ පාවුළුතුමන් විසින් කොරෙන්ති සංඝයට යවන ලද ලිපි රැසක් පළවේ. ප්‍රේමය පිළිබඳ දීර්ඝ විවරණයක යෙදෙන එතුමන් “ප්‍රේම පාරමිතාව“ යනුවෙන් සැබෑ කිතුනු කම වඩවා ගන්නට ප්‍රේමය දිවමන් කළ යුතු බව තීව්‍ර ලෙසම ප්‍රකාශ කරයි.

1 කොරෙන්ති 13:2 – 7

…. කඳු පහ කිරීමට තරම් බලවත් විශ්වාසයක් මට තිබුණත් ප්‍රේමය මට තැන්නම් මම හිස් කෙනෙක්මි.

ප්‍රේමයේ ප්‍රබලත්වය ගැන එලෙස දැඩිව අවධාරණය කරනා තරම, මේ ප්‍රේමයේ සැබෑ රුව ගුණද ප්‍රකට කරවයි.

4. “ප්‍රේමය, ඉවසිලිවන්තය. කැරුණාවන්තය.

                ප්‍රේමය, ඊර්ෂ්‍යා වන්නේ නැත.

                පාරට්ටු කර ගන්නේ නැත.

5. ප්‍රේමය අවිනීත නොවේ,

                ආත්මාර්ථකාමී නොවේ,

                හනික නොකිපේ

                නපුර සිතේ ධාරණය කර නොගනියි,

6. ප්‍රේමය,

                අනුන්ගේ වරද ගැන පී්‍රති නොවී,

                හරිදේ ගැන පී්‍රති වෙයි

7. ප්‍රේමය සියල්ල උසුලයි,

                ප්‍රේමයෙහි,

                විශ්වාසයට ඉමක් නැත

                බලාපොරොත්තුවට නිමක් නැත

                ඉවසීමට අගක් නැත.

එලෙස විවරණය කෙරෙන “ප්‍රේමය” පාරමිතා ලක්‍ෂණ ජීවිතයට සමීප කරගන්නට අවැස්ම නොවන්නේද? අරගල, ව්‍යසන, පීඩා, නින්දා අපහාස දරා ගනිමින් ප්‍රේම පාරමිතාව පුරන කල ලබන නිරාමිස චිත්ත ශාන්තිය අප සැප – සතුට යැයි අර්ථ කථනය කරන බොහෝ දැයට වඩා අගනේ නොවේද?

මානව වර්ගයා මාතෘක ප්‍රේමය, පීතෘක ප්‍රේමය දාරක ප්‍රේමය, වෛවාහක ප්‍රේමය, යෞවන ප්‍රේමය ආදී ලෙස ප්‍රේමයේ විවිධ ස්වරූපයන් අතර දිවි සැරිය ගත කරති. ආදරය, සෙනෙහස, ළබැඳියාව තවත් යොදනා නම් වැලකි. කෙළෙසක කීවද “උත්තරීතර ප්‍රේමය පිදීමි තුළින් ජීවිත අභියෝග දිනන මං හෙළිවේ. ප්‍රේමය ප්‍රායෝගික සත්‍යයක් වූ විට “ප්‍රේමය කිමැයි” කියා අසන්නට පැනයක් ඉතිරි නොවේ.

නිටා අයි. ප්‍රනාන්දු  නාගොඩ මීසම  ක¼දාන