ප්‍රහසනය කියන්නේ හිනාවෙලා, උඩ පනින නටන එකට නෙවෙයි

0
52

සුරංග සතරසිංහ යන නම ඇසුණු සැණින් අපගේ මතකයට පැමිණෙන්නේ  ආටක නාටක, පටිරෝල්, දෙකොන්මාරු වැනි  ප්‍රහසන වැඩසටහන්. රේඩියෝ නාට්‍ය තුළත් විකට ටෙලි නාට්‍ය තුළත් සුරංග සතරසිංහ විශාල සලකුණක්. ඔහු අපූරු ප්‍රහසන රංගන ශිල්පියෙක් වගේම එයින් නොනවතින ඔහු චරිතාංග කුලයේ දැවැන්තයෙක්. ඉතින් අද අපේ හදගැස්ම කතාබහ ඔහු සමඟයි. කොහොමද මේ දවස්වල ජීවිතේ?

මේ දිනවල “පැම්පස්” කියලා  චිත්‍රපටයක වැඩ කටයුතු කරගෙන යනවා. ඒ වගේම දෙකොන් මාරු ටෙලිනාට්‍යයට  රංගනයෙන් දායක වෙනවා වගේම එහි තිර පිටපත රචනා කරන්නෙත් මම. ඒ වැඩ කටයුතු තමයි මේ දිනවල සිදු කරගෙන යන්නේ.

ඔබ youtube චැනල් එකක් හරහා මිනිසුන්ගේ රසාස්වාදය වෙනුවෙන් කටයුතු කරන්නට සිතුවේ ඇයි?

මට කධභබභඡඥ චැනල් එකක් පටන් ගන්න සිතුණේ පසුගිය කොරෝනා කාලයේ. youtube පිළිබඳව මගේ එතරම් කැමැත්තක් තිබුණෙ නැහැ. රූපවාහිනියේ,  වේදිකාවේ හිටපු රංගන ශිල්පීන් විධියට youtube ගැන ලොකු විශ්වාසයකුත් අපිට තිබුණේ නැහැ. නමුත් පසුගිය කොරෝනා කාලයේ රසිකයන්ට  කතා කරන්න ක්‍රමයක් අපිට තිබුණෙ නැහැ. ඒ නිසා තමයි මම චැනල් එක පටන් ගත්තේ. ඒ ඇරෙන්න පුතාගෙ youtube චැනල් එකටත් මමයි ජෙනීයි උදවු කරනවා. 

මෙම කාල වකවානු තුළ කලාවේ ප්‍රහසන නාට්‍යයන්හි  අඩුපාඩුවක් දකින්න ලැබෙනවා. ප්‍රහසන නාට්‍ය අවශ්‍යම වෙලාවක එවැනි නිර්මාණ බිහි නොවීමට හේතුවක් තිබෙනවාද?

මේ ප්‍රහසන අවශ්‍යතාව ලංකාව තුළ එදත් තිබුණා. අදත් තිබෙනවා. ඉදිරියටත් තිබේවි. ප්‍රහසනය කියන දෙය නැති රටක කවුරුන් හෝ ප්‍රහසනය සම්බන්ධ දෙයක් සිදු කළොත් ඇතැම් විට රසිකයා සිතන්නට පුළුවන් එය තමයි ප්‍රහසනය කියලා. නමුත් ප්‍රහසනය කියන්නේ රසිකයාගෙ හදවතට කරන බුද්ධිමත් ආමන්ත්‍රණයක්. එය කටින්  හිනා වෙලා උඩ පනින, නටන දෙයක් නොවෙයි. බටහිර රටවල ප්‍රහසනය යොදා ගත්තේ දේශපාලකයන්ගේ වැරැදි පෙන්වා දෙන්න. ඒ රටවල දේශපාලකයන් පවා ප්‍රහසනයට කැමැති වුණා. එහෙම බිහිවුණු කලාවක් තමයි ප්‍රහසනය කියන්නේ. ප්‍රහසනය වැදගත් කලාවක්.  සාමාන්‍යයෙන් පෙනෙන දෙයක් විනිවිද දකින කෙනකුට තමයි ප්‍රහසනය කරන්නට පුළුවන්. සිත් පිනවන්න මිසක් සිත් රිදවන්න අපි ප්‍රහසනය කරන්න අවශ්‍ය නැහැ. 

අද කලාවෙන් බිහිවන නිර්මාණ තුළින් ප්‍රේක්ෂකයන්ට අවශ්‍ය බුද්ධිමත් දෙයක් උකහා ගැනීමේ හැකියාවක් තිබෙන බව ඔබ විශ්වාස කරනවාද?

ඇත්තටම අද හොඳ නිර්මාණ බිහිකරන අය සිටිනවා. එහෙත් ඔවුන්ට යම් යම් බාධාවල් තිබෙනවා. කලා නිර්මාණ අද ව්‍යාපාරයක් බවට පරිවර්තනය වෙලා. එය සිදු වෙන්නේ නිර්මාණකරුගේ වරදින් නෙවෙයි.  නිර්මාණයක් නිෂ්පාදනයක් ලෙස මාධ්‍යයක් තුළින් එළිදක්වන විට එය ව්‍යාපාරයක් බවට පත් වෙනවා. මාධ්‍ය තුළ තිබෙන ව්‍යාපාර රාමුවක් තුළින් තමයි ටෙලි නාට්‍යය එළිදක්වන්නේ. මිනිසුන්ට දෙයක් ගන්න පුළුවන් ඉතා හොඳ ටෙලි නාට්‍යය විකාශය වී අතරමඟදී නවතිනවා. එයින් යම් දෙයක් ඉගෙන ගැනීමට තිබෙන අවස්ථාව රසිකයන්ට අවම වෙනවා. ඒ දෙයින් නිර්මාණකරු අඩපණ වෙනවා. මම ජනමාධ්‍ය ආයතනවලින් බැගෑපත්ව සහ ගෞරවයෙන් ඉල්ලා සිටිනවා යම් හොඳ නිර්මාණයක් තිබෙනවා නම් එය ව්‍යාපාරික මට්ටමින් සිතන්නේ නැතිව එහි ගුණාත්මක භාවය සහ රසිකයන් පිළිබඳ සිතා එය විකාශය කරන්න කියලා. 

වර්තමානයේ රට තුළ ඇතිවෙලා තිබෙන අර්බුදකාරී තත්ත්වය කලාවට බලපා තිබෙන ආකාරය ගැන කතා කළොත්?

අර්බුදය කලාවට අතිශය දරුණු ලෙස බලපා තිබෙනවා. මම දකින විධියට මිනිසුන්ගේ මූලික අවශ්‍යතා අනුපිළිවෙළින් පෙළ ගැස්වුවහොත් මුලින්ම ආහාර,  ඇ¾දුම් පැල¾දුම්, සෞඛ්‍ය  අධ්‍යාපනය මුල් තැනක් ගන්නවා. එහෙම බැලුවම කලාවට සහ රසවින්දනයට ලැබෙන්නේ දහවැනි වගේ ස්ථානයක්. මිනිසුන් සහ රට ආර්ථික අගාධයකට වැටෙනවා නම් මිනිසුන් දඟලන්නේ මූලික අයිතිවාසිකම් ටික සපුරා ගන්න.

මිනිස්සු කාලා බීලා සතුටින් සිටින විට තමයි නාට්‍යයක්  වුණත් නරඹන්නට සිතෙන්නේ. චිත්‍රපටයක් බලන්නට සිතෙන්නේ. මුලික අවශ්‍යතාවන් රටට අහිමි වන විට කලාවට තිබෙන ස්ථානයත් යම්තාක් දුරට අවම වෙනවා. ඉතින් කලාවෙහි යෙදෙන රංගන ශිල්පීන් තව තවත් දුර්මුඛ වෙනවා. ඉතින් කලාකරුවන්ට පුළුවන් හැකි සෑම වෙලාවකම මේ වෙනුවෙන් කතා කරන්න. ඒවා නිවැරැදි කරමින් කතා කරන්න. හරි තැනදි කතා කරන්න, හරි තැනදි මතයක් ප්‍රකාශ කරන්න කලාකරුවෙක් බිය විය යුතු නැහැ.

අද ඇතැම් ටෙලිනාට්‍යක් නිර්මාණය කළ පසුව, එය නාළිකාවක් තුළ විකාශය කර ගැනීමට නොහැකි කල්ලිවාදයක් ගොඩනැඟී තිබෙනවා. ඒ පිළිබඳව ඔබේ අදහස කොහොමද?

ඇත්තටම  ලංකාවේ සෑම නාළිකාවකම අඩුවැඩි වශයෙන් මේ ගැටලුව තිබෙනවා. එය වැරැදියි. ඕනෑම මාධ්‍ය ආයතනයක විද්වත් මණ්ඩලයක් සිටිනවා. තමන්ගේ චැනල් එකත් ආරක්ෂා කරගෙන රටට හොඳ දෙයක් කරන්න පුළුවන් වැදගත් තෝරා ගැනීමක් කළ යුතුයි සහ එය විවිධ විය යුතුයි. මේ රටේ විවිධ කලාකරුවන් සිටිනවා ඔවුන්ටත් අවස්ථාවක් ලබා දිය යුතුයි. කල්ලිවාදයක  මූලිකවම සිදු වෙන්නේ හොඳ නිර්මාණ කොන් වෙන එක විතරයි.  කාටත් සමසේ සැලකුවා නම් හොඳයි කියන එක තමයි මගේ නම් අදහස.

සංගීත් කියන්නේ වර්තමාන කලා ක්ෂේත්‍රය තුළ සිටින දක්ෂ තරුණ රංගන ශිල්පියෙක්. පුතා අද සිටින තැන පිළිබඳ පියෙක් ලෙස ඔබට දැනෙන හැඟීම කොහොමද?

පුතා ගැන මට ගොඩක් සතුටුයි. ගොඩක් මවුපියන්ට අද තමන්ගේ දරුවන් පිළිබඳ සතුටු වෙන්න බැහැ. මම ගොඩක් වාසනාවන්තයි. මට අවශ්‍ය වෙලා තිබුණේ වෛද්‍යවරයක් බිහි කරන්නවත් ගුරුවරයෙක් බිහි කරන්නවත් රංගන ශිල්පියෙක් බිහි කරන්නවත් නෙවෙයි  මට අවශ්‍ය වෙලා තිබුණෙ මහ පොළොවෙ පය ගහලා ඉන්න මනුෂ්‍යයෙක් හදන්න. මම ඒ දේ කළා. මම ඒ දේ භුක්ති විඳිනවා. යම් යම් කාලවල යම් යම් වැරදීම් මගේ පුතාටත් වුණා.  ඒ එයාලගේ ජීවිතවලට ලැබුණු යක්කු වගේ මිනිස්සු නිසා. නමුත් අද මගේ දරුවා ඉන්න තැන දැකලා මම හොඳටම සතුටු වෙන තාත්තා කෙනෙක්.  ඒ වගේම මගේ බිරිය ජෙනී තමයි අපි දෙන්නගෙ ලොකුම ශක්තිය.

දිනිති වල්ගම කියන්නේ ඔබේ පවුලට දැන් සමීපම කෙනෙක්. ඉදිරියේදී  දිනිති ඔබේ පවුලට සම්බන්ධ වීම වැනි  වෙනසක් සිදු වෙයිද?

දිනිති වල්ගම කියන්නේ අපේ පුතාගෙ හොඳම යෙහෙළියක්. ඇය අපේ පවුල සමඟ නිතරම එකතු වෙලා සහයෝගයෙන් කටයුතු කරනවා. දිනිති කියන්නේ පොළොවෙ පය ගහලා ඉන්න දරුවෙක්. ඇතැම් අයට නම් දිනිති ආඩම්බර දරුවෙක්. මිනිස්සු ගොඩක් වෙලාවට කතා හදන්නේ මිනිස්සු පිළිබඳව අවබෝධයක් නැතිවයි. දිනිති වගේ පොළොවේ පය ගහලා සිටි දරුවකුට අපිත් කැමැතියි.

එය අනාගතයේ කුමන ආකාරයකට විසඳෙයිද කියන්න අපි දන්නෙ නැහැ. ඒ තීරණය තිබෙන්නේ දෙවියන් වහන්සේගේ අතේ. මගේ පුතාට ලැබිලා තිබෙන අත්දැකීම් අනුව හොඳ ඇසුරකින් තමයි කෙනෙක් ජීවිතයට තෝරා ගන්න වෙන්නේ. ඒ දිනිති ද කියන්න මට හරියටම බැහැ. නමුත් එහෙම වෙන්නත් පුළුවන්. එහෙම වුණොත් අපි වරදක් දකින්නෙත් නැහැ. අපේ ආශීර්වාදය සහ අපේ උදව්ව තමා  පුතාට ලැබෙන්නේ. ඒ තෝරා ගැනීමට මගේ පුතාට වගේම දිනිතිටත් අයිතිවාසිකමක් තිබෙනවා.

අනාගත බලාපොරොත්තු කොහොමද?

 ජනමාධ්‍යවලින් ලැබෙන ආරාධනා පිළිගෙන වැඩකටයුතු කිහිපයක් කරන්න සුදානමින් සිටිනවා. ඒ වගේම මමයි පුතයි බිරියයි එකතු වෙලා මේ රටේ මිනිසුන්ට අමතක නොවන චිත්‍රපටයක් කිරීමට බලාපොරොත්තුවක් තිබෙනවා. එය මුදල් බලාපොරොත්තුවෙන් කරන වැඩක් නෙමෙයි. ඉදිරියේදී බලමු.

සචිනි බස්නායක