පණිවුඩ පිට පණිවුඩ යැව්වත් පිටසක්වළයෝ නිශ්ශබ්ද ඇයි?

0
343

මේ දිනවල රටේ තිබෙන ආර්ථික පරිහානිමය තත්ත්වය ගැන අලුතෙන් කියන්න වුවමනා නැහැනේ. මිනිසුන්ට කන්න ටික නැති, දරුවෝ මන්දපෝෂණයෙන් පෙළෙන තැනටම අපි ගිහින් අවසන්. පාන් රාත්තල රුපියල් 300ට ගන්න වෙන වෙලාවට, සාලයෝ කිලෝ එකත් රුපියල් 1,000ට එහා වෙනකොට හිතෙනවා නේද පිටසක්වළකින් හරි ඇවිත් මේ රට පාලනය කළා නම් හොඳයි කියලා. අපි විහිළුවට වගේ එහෙම හිතුවට ලෝකයේ දියුණු ධනයෙන්, බලයෙන් ආඪ්‍ය රටවල්වලට මේ සිතිවිල්ල හුදෙක් විහිළුවක් නෙවෙයි. මේ මොහොත වනවිටත් ඔවුන් බලාගෙන ඉන්නේ පිටසක්වළකින් පෘථිවියට තොරතුරක්, පණිවුඩයක් ලැබෙනකන්. පුදුම වෙන්න දෙයක් නෑ.

ඒක තමයි ඇත්ත. අපි වගේ උෟන සංවර්ධිත රටකට මේක ටිකක් විකාර සහගත වැඩකට නැති කතාවක් වගේ දැනුනත් බලවත් රටවල් මේක යථාවත් කරගන්න නොකරන දෙයක් නෑ. අතීතයේ සිට මේ දක්වා ඔවුන් මෙම පර්යේෂණ කටයුතු වෙනුවෙන් වැය කරපු ධනස්කන්දය කොතරම්ද කියනවා නම් ඒ මුදල්වලින් දෙතුන් වතාවක් අපේ රටේ ණය ටික ගෙවා දමන්න පුළුවන්. හිතාගන්න පුළුවන්නේ යටකරපු මුදල් සම්භාරය ගැන. ඇත්තටම ඔවුන්ට අවශ්‍ය පෘථිවියේ නිවැරැදි පිහිටීම පිටසක්වළ ජීවීන්ට දැනුම් දීලා ඔවුන් ගෙන්වා ගැනීම හෝ ඔවුන්ගෙන් පණිවුඩයක් ලබා ගැනීම.

ප්‍රථම පණිවුඩය

අපි යමු ඉතිහාස කතාවට. මේ මාතෘකාව අද ඊයෙක කරළියට පැමිණි එකක් නම් නොවෙයි. ෆ්‍රෑන්ක් ඩේ්‍රක් තමයි පිටසක්වළ ජීවීන් සෙවීම සම්බන්ධයෙන් සමීකරණයක් මුලින්ම ඉදිරිපත් කළේ. ඒ 1961දී පිටසක්වළ ජීවීන් සෙවීම සඳහා කරපු SETI (search for extraterrestrial intelligence) සමුළුවකට. තාරකා විද්‍යාඥයන් හා රේඩියෝ ඉන්ජිනේරුවන් පිරිසක් තමයි මේ සමුළුවට එකතු වුණේ.

නමුත් පෘථිවියෙන් පිටත සිටින ජීවීන් සම්බන්ධකර ගැනීමට දැරූ මුල්ම උත්සාහය වාර්තා වෙන්නේ 1972 වසරේදීයි. බෝතලයක් ඇතුළට කඩදාසියක ලියපු පණිවුඩයක් දමා යැවීම තමයි ඒ ප්‍රථම උත්සාහය වුණේ. ටිකක් විහිළු සහගතයි වගේ දැනෙනවා වුණත් මේක තමයි ප්‍රථම උත්සාහය විධියට වාර්තා වෙන්නේ. මේ පණිවුඩය හඳුන්වන්නේ quixotic කියලා. සමරු ඵලකයක පිරිමියකු සහ ස්ත්‍රියකගේ නිරුවත් සිරුරු රේඛා හා සංකේත මඟින් මෙහි දක්වා තිබුණා. නාසා ආයතනයෙන් අභ්‍යවකාශ ගත කළ පයනියර් 10 අභ්‍යවකාශ යානයෙන් තමයි මේ සමරු ඵලකය සහිත බෝතලය රැගෙන ගියේ.

භාෂාව

පිටසක්වළයන් භාවිත කරන භාෂාව මොකක්ද? මොන භාෂාවෙන්ද ඔවුන් පණිවුඩය යැව්වෙ? මෙවැනි ප්‍රශ්න ගණනාවක් මනසේ ඇඳෙනවා නේද? ඇත්තටම ඉංග්‍රීසි මාධ්‍යයෙන් නොවෙයි ඔවුන් පණිවුඩය සටහන් කළේ. මොකද පිටසක්වළයන්ට ඉංග්‍රීසි තේරෙනවද දන්නේ නෑනේ කියන සැකය ඔවුන්ටත් ඒ මොහොතේ පැනනඟින්න ඇති. ඒ නිසා ඔවුන් ඒ සඳහා භාවිත කළේ ද්වීමය කේත සහ අංක මාලාවක්. ඒ කියන්නේ binary codes. ලොව සිටින ඕනෑම දියුණු ජීවියෙක් යම් ආකාරයක සංඛ්‍යාත්මක භාෂාවක් භාවිත කරනවා යැයි කියන නිගමනයේ සිට තමයි ඔවුන් මේ සඳහා binary codes යොදා ගත්තේ.

ගතවූ කාලය

රන් ඇනෝඩීකරණය කරන ලද ඵලක පණිවුඩය හදන්න නාසා ආයතනය සති තුනක වගේ කාලයක් ගත්තලු. මෙහි තිබුණු ගැහැනු හා පිරිමි මානව රූප ඇන්දේ ලින්ඩා සාගන්. ෆ්‍රෑන්ක් ඩේ්‍රක් එක්ක එකතු වෙලා තමයි නාසා එක මේ වැඩේ කළේ. ලෝකෙ මොන දේ කරන්න ගියත් මිනිසුන්ගේ විවේචන අඩුවක් වෙන්නේ නෑනේ. ඒ කාලෙත් එහෙමම තමයි. මේ චිත්‍රවලටත් නොයෙක් විවේචන ආවා. සමහරු කිව්වා මේ රේඛා සිතුවම් නිරුවත් නිසා අසභ්‍යයි කියලා. ඒ කාලේ පත්තරවල මේ සිතුවම පිළිබඳ ප්‍රවෘත්තිය පළ කළේ ලිංගික අවයව මකලලු. තවත් සමහරු ප්‍රශ්න කළා පිරිමියාගේ ලිංගික අනන්‍යතාව හඳුන ගන්න පුළුවන් වුණාට ස්ත්‍රී රූපයේ එවැන්නක් නැත්තේ ඇයි කියලා. ඔය වගේ ප්‍රශ්න ගණනාවක් මේ රේඛා සිතුවමට ආවා. නමුත් ඒ සෑම ප්‍රශ්නයටම උත්තරත් නාසා ආයතනයට තිබුණා.

ගමනාන්තය

පණිවුඩය රැගත් අභ්‍යවකාශ යානය ගියේ ජුපිටර් ග්‍රහයා (බ්‍රහස්පති) දෙසට. නමුන් පෘථිවිවාසීන් එවපු  පණිවුඩයට පිටසක්වළ ජීවීන්ගෙන් කිසිදු ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ.

දෙවැනි උත්සාහය

ප්‍රථම උත්සාහය අසාර්ථක වුණා කියලා නාසා ආයතනය වැඩේ අත්හැරියේ නෑ. ඔවුන් නැවත වටයකින් 1977දී තමන්ගේ වෑයම සාර්ථක කරගන්න උත්සාහ කළා. නාසා ආයතනයේ voyager 1 යානය තමයි ඔවුන්ගේ දෙවැනි තෝරා ගැනීම වුණේ. පයනියර් 10 සහ voyager 1 අභ්‍යවකාශ යානා දෙක තමන්ගේ නිවුන් දරුවන් විධියට තමයි නාසා ආයතනයෙන් සැලකුවේ. පයනියර් 10 වගේම මේ යානයත් පිටත ග්‍රහලෝක කක්ෂ පසුකරමින් සාර්ථකව ගමන් කළත් අභ්‍යවකාශයේ විශාලත්වය තුළ ඔවුන්ට කිසිදු භෞතික හෝ අභෞතික වස්‍තුවක් සොයා ගන්නට හැකි වූවේ නෑ. ඒ කියන්නේ එවරත් පිටසක්වළයන්ගෙන් ප්‍රතිචාර නැහැ.

තෙවැනි උත්සාහය

දෙවැනි උත්සාහයත් අසාර්ථක වෙද්දී නාසා ආයතනය තමන්ගේ ව්‍යාපෘතියට නව මුහුණුවරක් එක් කරමින් තුන්වැනි වරටත් පිටසක්වළයන්ට යවන පණිවුඩයක් නිර්මාණය කළා. එය පිටසක්වළ ජීවීන්ට ඇහෙන්නට සැලැස්වීමට ඔවුන්ට අවශ්‍ය වුණා. එය රේඩියෝ පණිවුඩයක් ලෙස තමයි සූදානම් කොට තිබුණේ. මෙය තමයි පිටසක්වළ ජීවින්ගේ සවන් උදෙසා නිමවන ලද ප්‍රථම ගුවන් විදුලි පණිවුඩය. මේ අලුත් කටයුත්ත සිද්ධ වුණේ 1974දී Puerto Rico හි ඉදිවුණ Arecibo නිරීක්ෂණාගාරය තුළයි. මනුෂ්‍ය වර්ගයා සහ එයට අදාළ ජීව විද්‍යාත්මක  තොරතුරු තමයි මේ පණිවුඩයට ඇතුළත් වුණේ. ආලෝක වර්ෂ 25,000ක් පමණ දුරකින් පිහිටා ඇති Globular cluster M 13 වෙතට තමයි මේ රේඩියෝ පණිවුඩය ගෙන ගියේ. නමුත් එය ඇසූ එකදු පිටසක්වළයෙක් ගැනවත් තොරතුරු වාර්තා වුණේ නෑ.

මහා නිශ්ශබ්දතාව (Great Silence)

නාසා ආයතනය තෙවරක්ම පිටසක්වළයන්ට පණිවුඩ යවලත් ඒ එකකටවත් කුඩා හෝ ප්‍රතිචාරයක් ලැබුණේ නැති බව දැන් ඔබ දන්නවානේ. පිටසක්වළයන්‍ට මෙතරම් පණිවුඩ යවලත් ඒවාට අවධානය නොදී නෑසූ කන්ව සිටීම, එසේත් නැත්නම් කිසිදු ප්‍රතිචාරයක් නොමැති කාලය තමයි මහා නිශ්ශබ්දතාව කියලා හඳුන්වන්නේ. මෙතැනදි ගැටලු කිහිපයක් මතුවෙනවා. පෘථිවිවාසීන් යවන පණිවුඩ අවබෝධ කරගන්න තරම් පිටසක්වළ ජීවීන්ට බුද්ධියක් නැද්ද?

එහෙමත් නැත්නම් ඔවුන්ගේ අතිශය දියුණු බුද්ධි මට්ටමට ගැළපෙන්න තරම් අපි යවන පණිවුඩ ප්‍රමාණවත් නැද්ද? ආදී වශයෙන්. මීට අමතරව මතුවෙන ප්‍රබලම ගැටලුව තමයි මොන විද්වතුන් කිව්වත් මොන මට්ටමේ පරීක්ෂණ කළත් ඔය ඉන්නවාය කියන පිටසක්වළ ජීවීන් ඇත්තටම ඉන්නවද කියන ගැටලුව. මේ ගැටලු, ගැටලු විධියටම තියලා අපි ඉදිරියට යමු.

විචාර සහ විවේචන

එදා සිට අද දක්වාම මේ සම්බන්ධයෙන් පළවූ අදහස් විවිධාකාරයි. ඒවායෙන් බොහොමයක් ඒවා සෘණාත්මක සහ භයානක  දේවල්. මේක කියවන ඔබටත් හිතෙනවා ඇති කොහේවත් නැති අනතුරක් තමන්ගේ දෙපාමුලට ගෙන්වා ගැනීමක් තමයි මේ කරන්න හදන්නේ කියලා. ඒ සිතිවිල්ලම තමයි තාරකා විද්‍යාව පිළිබඳ මහාචාර්ය ක්‍රිස් ඉම්පෙටත් තිබෙන්නේ. ඔහු මේක හරි ලස්සනට විග්‍රහ කරනවා.

“පාළු කඳුකරයක අතරමං වූවෙක් උදවු ඉල්ලන්න ගිනිමැළයක් ගහනවා. එහෙමත් නැත්නම් help me කියලා විශාල අකුරුවලින් ලියනවා. අන්න ඒ වගේ තමයි මේ පිටසක්වළ ජීවීන්ට අපි ඉන්න තැන කියලා පණිවුඩ යවන එක. මේක සුදුසු ක්‍රියාවක්ද නැද්ද කියලා මීට වඩා හිතලා බලන්න අවශ්‍යයි. ඇතැම් විට අනපේක්ෂිත අනතුරක් අප වෙත කැඳවා ගැනීමක් මේ හරහා වෙන්න පුළුවන්. ඒ ඔහුගේ දැක්ම. ලෝකයේ බොහෝ විද්‍යාඥයන් ඉන්නෙත් ඔහුගේ මතයෙමයි. නමුත් නාසා ආයතනය මේ පණිවුඩ යැවිල්ල නම් නවත්වන්නේ නෑ.

මහාචාර්ය ක්‍රිස් ඉම්පෙ කියන්නේ විශ්වයේ ජීවය සම්බන්ධයෙන් බොහෝ පර්යේෂණ කරපු කෙනෙක් සහ ඒ සම්බන්ධයෙන් පුළුල් ලෙස ලියපු ප්‍රාඥයෙක්. ඔහු මේ වනවිටත් පිටසක්වළ ශිෂ්ටාචාර වෙත යැවීමට  පණිවුඩ සැලසුම් කරන පර්යේෂණ කණ්ඩායමක උපදේශක මඬුල්ලේ සාමාජිකයෙක් විධියට කටයුතු කරන්නෙක්.

ඔහු පවසනවා තාරකා විද්‍යාඥ කණ්ඩායම් දෙකක් ඉදිරි මාසවලදී  බුද්ධිමත් පිටසක්වළ ජීවීන් සමඟ සන්නිවේදනය කිරීමට සූදානමක් පවතින බව. වසර 70කට වඩා වැඩි කාලයක් මුළුල්ලේ මේ කර්තව්‍යයේ නිරතවුණු තාරකා විද්‍යාඥයෝ වෙනත් ශිෂ්ටාචාරවල රේඩියෝ  සහ දෘශ්‍ය සංඥා විශාල ප්‍රමාණයක් මේ වනවිට ස්කෑන් කොට තිබෙනවාලු. ඔවුන්ගේ පර්යේෂණ හා අධ්‍යයනයන් අනුව ඔවුන් විශ්වාස කරනවා වෙනත් ක්ෂීරපථ සහ මන්දාකිනිවල ජීවත්වන දියුණු පිටසක්වළ ජීවීන් සිටින බවට. එය ප්‍රත්‍යක්ෂ කොට පෙන්වා ඔවුන් සමඟ සන්නිවේදනය කිරීමට තමයි ඔවුන් මේ සියලුම උත්සාහයන් දරන්නේ.

The Bacon in the Galaxy අලුත් වැඩේ

මම මුලිනුත් කිව්වනේ  මේ පණිවුඩ යැවිල්ල නවත්වන්නේ නෑ කියලා. පිටසක්වළයෙක් පෘථිවියට ගෙන්ව ගන්න තෙක් ඔවුන් මේ වෑයම අතහරින්නේ නෑ. අඩසියවසකට පසුව ඔවුන් නැවතත් පණිවුඩයක් යවන්නයි සූදානම් වෙන්නේ. මේක Arecibo පණිවුඩයක්. ක්‍රිස් ඉම්පෙ කියපු ආකාරයට තාරකා විද්‍යාඥයන් කණ්ඩායම් දෙකක් තමයි මෙයට සූදානම් වෙන්නේ.

යෝධ රේඩියෝ දුරේක්ෂයක් මේ සඳහා ඔවුන් භාවිත කරනවාලු. 2023දී මේ නව පණිවුඩය පිටසක්වළයන්ට යවනවාමයි කියලයි ඔවුන් කියන්නේ. චීනය තමයි මේ වතාවේ මේ කටයුත්තට අතගහන්නේ. චීනයේ තිබෙන ලොව විශාලතම රේඩියෝ දුරේක්ෂයෙන් තමයි ඔවුන් පණිවුඩය යවන්න හදන්නේ. මීටර් 500ක් පමණ විෂ්කම්භයක් සහිත දුරේක්ෂයෙන් රේඩියෝ ස්පන්ධන (pulses) මාලාවක් කදම්භ ගත කරන්න තමයි මේ උත්සාහය.

ඔවුන් යවන අලුත් පණිවුඩය හඳුන්වන්නේ the bacon in the galaxy කියලයි. රුසියානු ප්‍රකෝටිපතියකු වන යූරි මිල්නර් මෙම නව පණිවුඩය පිටසක්වළ ගතකිරීම සඳහා මූල්‍ය දායකත්වය ලබාදෙන බවක් තමයි පැවැසෙන්නේ.

අන්තර්ගතය

මේ අලුත් පණිවුඩයට මොනවගේ දේවල් අඩංගු කරලා ඇතිද? ඔබත් එහෙම හිතුවා නේද? දැන් කියන්න සූදානම් වෙන්නේ ඒ ගැන තමයි. මෙයට ප්‍රාථමික සංඛ්‍යා සහ ගණිත ක්‍රියාකාරකම්, ජීවයේ ජෛව රසායනයන්, මානව ආකෘති, පෘථිවියේ නිවැරැදි පිහිටීම සහ කාල මුද්‍රාව වැනි තොරතුරු රැසක් අන්තර්ගතකොට තිබෙනවා.

ගමනාන්තය

පෘථිවියේ සිට ආලෝක වර්ෂ 10,000-20,000 දක්වා අෑතින් පිහිටි ක්ෂීරපථ මන්දාකිනියේ මධ්‍යයට ආසන්න තාරකා මිලියන ගණනාවක් වෙත තමයි මෙවර පණිවුඩය යවන්නේ. තාරකා විද්‍යාඥයන් පවසනවා අලුත් පණිවුඩයට පිටසක්වළයන්ගෙන් ප්‍රතිචාරයක් ලැබෙන්න තව වසර 10,000ක් පමණ ගතවෙයි කියලා. ඒ වෙද්දී ඉතින් පණිවුඩය යවපු තාරකා විද්‍යාඥයෝ ටිකත් නෑ. මේක කියවන ඔබත් නෑ. මේක ලියන මමත් නෑ. ඒ නිසා පිටසක්වළ ජීවීන්ගේ ප්‍රතිචාර කොහොම වෙයිද කියලා අපිට බලාගන්න වෙන්නේ නෑ. සමහර විට පිටසක්වළයො ඇවිත් අපේ රට ආසියාවේ ආශ්චර්ය කරලා නවතියිද දන්නෙත් නැහැ. එහෙම වුණොත් ඒක ඉතින් අපේ අභාග්‍යය.

Trappist-1 තාරකාව

2022 ඔක්තෝබර් 4දා. ඔබ හිතුවා හරි ඒ ලබන මාසෙ 4 තමයි. අන්න එදාටත් අලුත් වැඩක් සිද්ධ වෙනවා. එංගලන්තයේ Goonhilly Satellite Earth Station (චන්ද්‍රිකා පෘථිවි මධ්‍යස්ථනය) සූදානම් වෙනවා තවත් පණිවුඩයක් යවන්න. Trappist 1 කියන තාරකාවට තමයි මෙම පණිවුඩය යවන්න සැලසුම් කරන් ඉන්නේ. මෙම තාරකාවට ග්‍රහලෝක 7ක් තිබෙනවාලු. ඉන් තුනක්ම ඊනියා Goldilocks කලාපයේ තමයි ස්ථානගතව තිබෙන්නේ.

මේවා පෘථිවියට ඉතා සමාන බවට සැලකෙන නිසා තාරකා විද්‍යාඥයෝ සිතනවා මේ ග්‍රහලෝකවල ස්ථිරවම පිටසක්වළ ජීවීන් සිටින බව. ඒ කියන්නෙ ද්‍රව හා ජීවයට අවස්ථාවක් තිබෙන බව ඔවුන් විශ්වාස කරනවා. කෙසේ නමුත් Trappist 1 තිබෙන්නේ පෘථිවියට වඩා ආලෝක වර්ෂ 39ක් අෑතින්. තවත් වසර 78කින් පමණ මේ පණිවුඩයට පිටසක්වළයන් නිසැකවම ප්‍රතිචාර දක්වයි කියලත් ඔවුන් පවසනවා. අපි නොසිටියත් අපේ අනාගත පරම්පරාවට එහි ප්‍රතිඵල බලාගන්න පුළුවන් වෙයි. අනතුරක් කරදරයක් නම් නොවේවා කියලා මේක ලියන ගමන් ප්‍රාර්ථනා කරන්නම්.

මේක ලොව දියුණු රටවල්වලට මූල්‍ය ශක්‍යතා පරිමාව, නූතන විද්‍යාව හා තාක්ෂණයේ අද්විතීය බව පෙන්වීමට තමන්ට ලැබෙන විශාල අවස්ථාවක් ලෙස ඔවුන්ට දැනුනත් ඉන් ලැබෙන ප්‍රතිඵලය නිසැක වශයෙන්ම යහපත් එකක් වෙයි කියලා ඔවුන්ට තහවුරු කරන්න හැකියාවක් නැහැ. අනපේක්ෂිත ආකාරයෙන් ලැබෙන ප්‍රතිඵලය බියකරු, රුදුරු එකක් වුවහොත් එදිනට කරන්නේ කුමක්ද යන්න සම්බන්ධයෙනුත් ඔවුන්ට නිශ්චිත පිළිතුරක් නැහැ. එබැවින් විශාල සදාචාරාත්මක ගැටලු ගණනාවක් පෘථිවිවාසීන් හමුවේ මතුව තිබෙන බව කිව යුතුමයි.

සමස්ත පෘථිවිවාසීන් වෙනුවෙන් කුඩා තාරකා කණ්ඩායම් කිහිපයක් එකතු වී තීරණ ගැනීම කොයි තරම් උචිතද යන්නත් සිතා බැලිය යුතුයි. කුඩා පිරිසකට පෘථිවිය වෙනුවෙන් තීරණ ගත හැකිද? එයින් සමස්ත මතය නියෝජනය වනවාද යන්නත් ගැටලුවක්. ප්‍රකට භෞතික විද්‍යාඥ ස්ටීවන් හෝකින්ග් මතු කළ කාරණයක් පිළිබඳව නැවත සිහිපත් කරන්නම්. සුපිරි තාක්ෂණය භාවිතකොට පිටසක්වළ ජීවීන් සම්බන්ධ කොට ගැනීමට උත්සාහ කිරීම ඉතාම අනතුරුකාරී දෙයක් බව ඔහු මිය යෑමට පෙර පැවැසුවා. පෘථිවියේ පිහිටීම පිටසක්වළ ජීවීන් අතට පත්කිරීම බලෙන් අනතුරක් ගෙන්වා ගැනීමක් බවත් ඉන් මනුෂ්‍යත්වය විනාශ විය හැකි බවට ඔහු අනතුරු ඇඟවූවා. හිතන තරම් ලෙහෙසි නැහැ නේද?

දැන් ඉතින් තිබෙන්නේ ඔබේ වාරය. මේ ලිපිය කියවලා ටිකක් නිවාඩු පාඩුවේ හිතලා බලන්න මෙවැනි උත්සාහයක් සාර්ථක වුණොත් විය හැකි දේවල් පිළිබඳව. කොහොම නමුත් යහපතක් වෙයි කියලා හිතන්න අසීරුයි නේද? ඔබට පුළුවන්නම් හොයාගෙන කියවලා බලන්න Cixin Liu රචනා කරපු The Three body problem පොත. ඒ පොතට අනුවත් මෙවැනි උත්සාහයක් අනර්ථයකින් මිසක යහපතකින් නම් කෙළවර වෙන්නේ නෑ. ඇතැම්විට ඒ පෘථිවියේ අවසාන මොහොත වෙන්නත් පුළුවන්.

 අරුණි මල්ලවආරච්චි