පට්ටිය හන්දියේ ‘ආජි’ ඝාතනය ‘ආනමාළු රංග’ මැරූ ලේ පළිය ද?

0
64

මැයි මස 30 වැනිදා ඇරඹි ඝාතන රැල්ලේ 35 වැනි මිනිස් ඝාතනය ඉකුත් සැප්තැම්බර් මස 14 වැනිදා පෑලියගොඩ පොලිස් වසමෙන් වාර්තා විය. කැලණිය පොලිස් කොට්ඨාසය තුළ පමණක් මෙතෙක් සිදු වූ මිනිස් ඝාතන සංඛ්‍යාවද ඒ අනුව හතර දක්වා ඉහළ ගියේය.

කෙසේ වෙතත් මෙම ඝාතන හතරට ආධාර අනුබල දුන් බව කියමින් කිහිප දෙනකු පොලිසිය සහ විශේෂ කාර්ය බළකාය අත්අඩංගුවට ගත්තද මිනිස් ඝාතන සිදුකළ කිසිදු වෙඩික්කරුවකු පෑලියගොඩ මූලස්ථාන පොලිසියෙන් හෝ කැලණිය පොලිස් කොට්ඨාසය තුළ ක්‍රියාත්මක වන කිසිදු අපරාධ විමර්ශන ඒකකයක් මඟින් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත. මේ නිසා මෙම මිනිස් ඝාතන සිදුකළ තුවක්කුකරුවන් නිදැල්ලේ පසුවීම භයානක තත්ත්වයක් බව කිව යුතුය. ඒ ඔවුන් තවත් මිනිස් ඝාතනවල යෙදීමට ඇති ඉඩකඩ බහුල වීම නිසාය.

පෑලියගොඩ පොලිස් කොට්ඨාසයට මුල්ම මිනිස් ඝාතනය වාර්තා වනුයේ ඉකුත් ජුනි මස 14 වැනිදාය. ඒ වත්තල පොලිස් වසමෙනි. සිද්ධියෙන් මරු දුටුවේ මට්ටක්කුලිය අල්ලි වත්ත ප්‍රදේශයේ පදිංචි නිපුන නමැත්තෙකි. වත්තල ඇලකන්ද ප්‍රදේශයේ පිහිටි කායවර්ධන මධ්‍යස්ථානයකට පැමිණ එහි පැයක්ම රැඳී සිට නිවෙස කරා යෑමේ අදහසින් යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී මොහු ඝාතනයට ලක්විය.

සිද්ධිය පිළිබඳව විමර්ශ ඇරඹුවේ වත්තල පොලිසියෙනි. ඊට අමතරව කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය, පෑලියගොඩ අපරාධ කොට්ඨාසයද විමර්ශන සිදුකළහ.

එම විමර්ශනයේදී අනාවරණය වූයේ මත්කුඩු ජාවාරමක ගනුදෙනුවක් මත විදේශගතව සිටින අයකු විසින් මෙම ඝාතනය මෙහෙයවා ඇති බවය. ඝාතනය සඳහා ඔත්තු බැලූ ආධාර අනුබල දුන් කිහිප දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තද නාඳුනන තුවක්කුකරුවන් තවමත් නිදැල්ලේය.

ඊළඟ ඝාතනය සිදුවන්නේ පෑලියගොඩ මැනිං වෙළෙඳපොළ තුළය. ඒ ජුනි 21දාය. ඝාතනය වන්නේ පලතුරු සංගමයේ සභාපති වන සමන්ත ප්‍රදීප් කුමාර හෙවත් අඹ ශානාය. ඝාතනයට පෙරද අඹශානාට ජීවිත තර්ජන තිබිණි. ඒ නිසා ඔහු මැනිං මාර්කැට්ටුවට එන්නේ කිසියම් ආරක්‍ෂක පියවර මතය.

පලතුරු වෙළෙන්දන්ගේ ගැටලු සම්බන්ධයෙන් පැවැති රැස්වීමකට එක් වූ  අඹ ශානා එය අවසන්ව මොටෝරියට ගොඩ වන්නට උත්සාහ ගත්තේ නිවෙසට යෑමේ අරමුණෙනි.

ඒ සමඟ ඔහු ඉදිරියේ නතර වූයේ සුදු පැහැති මෝටර් රියකි. එයින් බැස ගත් පුද්ගලයෙක් ටී පනස්හය ගිනි අවියකින් අඹ ශානාට පිට පිට වෙඩි තැබීය. එම වෙඩි ප්‍රහාරය හමුවේ අඹ ශානා එතැනම මැරී වැටුණේය.

මෙම සිද්ධියේ විමර්ශන සිදුකළ පෑලියගොඩ පොලිසියට සහ කැලණිය කොට්ඨාස විමර්ශන ඒකකවලට අඹ ශානා ඝාතනය කළ වෙඩික්කරුවන් සොයා ගැනීමට නොහැකි වුවත් කඩවත ඇවිදින මංතීරුවක් ආසන්නයේ දමා ගොස් තිබූ වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය ඔස්සේ සිදුකළ විමර්ශනයේදී අඹ ශානා ඝාතනයේ වැදගත් තොරතුරු සොයා ගැනීමට පොලිසියට හැකි විය. ඒ මෝටර් රථයේ සවිකර තිබූ ට්ර්ථීඉ දත්ත පද්ධතිය පරික්‍ෂා කිරීමෙනි.

පසුව මැනිං වෙළෙඳපොළේ ආරක්‍ෂක කළමනාකරුවකුගෙන්ද පොලිසිය ප්‍රශ්න කළද අඹ ශානා ඝාතනයට පැමිණි තුවක්කුකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගත නොහැකි විය.

ඉන් අනතුරුව ඝාතනය වන්නේ පොලිස් අත්තනායක නමැත්තෙකි. ඒ ඉකුත් ජුනි මස 26 වැනිදාය. කැලණිය ප්‍රදේශයේය. ඝාතනයට ලක් වූ කොස්තාපල් නමැත්තාට එරෙහිව මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනා තිබූ අතර ඒ නිසා ඔහු වැඩ තහනමට ලක් වූ නිලධාරියෙක් ද විය. ඝාතනයක් සම්බන්ධ චෝදනාද ඔහුට එල්ල වී තිබිණි.

සිය බිරිය සහ දෙහැවිරිදි දරුවාද සමඟ යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී තවත් යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් පොලිස් අත්තනායකට වෙඩි තබා ඝාතනය කළේ යතුරුපැදියේ ගමන්ගත් බිරියට හෝ කුඩා දරුවාට හානියක් නොවන ලෙසය.

විමර්ශන භාර වූයේ පෑලියගොඩ පොලිසියටය. මරා දැමුණු අත්තනායකගේ පැටිකිරිය හැරෙන්නට පොලිසිය සොයා ගත් වැදගත් කිසිදු හෝඩුවාවක් නොවීය. අත්තනායක මැරූ තුවක්කුකරුවන් තවමත් නිදැල්ලේය.

මෙලෙස මිනිස් ඝාතන තුනකට සම්බන්ධ තුවක්කුකරුවන් සහ ඊට ආධාර අනුබල දෙන්නවුන් කොටු කර ගැනීමට විමර්ශන කණ්ඩායම් පහකට ආසන්න සංඛ්‍යාවක් මෙහෙයුම් දියත් කරද්දී ඉකුත් සැප්තැම්බර් 14 වැනිදා කැලණිය පට්ටිය හන්දිය අසලදී තුවක්කුකරුවන් තවත් පුද්ගලයකු වෙඩි තබා මරා දැමීය.

වැල්ලම්පිටිය වෙලේවත්තේ පදිංචි ආරිෆ් මොහොමඩ් හුසේන් නොහොත් “ආජි” නමැත්තා මෙම වෙඩි ප්‍රහාරයෙන් මරණයට පත්විය.

යතුරුපැදියේ පැමිණි දෙදෙනකු මාර්ගයේ ගමන් කරමින් සිටි ‘ආජි’ මෙසේ වෙඩි තබා මරා දමනු ලැබීය.

සිද්ධිය පිළිබඳ අපරාධ විමර්ශන පැවැරුණේ පෑලියගොඩ මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයට සහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයටය. ඊට අමතරව බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයද ‘ආජි’ ඝාතනයේ සැකකරුවන් කවුදැයි අවධානය යොමු කරන්නට විය.

පෑලියගොඩ පොලිසිය ආජිගේ ඝාතනය සම්බන්ධයෙන් කරන ලද විමර්ශනයේදී මුලින්ම අනාවරණය කරගත්තේ ආජි ද්විත්ව මිනිස් ඝාතනයක ප්‍රධාන සැකකරුවකු බවය. ඔහුගේ කණ්ඩායම අතින් ඝාතනය වන්නේ මට්ටක්කුලියේ චූටි උක්කුං නමැත්තාගේ මස්සිනා කෙනකු වන සජිත් ඉරෝෂණ නොහොත් ආනමාලු රංග සහ මොහොමඩ් ඉබ්‍රාහිම් යන දෙදෙනාය. ඒ 2019 වසරේ අගෝස්තු මස 15 වැනිදාය.

ඒ වනවිට “ආජි” සිටියේ මට්ටක්කුලිය කුඩු රොෂාන්ගේ කල්ලියේය.

මට්ටක්කුලියේ මත්කුඩු ජාවාරමේ ඒකාධිකාරිය වෙනුවෙන් මට්ටක්කුලිය සමිට්පුර චූටි උක්කුංගේ කල්ලිය සහ කුඩු රොෂාන්ගේ කල්ලිය අතර සිදුවන මරා ගැනීම් නිසා මේ වන විට අහිමි වූ ජීවිත ගණන පහළොවකට ආසන්නය.

චූටි උක්කුං සහ කුඩු රොෂාන් අතර මෙම මරා ගැනීම් දුර දිග යන්නේ 2014 ජූලි මස 12 වැනිදා රොෂාන්ගේ පියා ඝාතනය වීමත් සමඟය. මෙහිදී රොෂාන්ද තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබීය.

පියාගේ ඝාතනය රොෂාන්ට ඉහිලුම් නොදෙන්නක් විය. ඔහු ජාතික රෝහලේ ඇඳේ සිටියදීම චූටි උක්කුංට පාඩමක් ඉගැන්වීමට සැලසුම් සකස් කළේය. පියාගේ ඝාතනයට පසුදින චූටි උක්කුංගේ මව මරා දැමුණේ එහි ප්‍රතිඵලයක් ලෙසය.

රොෂාන්ගේ පියාගේ ඝාතනය සම්බන්ධයෙන් ඇරැඹි විමර්ශනයෙන් පසු චූටි උක්කුං ඇතුළු කිහිපදෙනකු පොලිස් අත්අඩංගුවට ගැනිණි. පසුව ඔවුන් රක්‍ෂිත බන්ධනාගාර ගත කළ අතර වැඩි කාලයක් යන්නට මත්තෙන් ඔවුහු ඇප මත එළියට ආහ.

හිරෙන් නිදහස්ව පැමිණි චූටි උක්කුං මට්ටක්කුලිය කුඩු ජාලය මෙහෙය වූයේ රොෂාන්ට එරෙහිවය. එහෙත් රොෂාන්ගේ කල්ලිය චූටි උක්කුංට කුඩු ජාවාරමේ ඒකාධිකාරිය ලබාදී පැත්තකට වී බලා සිටියේ නැත. ඒ රොෂාන්ට දෙමටගොඩ චමින්දගේ සහාය ලැබීම නිසාය.

මෙහි ප්‍රතිඵලයක් ලෙස 2019 ඔක්තෝබර් 23 වැනිදා සමිට්පුර පැවති එල්ලේ තරගයක ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වූ චූටි උක්කුං ගෝල බාලයන් සිවු දෙනකු සමඟින් වෙඩි තබා මරා දැමීමට කුඩු රොෂාන්ගේ කල්ලිය සමත් වූහ.

කෙසේ වෙතත් එම ඝාතන සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ (සී.සී.ඩී.) පැවැත්වූ විමර්ශනයකින් පසු කුඩු රොෂාන් ඇතුළු ඔහුගේ ගෝලයන් 8 දෙනකු ගිනිඅවි සමඟ අත්අඩංගුවට ගැනීමට එම නිලධාරීන්ට හැකි විය.

චූටි උක්කුංගේ ඝාතනයත් කුඩු රොෂාන් ඇතුළු කල්ලිය ඇතුළට යෑමත් සමඟ උක්කුංගේ පාර්ශ්වය මත්ද්‍රව්‍ය ජාවාරම අතට ගත්තේය.

මේ අතර 2019 ජුනි මස 26 වැනිදා හිරෙන් නිදහස ලබා කුඩු රොෂාන් එළියට එනවිට චූටි උක්කුංගේ පාර්ශ්වය මත්කුඩු ඒකාධිකාරය සියතට ගෙන සිටියහ. මෙය රොෂාන්ට එතරම් රිස්සුවේ නැත.

චූටි උක්කුංගේ පාර්ශ්වයෙන් ඊට පළිගත යුතු බව සිතූ රොෂාන් අගෝස්තු 15 වැනිදා සිය සැලසුම දියත් කළේය.

ඒ අනුව මාදම්පිටිය සුසාන භූමියේ පැවැති අවමඟුලකට සහභාගි වෙමින් සිටි චූටි උක්කුංගේ මස්සිනා කෙනකු වන ආනමාළු රංග සහ ඔහුගේ සගයකු මරා දමන්නේ කඩු සහ මන්නාවලින් කපා දමමිණි. ඝාතකයන් ආනමාළු රංග සහ ඔහුගේ ගෝලයා මරා දමන්නට පැමිණි ත්‍රිරෝද රිය සුසාන භුමියේ අතහැර දමා තිබියදී පොලිසිය සොයාගනු ලැබූ අතර ඒ ඔස්සේ කළ පරීක්‍ෂණයේදී එම ත්‍රිරෝද රිය රොෂාන්ගේ බිරියට අයත් බවට හඳුනා ගැනීමට නිලධාරීන්ට හැකිවිය.

ඒ ඔස්සේ කළ විමර්ශනයෙන් පසු කුඩු රොෂාන්ගේ සොහොයුරෙක් කැලණිය, වරාගොඩ ප්‍රදේශයේදීද, ඔහුගේ ගෝලයන් තිදෙනකු සමිට්පුරදීද පොලිසිය අත්අඩංගුවට ගනු ලැබීය. ඒ මන්නා සහ කඩු කිහිපයක්ද සමඟිනි.

ආනමාළු රංග චූටි උක්කුංගේ බිරියගේ සොහොයුරාය. රංගගේ  මරණය චූටි උක්කුංගේ බිරිය ඇතුළු ඔවුන්ගේ පාර්ශ්වයට දැඩි වේදනාවක් ගෙන දෙන්නක් විය.

පොලිසිය කළ විමර්ශනයේදී ආනමාළු රංගගේ සහ ඔහුගේ සමීපතමයාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් කිහිපදෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගත්තේය. ඒ අතර ‘ආජි’ද විය.

චූටි උක්කුන්ගේ ඝාතනයෙන් පසු ඔහුගේ කල්ලියට මාකිලංගමුවේ සංජීවගේ සහාය ලැබිණි. ඒ උක්කුංගේ බිරිය සමඟ ඇතිවූ හිතවත්කමක් මතය. ඇයට උදවු කරන්න සංජීව ඉදිරිපත් විය.

තම සැමියාත් සොහොයුරාත් රොෂාන්ගේ පාර්ශ්වය අතින් ඝාතනයවීමත් සමඟ චූටි උක්කුංගේ බිරිය සිටියේ දැඩි කෝපයෙනි. ඇගේ සහයට සංජීව ඊට පිළිතුරු සොයන්නට විය. ඒ අනුව පසුගිය මාර්තු මාසයේදී පුද්ගලයන් දෙදෙනකු මහර ප්‍රදේශයේදී වෙඩි තබා මරා දැමුවේ චූටි උක්කුං ඝාතනයට පළිගැනීමක් ලෙසය. එම ද්විත්ව ඝාතනය මාකිලංගමුවේ සංජීවගේ මෙහෙයීම මත සිදුව ඇති බව විමර්ශනයේදී අනාවරණය විය.

කාලය මෙසේ ගතවී රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටි ‘ආජි’ ඇතුළු කිහිපදෙනකු ඇපමත නිදහස්ව එළියට ආහ. ඒ බව විදෙස්ගතව සිටින මාකිලංගමුවේ සංජීව ඇතුළු ගෝලබාලයන්ට දැනගන්නට ලැබිණ.

ඒ අනුව ‘ආජි’ ඝාතනය කිරීමේ සැලසුම සකස් කෙරිණ. ඒ මෙහෙයුම දියත් කෙරුණේ වැල්ලේ සාරංගගේ උපදෙස් මතය. මාකිලංගමුවේ සංජීව වැල්ලේ සාරංග සහ රූබන් මේ වන විට සිටින්නේ එකටය. සංජීවගේ කීමට සාරංග මීට එක්වූයේ මත්කුඩු ආරවුලක් සම්බන්ධයෙන් ‘ආජි’ අතර ඇතිවූ හුටපටයක් නිසා බවට සැකකෙරේ.

කුමාරි සිටින්නේ මෝදර මුව‍ෙදාර උයනේය. ඇය වැල්ලේ සාරංගගේ අයිස් මත්ද්‍රව්‍ය විකිණීමේ යෙදෙන්නියකි. ඒ සඳහා ඇය නිතර දෙවේලේ වට්ස්ඇප් ඔස්සේ සාරංග අමතන්නීය.

“මට මේ බිස්නස් එක කරගෙන යන්න හොඳ කෙනෙක් සම්බන්ධ කරලා දෙන්නකෝ” ඇය සාරංගට කීවාය.

“හරි… මම ඒක කරලා දෙන්නම්. මටත් පොඩි උදව්වක් කරපන්”

“මොකක්ද?”

“මට අලුත් සිම් දෙකක් අරන් දීපන්…”

සාරංගගේ උපදෙස් මත ඇය අලුත් සිම්පත් දෙකක් මිලදී ගත්තාය. ඒ සිය හැඳුනුම්පත ඉදිරිපත් කරමින්ය.

පසුව සාරංගගේ උපදෙස් මත කුමාරි එම සිම්පත් දෙක රැගෙන ත්‍රීවීලරයකින් කැලණියට ගොස් සාරංග විසින් එවනු ලැබූ පුද්ගලයකුට එක සිම්පතක් භාරදී අනිත් සිම්පත රැගෙන මීගමුවට ගියාය. සාරංගගේ උපදෙස් මත එම සිම්පත මීගමුවේදී තවත් පුද්ගලයකුට ලබා දුන්නාය. ඒ ඉකුත් සැප්තැම්බර් මස 09 වැනිදාය. ගතවූයේ දින පහකි. ඒ ඉකුත් 14 වැනිදා රාත්‍රියයි. වැල්ලම්පිටියේ සිටි ‘ආජි’ට ලැබුණු දුරකථන ඇමතුමකි. ඇමැතුම දුන් පුද්ගලයා ‘ආජි’ට පවසා ඇත්තේ හෙරොයින් පාර්සලයක් ලබාදීම සඳහා හැකි ඉක්මනින් කැලණිය, පට්ටියහන්දියට පැමිණෙන ලෙසය. ඒ අනුව පට්ටියහන්දියට එන ආජි නාඳුනන තුවක්කුකරුවකු විසින් මහපාරේදීම ඝාතනය කරනු ලැබීය.

‘ආජි’ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළේ පෑලියගොඩ මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ සහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ය.

මෙවන් මිනිස් ඝාතන සිදුවීමෙන් අනතුරුව විශේෂ කාර්ය බළකා නිලධාරීන්ද ඒ සම්බන්ධයෙන් අවධානය යොමුකර සිටිය යුතු බව බළකායේ සේනාවිධායක නීතිඥ වරුණ ජයසුන්දර මහතා විසින් උපදෙස් ලබාදී තිබිණි. ඒ අනුව එම මෙහෙයුම් නිලධාරීන් බුද්ධි කොට්ඨාස නිලධාරීන් මෙන්ම මිනිස් ඝාතන සම්බන්ධයෙන් නිරන්තර අවධානය යොමුකර සිටිති.

පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් පරීක්‍ෂක ගුණතිලකට රහසිගත තොරතුරක් ලැබෙන්නේ ඔය අතරේය. ඒ ආජිට වෙඩි තැබූ ගිනිඅවිය පර්ගියුසන් පාරේ මහල් නිවෙසක පදිංචි කුමාරි නමැත්තියක් සන්තකයේ ඇති බවය.

පොලිස් පරීක්‍ෂක ගුණතිලක ඇතුළු කණ්ඩායමක් රහසිගතව මෙම කාන්තාව ගැන සොයා බැලූහ. එහෙත් ඒ වන විට ඇය මහල් නිවාසයේ නොවීය. දින කිහිපයක්ම ඇය පසුපස හඹගිය නිලධාරීන් ඉකුත් දින ඇය යක්කල ප්‍රදේශයේදී  අත්අඩංගුවට ගත්තේය. ආජි ඝාතනයෙන් පසු ඇය නුවරට පැනගොස් තිබිණි.

දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමෙන් පසු නිලධාරීන්ට ඇගේ නිවෙසට ගොස් ‘ආජි’ මරා දැමූ ගිනිඅවිය සහ ජීව පතොරම් හතර සොයා ගැනීමට හැකිවිය.

“අපි ඉන් පස්සේ මෙයාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කළා. එතැනදී මෙයා කිව්වා වැල්ලේ සාරංග එයාට කතා කරලා සිම් දෙකක් අරන් දෙන්න කිව්වා. එයා 9 වැනිදා ගිහින් ඒ සිම් දෙක සාරංග කියන දෙන්නෙක්ට දීල ආවා කියලා.

14 වැනිදා ‘ආජි’ මැරුවට පස්සේ සාරංග මට කතා කරලා බඩුවක් ගෙනත් දෙයි ඒක අරන් තියන්න කිව්වා කියලත් මෙයා කියනවා” විමර්ශන නිලධාරියෙක් සඳහන් කළේය.

ඇගෙන් හෙළිවුණු කරුණු කාරණා අනුව අඹු-සැමි යුවළක් සේදවත්ත ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

අඹු-සැමි යුවළේ සැමියා “චේ’ නමින් හඳුන්වන අයෙකි. පොලිස් විශේෂ කාර්ය බළකාය පවසන්නේ වැල්ලේ සාරංග සමඟ හිතවත්කමක් පවත්වාගෙන ගොස් ඇති ‘චේ’ නමැත්තා කුමාරිව සාරංගට හඳුන්වාදී ඇති බවය. ඉන් පසුව කුමාරි සාරංගගේ අයිස් ජාවාරමට සම්බන්ධ වී ඇති බවද විශේෂ කාර්ය බළකාය කියයි.

‘ආජි’ ඝාතනය කිරීමෙන් පසු තුවක්කුකරුවන් ආජිට වෙඩි තැබූ පිස්තෝලය සාරංගගේ උපදෙස් මත සැකකාර අඹු-සැමි යුවළට ලබාදී ඇති අතර පසුව ඔවුන් එම අවිය මුව‍ෙදාර උයන පදිංචි කුමාරිට ලබාදී ඇති බවත් එම අවිය කුමාරිට ලබාදීම සඳහා කොණ්ඩා කපන පුද්ගලයකුද සහභාගි වී ඇති බවත් විමර්ශන පැවැත්වූ නිලධාරියෙක් සඳහන් කළේය.

කොණ්ඩා කපන පුද්ගලයා මෝදර තට්ටු නිවාස සංකීර්ණයේදීත් අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

ප්‍රශ්න කිරීමේදී කුමාරි පවසන්නේ තමා ‘ආජි’ ඝාතනය ගැන කිසිදු දෙයක් නොදන්නා බවත් සාරංග දුරකථනයෙන් ලබාදුන් උපදෙස් මත තමා ක්‍රියාකළ බවත් පමණකි. එහෙත් විමර්ශන නිලධාරීන් ඇගේ කතාව පිළිනොගන්නා අතර ‘ආජි’ ඝාතනය සම්බන්ධයෙන් තොරතුරු ඇයද දැන සිටි බව ඔවුහු සැකකළහ.

කෙසේ වෙතත් ‘ආජි’ ඝාතනය සිදුකළ තුවක්කුකරුවන් සහ ඊට අනුබල දෙන්නවුන් අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් 4ක් යොදවා තිබූවද ‘ආජි’ ඝාතනය කර දින තුනක් ඇතුළත ඉකුත් 17 වැනිදා ආජි ඝාතනයට උපයෝගී කරගත් ස්වයංක්‍රිය ගිනිඅවිය, ඊට සම්බන්ධ වූ කාන්තාවන් දෙදෙනකු සහ පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකායේ ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට හැකිවීම පැසසිය යුත්තකි.

අත්අඩංගුවට ගත් 09 mm වර්ගයේ පිස්තෝලය විදේශීය නිෂ්පාදිත Norinco වර්ගයේ එකක් බව කියන විශේෂ කාර්ය බළකාය එම අවියට යොදන ජීව උණ්ඩ 04ක් සහ පතරොම් ගැබක්ද සොයාගත් බව කියයි. ඊට අමතරව සැකකරුවන් ළඟ තිබී රුපියල් ලක්‍ෂ 2කට අධික වටිනාකමින් යුත් හෙරොයින් ග්‍රෑම් 21ක් සහ මිලිග්‍රෑම් 121ක්ද, ජංගම දුරකථන 03ක්, ත්‍රිරෝද රියක්ද, කොළඹ ෆර්ගියුෂන් පාරේදී සහ වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට නිලධාරීන්ට හැකිව තිබිණි.

සැකකාරියන් සහ සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා පෑලියගොඩ පොලිසිය වෙත භාරදී ඇත. කෙසේ වෙතත් විශේෂ කාර්ය බළකායේ ඊළඟ ඉලක්කය වී ඇත්තේ ‘ආජි’ වෙඩි තබා මරා දැමූ තුවක්කුකරුවන් කොටුකර ගැනීමය. ඒ සඳහා කණ්ඩායම් කිහිපයක් යොදවා ඇතැයිද වාර්තා වේ.

විශේෂ කාර්ය බළකා අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග සහ උපදෙස් මත ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ජේ.ආර්. සේනාධීර, සහකාර පොලිස් අධිකාරි එච්.එම්. කීර්ති විජේසිංහ යන මහත්වරුන්ගේ මඟ පෙන්වීම යටතේ ගෝනහේන කඳවුර අණදෙන නිලධාරි ප්‍රධාන පොලිස් පරීක්‍ෂක එම්.එම්.එන්.කේ. මාරසිංහ මහතාගේ මෙහෙයවීම මත පොලිස් පරීක්‍ෂක එස්.ටී. ගුණතිලක ඇතුළු නිලධාරීන් මෙම වැටලීම සිදුකර තිබිණ.

කීර්ති මෙන්ඩිස්