නයිජීරියානුවන් 70ක් වැලිසර කඳවුරේ සිට ගහන ගේමක්

0
25

අන්තර්ජාලය ඔස්සේ මුදල් වංචා කර අධිකරණ නියෝග මත වැලිසර රැඳවුම් කඳවුරේ රඳවා සිටින නයිජීරියානු ජාතිකයන් එම කඳවුර තුළ සිටද මුදල් වංචා කර දෛනික වියදම් සඳහා අවශ්‍ය මුදල් පමණක් තබාගෙන අනෙක් මුදල් සියල්ල විද්‍යුත් මුදල් බවට පරිවර්තනය කර විදේශ රටවලට යොමු කිරීමේ ජාවාරමක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන ඇත. ආගමන විගමන දෙපාර්තමේන්තුව භාරයේ ඇති මෙම වැලිසර රැඳවුම් කඳවුරේ මේ වන විට නයිජීරියානු ජාතිකයෝ 70ක් පමණ රඳවා සිටිති.

මේ අතර පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ සමාජ මාධ්‍ය ඒකකය මඟින් අන්තර්ජාලය හරහා මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් නයිජීරියානු ජාතිකයන් 17 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීමේදී මෙම ජාවාරමේ සියලු තොරතුරු අනාවරණය වී තිබේ.

එමෙන්ම දෙහිවල, ගල්කිස්ස, වැල්ලවත්ත, කඩුවෙල, පිළියන්දල, අත්තිඩිය, බොරලැස්ගසුම, මහරගම, බෙල්ලන්තර සහ මීගමුව යන ප්‍රදේශවල මෙවන් විදේශ ජාතිකයන් 80 දෙනකු පමණ නේවාසිකව රැඳී සිටින බව අනාවරණය වී ඇති අතර ශ්‍රී  ලංකාව තුළ රෙදිපිළි ව්‍යාපාරයේ යෙදෙන්නන්, ක්‍රීඩා සමාජ නියෝජනය කරනු ලබන ක්‍රීඩකයන් ලෙස ලංකාව තුළ කෙටිකාලීනව රැඳී සිටින බව පවසා සංචාරක වීසා මත මොවුන් මෙලෙස රැඳී සිටින බව අනාවරණය වී ඇත.

මොවුන් ඇමරිකානු හා එංගලන්ත ජාතික වෛද්‍යවරුන්, ඉන්ජිනේරුවන් ලෙස පෙනී සිටිමින් ෆේස්බුක් සහ වට්ස්ඇප් හරහා මිතුදම් ගොඩනඟාගෙන නොයෙකුත් ආකාරයේ මුදල් වංචා මෙන්ම ශ්‍රී  ලාංකික කාන්තාවන් සමඟ ප්‍රේම සබඳතා පවත්වා ඔවුන්ගේ නිරුවත් පින්තූර ලබාගෙන ඒවා අන්තර්ජාලයට මුදා හරින බවට තර්ජනය කර මුදල් ලබා ගන්නා බවද කියති.

මෙවැනි වංචනික ක්‍රියාවන් කිරීම සම්බන්ධයෙන් මොවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන නයිජීරියානු ජාතිකයන්ට නඩු කටයුතු සම්බන්ධයෙන් නීතිඥ සහාය ලබාදීම සඳහා එකම නීතිඥ කණ්ඩායමක් පෙනී සිටින බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නිරීක්ෂණය වී ඇතැයි ද කියති.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පරිගණක අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ලකී රන්දෙණිය මහතාගේ අධීක්ෂණය මත විමර්ශන කෙරේ. 

කීර්ති මෙන්ඩිස්