දේශසීමාවන්  අතික්‍රමණය කළ කාශ්මීරයේ ප්‍රේමය Sita Ramam

0
178

ලස්සනම ලස්සන ආදර කතාවල කුමාරවරු විතරද ආදරේ වෙනුවෙන් රජකම් අත්හැරියේ?  ඉතිහාසය පුරාවටම ලියවුණේ ආදරේ ළඟ ගැහැනුන්ගේ චපලකම. පිරිමින්ගේ උත්තරීතරවය. ඉතින් ගැහැනියකට බැරිද හැමදේම අත්හැරලා, ආදරේ විතරක්ම අල්ලා ගන්න! මං විශ්වාස කරනවා හරියටම ආදරේ අ¾දුනන මිනිස්සු  තමන්ගේ ආදරේ ළඟදි ගැහැනු – පිරිමි භේදයක් නැතුව, ආදරය තමන්ගේ ජීවිතේ කර ගන්නවයි කියලා. ඉතින් මේ කතාව එහෙම කතාවක්. රජ කුමරියකගේ ආදර අන්දරයක් ගැන දිගහැරෙන, නැරඹිය යුතුම විදිහේ සිනමාපටයක්.

සීතා මහාලක්ෂ්මි, එහෙමත් නැත්නම් නූර් ජහාන් මුස්ලිමානු කුමරිය මාසෙකට රුපියල් 600ක් හම්බ කරන සෙබළෙක් වෙනුවෙන් හැමදෙයක්ම අත්හැරලා ආව මහා රාණිය. එතකොට මේ ආදර කතාවේ අනෙක් පාර්ශ්වය ලුතිනන් රාම්. අනාථයෙක් විදිහට හංවඩු ගැහුණු ඒත් මිනිසුන් වෙනුවෙන් ජීවිතේ පවා අත්හැරීමට සූදානම් හිත හොඳ ඉන්දීය හමුදා සෙබළෙක්. ඉතින් කාත් කවුරුත් නැති රාම්ට අහම්බෙන් ලැබෙන ලියුමකින්,  ඔහුගේ ජීවිතය මොන පැත්තකට පෙරළෙනවා ඇතිද? 

එකෝමත් එක කාලෙක ලියැවෙන සුරංගනා කතාවක් තරමටම ඒ ආදරේ ලස්සන වුණාට මේ සමාජේ කවදත් කොතැනත් බොහොම විසකුරුයි. දුප්පත් – පොහොසත්කම්, සමාජ තත්ත්වය විතරක් නෙවේ මේ ආදරේට ආගමත් එක බලපෑමක්. ඉතින් ඒ හැම බාධකයකටම මේ යුවළ කොහොම නම් මුහුණ දේවිද? ඒක පැය දෙකයි මිනිත්තු 3ක් වැය කරලා දැන ගත්තට පාඩු නැති විදිහේ රහසක්. රහසක් කීවට රහස් ගොඩක එකතුවක්.

පසුගිය අගෝස්තු 5 වැනිදා තෙලිඟු රිදී තිරයේ ආකර්ෂණය දිනාගත් Sita Ramam, Padi Padi Leche Manasu චිත්‍රපට අධ්‍යක්ෂ Hanu Raghavapudiගේම නිර්මාණයක් වෙනවා. එහි රාම් ලෙස Dulquer Salmaan ද  සීතා ලෙස Mrunal Thakur ද රංගන දායකත්වය සපයනවා. ඒ වගේම චිත්‍රපටයේ තවත් රහසක් මිස් අෆ්‍රීන්! කිසිම කෙනකුට යටත් නොවන ආඩම්බර කේන්තිකාරී Rashmika Mandana මේ ත්‍රිත්වයේ රංගනය චිත්‍රපටය තරමටම රසවත්.

Sita Ramam සාර්ථකත්වයේ ඊළඟ අංග දෙක විදිහට මං දකින්නේ cinematography සහ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය. ඒවා  සිදුකොට ඇත්තේ පිළිවෙළින් P.S. Vinod සහ Vishal Chandrasekhar විසිනි. මීට අමතරව නූර් කුමරියගේ නර්තනය රාජ මාලිගාව තුළ දර්ශන, සීත හිම වැටෙන කාශ්මීරය සිනමාලෝලීන්ගේ සිත් තව තවත් ආකර්ෂණය කොට ගන්නා බව නම් නොරහසක්.

චිත්‍රපටයේ සාර්ථකත්වය නිසාම මෙය සත්‍ය සිදුවීමක් ඇසුරින් සිදුකරන ලද නිර්මාණයක්ද යන පැනය බොහෝ අවස්ථාවලදී නිෂ්පාදක කණ්ඩායම වෙත යොමු වී තිබෙනවා.

නමුත් මෙය සත්‍ය සිදුවීමක් ඇසුරින් කරන

ලද නිර්මාණයක් නොවන බවත් එය චිත්‍රපට අධ්‍යක්ෂ Hanu Raghavapudi 2007 වසරේ කියැවූ පොතක තිබූ විවෘත නොකරන ලද ලියුමක සිදුවීමක් ඇසුරින් සිදුකරන ලද නිර්මාණයක් බව සඳහන් වෙනවා.

ඉතින් මෙතෙක් කාලයක් පුරාවටම තෙලිඟු සිනමාවේ බිහිවූ නිර්මාණ අතරින් සුපිරිම ගණයේ නිර්මාණයක් ලෙසට Sita Ramam චිත්‍රපටය හ¾දුන්වා දිය හැකියි. මෙම චිත්‍රපටය ජාතික සම්මාන දිනාගනු ඇතැයි තෙලිඟු සිනමාවේ ප්‍රවීණ නළුවෙක් සහ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්ද වන එසේම ඉන්දියානු හිටපු සංස්කෘතික සහ සංචාරක අමාත්‍ය Chiranjeevi මාධ්‍යයට අදහස් දක්වා තිබෙනවා.

ඉතින් මේ සුන්දර සිනමාත්මක අත්දැකීම ලබා ගන්නට ආරාධනා කරන ගමන්ම තෙලිඟු සිනමාව පැත්තෙන් අදට සමුගන්නවා.

විමූ රත්නායක