දෙහිවල ‘බන්දුල’ මියයයි

0
29

දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ අලි ඇතුන් කණ්ඩායමේ උසම හා ජේ‍යෂ්ඨතම සාමාජිකයා වූ ‘බන්දුල’ නම් හස්තියා ඉකුත් සිකුරාදා අලුයම ජීවිතක්ෂයට පත්ව ඇත.

මේ හස්තියා වයස් ගත වීම හේතුවෙන් මරණයට පත්ව ඇති බවත් සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය තිලක් ප්‍රේමකාන්ත ඉරිදා ‘මව්බිම’ට පැවැසීය.

සාමාන්‍යයෙන් වයස අවුරුදු 50ක පමණ ආයු කාලයක් හිමි ආසියානු අලි ගෘහාශ්‍රිතව සිටියදී උපරිම ආයු කාලය අවුරුදු 70ක් පමණ ගත කරන බව මින් පෙරදී වාර්තා වුවත් දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ විසූ ‘බන්දුල’ හස්තියා  අවුරුදු 79ක උපරිම ආයු කාලයක් ගත කළ බවද ඔහු කීය.

හස්තියාගේ සිරුර සංරක්ෂණය කිරීමට ඉතා විශාල වියදමක් දැරීමට සිදුවන නිසා පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව ඉකුත් සිකුරාදා (23දා) සත්ත්වෝද්‍යාන පරිශ්‍රයේම හස්තියාගේ සිරුර භූමදානය කිරීමට කටයුතු කළ බවද හෙතෙම සඳහන් කළේය.

වයස්ගත වීම හේතුවෙන් මතුවුණු අසනීප තත්ත්වයකින් බන්දුල හස්තියා පෙළී ඇති අතර සත්ත්වෝද්‍යාන පාලනාධිකාරිය, පශු වෛද්‍යවරුන් හා එක්ව සත්ත්වයාගේ සුව පහසුව සලසාලීමට හා සෙත් පිරිත් සජ්¿ධායනා කිරීමට කටයුතු යොදා තිබූ බව එහි ප්‍රකාශකයෙක් පැවැසීය.

ඉකුත් සිකුරාදා අලුයම 2ට පමණ එම සත්ත්වයා ජීවිතක්ෂයට පත්ව ඇති බවද හෙතෙම කීය. 

1943දී අනුරාධපුරයේදී උපත ලද බව කියන මේ පැටවා අලි රංචුවෙන් අතරමංව සිටියදී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇත. එවකට වයස අවුරුදු තුනක් පමණ වූ මේ පැටවා 1949දී දෙහිවල සත්ත්වෝද්‍යානයේ අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කළ මේජර් ඕබිරි එන්. වයිමන් නිල වශයෙන් සත්ත්වෝද්‍යානයට භාර ගෙන තිබේ.

උසින් අඩි 09ක් පමණ වූ මේ හස්තියා දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයෙහි අලි ඇතුන් කණ්ඩායමෙහි උසම සාමාජිකයා වූ අතර ශ්‍රී ලංකාවෙහි වර්තමාන හීලෑ අලි-ඇතුන් අතර සිටින උසින් වැඩිම අලි-ඇතුන් කිහිපදෙනා අතරද විය.

සවනි ශේශාධි