දිනකට පැය 10ක් ලයිට් කැපෙයිද?

0
12

මෙරට මහත් ආන්දෝලනයකට තුඩු දුන් ගල් අඟුරු ටෙන්ඩරය කැබිනට් මණ්ඩලය විසින් අවලංගු කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර කියයි. ඉකුත් 22 වැනිදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමේදී මීට අදාළ තීරණය ගෙන ඇත.

ඉකුත් අගෝස්තු 25 වැනිදා ප්‍රදානය කරන ලද මෙම ගල් අඟුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් ශේ‍ර්ෂ්ඨාධිකරණයට එක්තරා පාර්ශ්වයක් විසින් පෙත්සමක්ද ඉදිරිපත් කොට ඇති අතර මෙලෙස මීට නීතිමය මැදිහත්වීමක් සහ ගෙවීම් සම්බන්ධයෙන් ඇති වූ අවිනිශ්චිතතාව හේතුවෙන් අදාළ ටෙන්ඩරය ක්‍රියාත්මක කිරීමට නොහැකි බවද අදාළ ගල් අඟුරු සැපයුම්කරු අමාත්‍යාංශය වෙත ලිඛිතව දැනුම් දී ඇති බවද අමාත්‍යවරයා පවසයි.

මේ සම්බන්ධයෙන් අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කරන්නේ දිගුකාලීන ණය පදනමක් මත ගල් අඟුරු සැපයීමට හැකියාව ඇති ඕනෑම සුදුසු සැපයුම්කරුවකුට ඉඩ සලසන නව ටෙන්ඩරයක් ලංකා ගල් අඟුරු සමාගම විසින් ප්‍රකාශයට පත් කරන බවය.

මෙම ගල් අඟුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක සඳහන් කළේ ඉකුත් මාසයේ අඩුම ලන්සුව ආ සමාගමට මෙම ගල් අඟුරු ටෙන්ඩරය ලබාදුන් බවයි. එසේම මෙම ටෙන්ඩරය හේතුවෙන් කිසියම් පාර්ශ්වයක් සිය මූලික අයිතිවාසිකම් කඩ වුණා යැයි පවසමින් අධිකරණයේ නඩුවක් පනවා ඇති

බවත් එසේම මෙම ටෙන්ඩරයට සම්බන්ධ නොවුණු පාර්ශ්වයන් එයින් විශාල ක්‍රියාදාමයක් හරහා මීට බාධක පමුණුවමින් එම ගල් අඟුරු සැපයුම් ඔවුන්ට ලබා ගැනීම සඳහා විශාල කාර්තව්‍යයක් කරගෙන යන බවද මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක කියා සිටී. තවද මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් හෙතෙම වැඩිදුරටත් මෙම විදුලි අර්බුදය සම්බන්ධයෙන් සඳහන් කළේ ගල් අඟුරු තොගය සඳහා ඇණවුමක් අද හෙටම ඉදිරිපත් නොවුණහොත් ලබන මස 28 වැනිදායින් පසුව දිනපතා පැය 10ක පමණ විදුලි කප්පාදුවක් සඳහා යෑමට සිදුවන බවයි. 

ජාතික විදුලිබල පද්ධතියට සුවිසල් දායකත්වයක් ලබා දෙන නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයෙන්, ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 900ක ධාරිතාවක් ලබා දෙන අතර ගල් අඟුරු ප්‍රශ්නය උග්‍ර වුවහොත් ඔක්තෝබර් මාසයෙන් පසුව මෙම බලාගාරය මෙලෙස අක්‍රිය විය හැකි බවද ලංකා විදුලිබල මණ්ඩල ජේ‍යෂ්ඨ නිලධාරියකු ‘මව්බිම’ට අදහස් දක්වමින් සඳහන් කළේය.

මෙරට මුහුණ දෙන උග්‍ර ඉන්ධන අර්බුදය හමුවේ මෙරට ප්‍රමුඛ ඩීසල් බලාගාර සියල්ල ඇනහිට ඇති බවත් මෙලෙස කැලණිතිස්ස හා සොජිම් බලාගාරය යන ඩීසල් බලාගාර ද්විත්වය අක්‍රිය වීමෙන් පමණක් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 250ක් අහිමි වී ඇති බවද එම ජේ‍යෂ්ඨ නිලධාරියා පැවැසීය.

නැප්තා ඉන්ධන නොමැති වීමෙන් කැලණිතිස්ස සංයුක්ත බලාගාරය අක්‍රිය වී ඇති බවත් ඉන් මෙගාවොට් 150ක් ජාතික විදුලිබල පද්ධතියට අහිමි වී ඇති බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

චාමර අමරසූරිය