ජාතික සභාවේ ඉන්නේ යටි ඩීල් කරුවන්

0
27

ජාතික සභාවට පත්කර ඇත්තේ  ආණ්ඩුවට සම්බන්ධ “යටි ඩීල්කරුවන්”  බහුතරයක්  බව ජනතා විමුක්ති  පෙරමුණ  නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක “ඉරිදා මව්බිම”ට  පැවැසීය.

සර්වපාක්ෂික  ආණ්ඩුවක් පත්කර ගැනීම අසාර්ථක වූ තැන ජාතික සභාවක් කියා දවටනයක් යොදා ඉන් ජනතාව මුළා කර ඇතැයිද ජවිපෙ නායකයා කීය.

ජාතික සභාවෙ මූලික හරය කෙටි, මධ්‍යම හා දිගුකාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමට සියලු පක්ෂවල එකඟතාවෙන් මඟ පෙන්වීම වුවත් වත්මන්  ජාතික  සභාවෙන් එය ඉටුනොවන බවට මන්ත්‍රිවරයා චෝදනා කළේය.

“මේ මතුව තිබෙන ආර්ථික අර්බුදයට විස¾දුම් සෙවීම සඳහා අප විසින් ප්‍රතිඵලදායක සර්වපාක්ෂික ආණ්ඩුවක් අවශ්‍ය බව මුලින්ම පැවසුවා. ආණ්ඩුව එයට මුළුමනින්ම පයින් ගසා රනිල් ප්‍රමුඛ රාජපක්ෂලා ආණ්ඩුවක් හැදුවා. ඊට පස්සේ රනිල් සර්වපාක්ෂික ආණ්ඩුවක් හදනවා කිව්වට ඒකට කිසිවෙක් සම්බන්ධ වුණේ නෑ. දැන්  ජාතික සභාවට කට්ටිය  පත්කරගෙන තිබෙනවා. හැබැයි ඊට කලින්ම ආණ්ඩුව  කැබිනට් මණ්ඩලයක් හදලත් ඉවරයි. දැන් අපිට ජාතික  සභාවකට එන්නලු. ඒ වගේම වංචනිකයන්, දූෂිතයන් ආරක්ෂා  කරලා, අරගලකරුවන් මර්දනය කරලා ජාතික සභාවක් ගොඩනැඟීම  විගඩම්කාරි වැඩක්. මේකට අපි එකඟ නෑ” යැයිද  හෙතෙම  වැඩිදුරටත් කීය.

අනුරාධා හේරත්