ජනතාව මුළාකළ සංස්කෘතික දේශපාලනය

0
13

ශ්‍රී  ලංකාව වැටී ඇති අගාධයෙන් ගොඩ ගත හැක්කේ පාර්ලිමේන්තුවට දූෂිතයන්ගෙන් හා සොරුන්ගෙන් තොර අවංක තරුණ නායකත්වයක් පත්කර ගැනීමෙන් බව අරගලයට සම්බන්ධ වූ පිරිස් විශ්වාස කරති. ඒ සඳහා පවතින්නා වූ ඒකායන මාර්ගය හැකි ඉක්මනින් මැතිවරණයක් ලබා ගැනීම බව ඔවුන් මේ වනවිට නිගමනය කර ඇති බවක් පෙනේ. පවතින පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් මැතිවරණයකට දින නියම කරවා ගැනීමත් දෙසට අරගලයේ  සටන්පාඨ යොමුවී තිබෙන බව පසුගිය දිනවල දැකගත හැකි විය.

ජවිපෙ ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂද ආණ්ඩුවෙන් විතැන් වී විවිධ සන්ධාන ගොඩනඟා ගත් දේශපාලන කල්ලිද, මැතිවරණයක අවශ්‍යතාව අවධාරණය කරමින් සිටී. පොහොට්ටුවේ 3/2 බලය සහිත ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු ගිලටීනය බිඳ දැමිය හැක්කේ මහ මැතිවරණයක් තුළින් පමණක්ය යන්න එම පක්ෂ හා කණ්ඩායම් විශ්වාස කරති.

දැන් විපක්ෂයේ වාඩිවී සිටින පොහොට්ටුවේ සභාපති හිටපු ඇමැති ජී. ඇල්. පීරිස්  ප්‍රකාශ කරන්නේ තම පක්ෂය රනිල් වික්‍රමසිංහට ඡන්දය ප්‍රකාශ කිරීමේදී කොන්දේසි දෙකකට එකඟ කරවා ගත් බවය. පළමුවැන්න වර්තමාන පාර්ලිමේන්තුවේ කාලය අවසන් වන අන්තිම දිනය දක්වාම පාර්ලිමේන්තුව විසුරුවා නොහැරිය යුතු බවය.

දෙවැන්න පොහොට්ටුවේ මන්ත්‍රිවරු සියලු දෙනාටම ඇමැති තනතුරු පිරිනැමිය යුතු බවය. ජනාධිපති  රනිල් දෙවැන්න මේ වන විටත් ඉටු කර තිබේ. කවර අන්දමේ දුෂ්කරතාවලට මුහුණ දුන්නත් ජනතාව මේ තත්ත්වය දරාගෙන සිටින බව පිළිගත යුතුය. පළමු එකඟතාව බිඳ දැමීමට නම් මහ මැතිවරණයක් ඉල්ලා සිටින සියලු පාර්ශ්වයන් ඒකාබද්ධ පොදු සටන් ක්‍රියාමාර්ගයකට අවතීර්ණ විය යුතු වේ.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සාම්ප්‍රදායික දේශපාලන බල කඳවුරුවලට තහවුරුව තිබෙන දේශපාලන බලය පරාජය කළ හැකිද? පරාජය කළ යුත්තේ කෙසේද? යන්න පිළිබඳව සිස්ටම් චේන්ජ් ඉල්ලා සිටින තරුණ පරපුර පුළුල් හා ගැඹුරු අධ්‍යයනයක් සිදුකර නැති බව ඉතා පැහැදිලිය. ඔවුන් විශ්වාස කරන්නේ වර්තමාන පාලකයන් විසින් ජනතාව මත හෙළා ඇති දැවැන්ත ආර්ථික පීඩනය නිසාම ඉදිරි මැතිවරණයකදී ජනතාව සියලු දුෂ්ට බලවේග පාර්ලිමේන්තුවෙන් පිටතට ඇද දමා නව දේශපාලන ව්‍යුහයක්   ස්ථාපිත කරනු ඇත යන්නය.

කිසිසේත්ම එය එසේ නොවේ. ධනේශ්වර පන්තියේ කුලකයන් විසින් වරෙක බෙදෙමින්ද, වරෙක සමපාත වෙමින්ද අල්ලාගෙන සිටින දේශපාලන බලය නිදහසින් පසු මේ දක්වා ඔවුන් අත පැවැතියේ ඊට උපස්ථම්භක වූ කාරණා සමුදායක් හේතුවෙනි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන, මැතිවරණ නීති, අණපනත්, ඡන්ද ක්‍රමය හැරුණුවිට බලය එක පන්තියක් අත පැවැතීමට බලපාන කරුණු රාශියක් තිබේ. ඒවා ඉතා ගැඹුරින් අධ්‍යයනය කළ යුතුය. මෙහිදී සංස්කෘතික දේශපාලනය ද විශේෂිත ස්ථානයක් හිමි කරගනී.

මැතිවරණ බල හුවමාරුවේදී ආර්ථික කරුණු දෙවැනි තැනට දමා සංස්කෘතික කාරණා මුල් තැනට පැමිණි මෙරට දේශපාලන සන්දර්භය තුළ අතිශයින් සාමාන්‍ය සිදුවීමකි. සිංහලය රාජ්‍ය භාෂාව කිරීම, රට බෙදෙන වෑයම පැරදවීම, බටහිර කුමන්ත්‍රණ පරාජය කිරීම, බුද්ධාගමට මුල්තැන දීම, වැනි  කාරණා මැතිවරණ වකවානුවකදී පොදු ආර්ථික කරුණු  යටපත් කර ඉදිරියට පැමිණේ. ප්‍රධාන දේශපාලන ධාරාවන් බොහෝ මැතිවරණ දිනා ගත්තේ ඉහත කරුණු උත්කර්ෂයට නැංවීමෙන් බව අමතක නොකළ යුතුය.

පසුගිය කාලය තුළ මේ රටේ කිසිදු තරුණ කණ්ඩායමකට දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරීමට  මහින්ද දේශප්‍රියගේ මැතිවරණ කොමිසම ඉඩ දුන්නේ නැත. එසේ කරන ලද්දේ දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමේ නෛතික රාමුව තුළම පමණක් නොවේ. දීර්ඝ කාලයක් ජනතාව අතර සක්‍රිය දේශපාලන ක්‍රියාකාරකම් සිදුකළ තරුණයන්ගේ සංවිධාන දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරීමට ඉල්ලුම් කළ සෑම අවස්ථාවකදීම දීර්ඝ කාලයක් එම නිලය අල්ලාගෙන සිටි මහින්ද දේශප්‍රිය අනීතික කරුණු මතු කරමින් එම ඉල්ලීම් නොසලකා හැරියේය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ තරුණ හඬ ඉස්මතු නොවීමට එයද ප්‍රබල හේතුවකි.

දිස්ත්‍රික්ක පදනම් කරගත් මැතිවරණ ක්‍රමය, මනාප ක්‍රමය ඉවහල් වන්නේ පවතින ගතානුගතික දේශපාලන සම්ප්‍රදායටය. පවතින ඡන්ද ක්‍රමය යටතේ පාර කැපී තිබෙන්නේ කෝටි ගණනින් මුදල් වියදම් කරන දූෂිතයන් සඳහාය. පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන්ට රජය සමඟ ව්‍යාපාර කරන්නට තිබූ තහංචිය පසු කලෙක ඉවත් කෙරිණි. අද සිටින මැති ඇමැතිවරු බොහෝ පිරිසක් ප්‍රසිද්ධියේ රජය සමඟ බිස්නස් කරමින් මහජන මුදල් ගසා කෑ උදවිය වෙති. ඔවුහු කළු සල්ලි සුදු කරන්නෝය. මැතිවරණයකදී ජනතා ව්‍යාපාරයකට යුද්ධය තිබෙන්නේ ඔවුන් සමඟය.

ශ්‍රී ලංකාවේ මැතිවරණයකදී ප්‍රධාන සාධකය වන්නේ ජනතාවගේ සාගින්දර නොවේ. පසුගිය දශක කිහිපයේම මෙරට ජනතාව ඡන්දය පාවිච්චි කළේ ජාතිය, ආගම හා යුද්ධය පදනම් කොටය. හිටපු ජනාධිපතිවරු, අගමැතිවරු මහජන මුදල් වියදම් කරමින් මල්වට්ටි රැගෙන රට පුරා පන්සල්වල කරක් ගැසුවේ ඒ සඳහාය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ටයිකෝට් ගලවා දමා සුදු වතින් සැරසී මල් වට්ටියක් රැගෙන අනුරාධපුර පූජා භූමියේ සන්දර්ශන රඟපෑවේ ඔහු ඒ බව හොඳින් දන්නා නිසාය. එවැනි තක්කඩි ගේම්වලින් රටේ මිනිසුන් පහසුවෙන් රැවටිය හැකි බව පළපුරුදු දේශපාලකයෝ හොඳින් දනිති.

මැතිවරණයකදී  බරපතළ ලෙස බලපවත්වන අනෙක් සාධක වන්නේ ජාතිය හා කුලයයි. ප්‍රධාන දේශපාලන පක්ෂ කුල සාධකය මත පදනම්ව රට බෙදාගෙන තිබේ. මැතිවරණ නිර්ණ කොමිෂන් සභාවේ වාර්තාව අනුමත නොවන්නට එකම හේතුව යට කී කුල බෙදීම තමන්ට වාසි සහගත වන අන්දමට යොදා ගැනීමේ වුවමනාවය. මැතිවරණයකදී කුල සාධකය අමතක කොට ජයග්‍රහණය අපේක්ෂා කළ නොහැකි තැනට රට පත් කර තිබේ.

ඉන්දියාවේ කුල පීඩනය තරම්ම මතුපිටට නොපෙනුණද ලංකාවේ කුලය සලකා තමන්ගේ කමට ඡන්දය පාවිච්චි කිරීම බරපතළ පසුගාමී සමාජ ලක්ෂණයක් වී තිබේ. එජාප-ශ්‍රීලනිප ප්‍රධාන පක්ෂ පමණක් නොව වමේ ව්‍යාපාරයද මෙලෙස ජාතිය හා කුලය මැතිවරණ දිනීම සඳහා සාධකයක් වශයෙන් ඉතිහාසය පුරාම යොදා ගත්තේය. සම සමාජ පක්ෂය මෙන්ම ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයද විශේෂයෙන් දකුණු පළාතේ මැතිවරණ ආසන දිනා ගැනීමට කුල සාධකය යොදා ගත්තේය. අද ද යොදා ගනිමින් සිටී. විශේෂයෙන් දකුණු පළාතේ බොහෝ              ආසනවල මැතිවරණ ප්‍රතිඵල විග්‍රහ කිරීමේදී කුලය පෙරට පැමිණ ඇති සැටි ඉතා පැහැදිලිව දැකගත හැකිය. එය අපකීර්තිමත් තත්ත්වයකි. නමුත් මහපොළොවේ යථාර්ථය එයයි.

යටත්විජිත ආණ්ඩුව 1917දී මෙරට ප්‍රධාන වතු හිමි සිංහලයන්ගේ කුලය සම්බන්ධ වාර්තාවක් පිළියෙල කර තිබීමෙන් කුල සාධකය කෙතරම් බරපතළ තත්ත්වයක පැවැතියේද යන්න සිතාගත හැකිය.

එහි දැක්වෙන ආකාරයට එවකට ලංකාවේ වතු වැඩිම සංඛ්‍යාවක් අයත්ව තිබෙන්නේ කරාව කුලයටය. කරාව වතු 62 = 57.4%, ගොවිගම             39 = 36.1%, සලාගම 05 = 4.6%, නවම්දන්න 1 = 0.9% , දුරාව 1 = 0.9% නිශ්චිත වතු මුළු ප්‍රමාණය 108 කි. අවිනිශ්චිත 17කි. සිංහලයන් සතුව පැවති මුළු වතු ප්‍රමාණය 125කි.

පුද්ගලයන් වශයෙන් වුවද, පවුල් වශයෙන් වුවද ජාතික ප්‍රභූ පෙළැන්තියේ සිංහල කොටසට අයත් වූ පිරිසෙන් වැඩි සංඛ්‍යාවක් පහත රැටියෝ වූහ. එකල භාණ්ඩ හා සේවා ආර්ථිකයේ වැඩි ප්‍රමාණයක් අල්ලාගෙන සිටියේ කරාව, දුරාව සහ සලාගම යන කුල විසිනි. මිනිරන් ව්‍යාපාරය, වෙළෙඳ භෝග වගාව සහ වෙළෙඳාම ඔවුන් සතු විය. අරක්කු කර්මාන්තය සහමුලින්ම පැවැතියේ කරාව කුලයේ ආධිපත්‍යය යටතේය. වැවිලි කර්මාන්තයේ සහ නාගරික දේපළවල සෑහෙන ප්‍රමාණයක් ඔවුන් සතු විය. ඔවුන්ගේ වෙළෙඳ කටයුතු නැඟෙනහිර වෙරළ දක්වාද, මධ්‍යම ක¾දුකරය දක්වාද, 19 සියවසේ අග භාගයේදී සහ 20 වැනි සියවසේ මුල් භාගයේදී ඉන්දියන් සාගරයේ ඔස්සේ නැඟෙනහිර හා මධ්‍යම අප්‍රිකාව, සිංගප්පූරුව දක්වාද පැතිර තිබිණි.

කෘෘව් – මැකලම් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ තුළින් 1911දී ව්‍යස්ථාදායක සභාවේ උගත් ලාංකිකයන්ගේ ආසනය සඳහා අපේක්ෂකයකු තෝරා ගන්නා අවස්ථාවේ කරාව කුලයේ උදවිය ‍ෙදාස්තර මාකස් ප්‍රනාන්දුට ඡන්දය පාවිච්චි කළහ.

ගොවිගම  අධිපති පන්තියත් –  කරාව කුලයේ ප්‍රභූ පෙළැන්තියත් අතර දිගු කලක් තිස්සේ පැවැති  ගැටුම පුපුරා ගිය අවස්ථාවක් ලෙස එය සැලකිය හැකිය. කරාව කුලයේ ‍ෙදාස්තර මාකස් ප්‍රනාන්දුට ඡන්දය දීමට ගොවිගම කුලයේ උදවිය සතුටු නොවීය. පොන්නම්බලම් රාමනාදන් ඉබේම ගොවිගම කුලයේ නියෝජිතයා බවට පත් විය. සිංහල ප්‍රදේශවල පොන්නම්බලම් රාමනාදන්ගේ මැතිවරණ කටයුතු සංවිධානය කරන ලද්දේ දැඩි කරාව විරෝධී මතධාරීන් වූ, වෛද්‍යාචාර්ය ජෝන් ආටිගල, ජෝන් අභයකෝන්, මුදලි, සහ ඔබේසේකර පවුලේ උදවියයි. ජයවර්ධන සහෝදරවරුන්ද එදා කරාව කුලයට විරුද්ධව නැඟී සිටියහ.

පහතරට ගොවිගම පිරිස එක්සත් වූ බලවේගයක් නොවීය. ඔබේසේකර, බණ්ඩාරනායක, පීරිස් සිරිවර්ධන, තිලකරත්න ආදී පාරම්පරික රදළ පවුල් සාම්ප්‍රදායික නම්බුකාර තත්ත්වය ගැන උදම් වෙමින් ඉහළ  සමාජ තත්ත්වයක් පවත්වා ගැනීමට සමත්ව සිටියහ. තමන්ට විරුද්ධ වූ කරාව, දුරාව, සලාගම, වහුම්පුර යන කුලවල පිරිස තරම්ම වූ තර්ජනයක් අලුතින් ධනවත් වූ ගොයිගම පවුල් කෙරෙන්ද තමන්ට එල්ල වූ බැවින් ඩී.එස්. සේනානායක, බණ්ඩාරනායක, හේවාවිතාරණ , ඩී. බී. ජයතිලක ඩී. ආර්. විජේවර්ධන ආදීන් ගොවිගම  පවුල්වලින් පැවත එන අයටද විරුද්ධ වූහ.

මෙරට දේශපාලනයේ ඉදිරි පෙළ සාමාජිකයන් අතර   සීතල කුල ගැටුම අද දක්වාම පවතී. වාමාංශික ව්‍යාපාරය ඇතැම් අවස්ථාවන්හි රදළ ප්‍රභූන්ගේ ගති පැවතුම්වලට පහර දුන්නද ඔවුන් දේශපාලනයේදී කුල ගැටුම් සමනය කිරීම සඳහා කටයුතු කළේ නැත. එය දිය යට ගින්දර මෙන් අද දක්වා පැවැතීමට මෙම වංචනික දේශපාලනය හේතු වී තිබේ.

රදළයන්ට ධනපතින්ට කොන්ද නවන දීන භාවයක් මෙරට මිනිසුන්ගේ ජාන තුළ සැඟවී තිබේ. භික්ෂුන් වහන්සේලා කාමසුඛල්ලිකානුයෝගී ජීවිත ගත කිරීම දන්දීමේදී හෝ වන්දනාමාන කිරීමේදී  අදාළ කර නොගන්නා සේම, දේශපාලකයෝ මහජන දේපොළ කෝටි ප්‍රකෝටි ගණනින් සොරාකෑම ඔවුන්ට ඡන්දය ප්‍රකාශ කිරීමේදී අදාළ කර නොගැනීමට මේ රටේ බහුතර ජනතාව පුරුදුව සිටිති. ඡන්දදායක ප්‍රජාවගේ මොළ සෝදන දැවැන්ත සමාජ ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයකින් තොරව බල හුවමාරුවක් ගැන සිතිය නොහැකිය. අප ජීවත්වන්නේ නෙළුම් කුලුනට නැඟ  තව්තිසාව දකින පරම්පරාවකය.

උදේනි සමන් කුමාර