ගොවි ජනතාවත් අනාථ කළ රටක අලුත්ම ට්‍රැක්ටර් 64ක් දිරන්න ඇරපු අපරාධයක මහත

0
28

අපේ රටේ ගොවි ජනතාව අද මුහුණ දී සිටින්නේ ඉතිහාසයේ කවර කවදාවත් මුහුණ නොදුන් ගැටලු රාශියකටය. ඒවාට විසඳුම් පෙනෙනතෙක් මානයකවත් නැත. රජකමටත් සුදුසු මේ බත් උපයන ගොවියාව අපේ දේශපාලන බල අධිකාරිය විසින් රවටන ලද්දේ නොහොඹිනා විධියටය.

රටේ ඩොලර් ප්‍රශ්නය යට ගසා කාබනික පොහොර විප්ලවයක් ගැන කතා කළ මේ දේශපාලනඥයෝ අවසානයේදී ගොවි ජනතාව පමණක් නොව සියලු පුරවැසියන්ගේ තුන්වේලට කණකොකා හැඬවූයේ හෙට ලෝකය භාර ගැනීමට ඉන්නා දරු පරපුර පවා මන්දපෝෂණයට ලක් කරමිනි. කෘෂිකර්මාන්තයට අදාළ තවත් අවැඩක් ගැන අපට අහන්නට ලැබෙන්නේ වවුනියාව ප්‍රදේශයෙනි.

ඒ කෝටි ගණනක් වටිනා ට්‍රැක්ටර් රථ 64කට සිදුවූ විනාශයයි.

“මේ ට්‍රැක්ටර් 64 වවුනියාවේ ගොවි ජනතාවගේ ප්‍රයෝජනය සඳහා ලැබී තිබෙන්නේ 2010 – 2011 වර්ෂවලදී යුද්ධය නිමා වීමෙන් පසු එවකට උතුරු නැඟෙනහිර ආණ්ඩුකාර ධුරය දැරූ මේජර් ජෙනරල් ජී.ඒ. චÂද්‍රසිරි මහතා සිටියදී. ඒ මහතාගේ මැදිහත් වීමට අනුව තමයි මේ ට්‍රැක්ටර් ඉන්දියානු ආධාරයක් මත ලබාදී තිබෙන්නේ.” වවුනියාවේ ගොවි මහතකු එසේ කීවේ මේ දිරාපත් ට්‍රැක්ටර් රථ ගැන තවත් බොහෝ තොරතුරු හෙළි කරමින්ය.

දශක තුනකට අධික කාලයක් අපේ රටේ පැවැති ජාතිවාදී ගැටුම් නිසා උතුරු නැඟෙනහිර ජනතාව මුහුණ දී සිටියේ සුළුපටු ප්‍රශ්න ගොඩකට නොවන බව අපි හොඳින්ම දනිමු. මේ ප්‍රශ්න නිසාම දකුණේ අප මුහුණදුන් ගැටලු පිළිබඳවද දන්නෝ දනිති.

දේශපාළුවන් ඇති කළ මේ ජාතිවාදී යුද්ධය නිසාම මිනිස් ජීවිත පමණක් නොව රටේ ආර්ථිකයද කඩා වැටුණේ විනාශකාරී විධියටය. මේ පරිසරය තුළ යුද්ධය නිසාවෙන්ම පොහොසත් වූ අමනයන් අතර රාජ්‍ය සේවයේ නියුතුව සිටි පිරිසක්ද වූහ.

“අවුරුදු 4ක් විතර මේ ට්‍රැක්ටර්වලින් වවුනියාවේ ගොවි ජනතාව වැඩ කළා. හේනේ කුඹුරේ වැඩ කටයුතු කර ගත්තා. ගොවිජන සේවා මධ්‍යස්ථානවල උදව්වෙන් තමයි මේවා කළේ.”

ඒත් සැරින් සැරේ මේ ට්‍රැක්ටර් පුංචි පුංචි ලෙඩ ඇවිත් ගාල් වෙන්න පටන් ගත්තා. ඒවට ප්‍රතිකර්ම යෙදුවේ නැහැ. නිසි නඩත්තුවක් කළේ නැහැ. අන්තිමට ඔක්කොම ට්‍රැක්ටර් ටික ගොවිජන සේවා මධ්‍යස්ථාන තුළට ගාල් වෙලා දිරාපත් වෙන තැනට වැටුණා.

මේ ආකාරයට වර්ෂ 2014 – 2015 කාලයේ සිටම මේ ට්‍රැක්ටර් 64 ගැන ඇහැක් ඇර බලන්නට තරම් නිලධාරියෙක් ඒ පරිශ්‍රයේ නොසිටියේය. දුටුවත් වගේ වගක් නැතිව ඉන්නට තරම් ඔවුන් අකාරුණික වී තිබුණු බව පැහැදිලිය.

“ඔන්න එවැනි පරිසරයක් තුළදී තමයි එක දවසක් වවුනියාව දිසාපති සරත්චÂද්‍ර මහත්තයා නිදුන්කේනි ප්‍රදේශයේ සංචාරයකට ආවේ. ඒ ආවේ අපේ කාබනික පොහොර ව්‍යාපෘතියක් නිරීක්ෂණය කරන්නයි. ඒ වෙලාවේ එතුමා තමයි මේ අපරාධය දැකලා වහාම ක්‍රියාත්මක වුණේ.”

වවුනියාව අතිරේක ලේකම් සහ දිසාපතිවරයා ලෙස මේ වනවිට කටයුතු කරන්නේ පී.ඒ. සරත්චÂද්‍ර මහතාය. ඔහු රජයේ නිලධාරියකු ලෙස තම බල ප්‍රදේශයේ බොහෝ පුරවැසි ගැටලු විසඳීමට සමත් දක්ෂ නිලධාරියකු ලෙස ප්‍රකටය. මේ නිසාම අපි මේ කාරණය පිළිබඳව ඔහුගෙන් විමසා සිටීමට අමතක නොකළෙමු.

“ඇත්තටම ගිය අවුරුද්දේ තමයි මම මේ දිරාපත් වී තිබුණු ට්‍රැක්ටර් ටික දැක්කේ. ඒ වෙලාවේ මගේ හිතේ මහා ලොකු කනගාටුවක් ඇති වුණා.”

“මම මේ පිළිබඳව වාර්තාවක් ලබාදෙන ලෙස ගොවිජන සේවා මධ්‍යස්ථාන භාර නිලධාරියාගෙන් ඉල්ලීමක් කළා. මොකද මෙතැන තිබෙන එක ට්‍රැක්ටරයක් වුණත් දැන් ලක්ෂ 50කට වඩා මිලෙන් වැඩියි. ඉතින් ට්‍රැක්ටර් 64ක වටිනාකම කොයිතරම් විශාලද? අපේ රටේ ගොවි ජනතාව ට්‍රැක්ටර් නැතිව අ‍ෙ¼දා්නා නඟන කාලයක තමයි මේ වගේ අවාසනාවන්ත දේවල් අපිට දකින්න ලැබෙන්නේ?” දිසාපතිවරයා කීවේය.

කෙසේ වුවද ඔහුගේ මැදිහත් වීමෙන් පසු මේ ට්‍රැක්ටර් රථ 64න් උපරිම ප්‍රමාණයක් බේරා ගැනීමටද කටයුතු යොදමින් තිබේ. ඒ සම්බන්ධව අප කළ විමසීමකදී ඔහු සඳහන් කළේ මෙවන් පිළිතුරකි.

“මම මේ ට්‍රැක්ටර් ටික දැක්ක හැටියෙම කළේ වවුනියාව මෝටර් රථ පරීක්ෂක තුෂාර මල්දෙණිය මහතාට පෙන්වූ එකයි. ඉන් පසුව ඔහුගේ මාර්ගයෙන් මේ ට්‍රැක්ටර් අතරින් කොපමණ ප්‍රමාණයක් බේරා ගන්න පුළුවන්ද කියලා වාර්තාවක් සකස් කළා. ඒ අනුව ට්‍රැක්ටර් හතරක් පහක් ඇරුණු කොට අනෙක් ඒවා ප්‍රයෝජනයට ගත හැකි අයුරින් ගොඩ ගන්න පුළුවන් බව දැන ගත්තා.”

දිසාපති සරත්චÂද්‍ර මහතා ඒ අනුව රුපියල් මිලියන 36ක වියදමකින් මේ ට්‍රැක්ටර් ප්‍රමාණය ගොඩගත හැකි බව දන්වා ලිපියක් ලබාදුන්නේ අය-වැය අධ්‍යක්ෂ ජනාරාල් ජූඩ් තිරුක්‍ෂණ මහතාටය. ඔහු මේ කාරණය අවබෝධ කර ගනිමින් ඉතා ඉක්මනින්ම ඊට ප්‍රතිචාර දැක්වූවේය.

“ඒ අනුව මට රුපියල් මිලියන 12ක් ලැබුණා. ඒ මුදල ලැබුණේ ඉතිරි මුදලත් පසුව ලබාදෙන පොරොන්දුව පිටයි. ඉතින් අපි ඒ මුදලින් ට්‍රැක්ටර් 13ක් දැන් යථා තත්ත්වයට පත් කරල තියෙනවා.”

මෙසේ මහත් ඕනෑකමකින් ගොඩගත් ට්‍රැක්ටර් 13 පසුගිය දිනක වවුනියාවේ ගොවිජන මධ්‍යස්ථාන මඟින් ගොවි ජනතාවගේ ප්‍රයෝජනය සඳහා ලබා දුන්නේ ප්‍රදේශයේ ජනතාවගේ ආදරය මුසු සතුටු කඳුළු මැදය.

“ඇත්තටම අපේ පළාතේ වැඩිපුරම ඉන්නේ ගොවි පවුල්. වී ගොවිතැනට අමතරව උඳු, කව්පි, මුං, කුරක්කන් හා බඩඉරිඟු ඉහළින්ම වගා කරනවා. ඒ වගේම තමයි මිරිස් හා එළවළුත්.”

මේ ගොවි පවුල් කුලියට ට්‍රැක්ටර් එකක් ගන්නකොට රුපියල් 20,000ක් – 25,000ක් අතර මුදලක් ගෙවන්න වෙනවා. එහෙම මුදලක් ගොවි මහත්තයකුට ගෙවන්න හරිම අමාරුයි. ඒ නිසා තමයි ගොවිජන සේවා මධ්‍යස්ථානවල මේ වගේ ට්‍රැක්ටර් තිබිය යුත්තේ. ඒ කාරණය අපට හොඳින් වැටහුණා.”

දිරාපත් වී යකඩ ගොඩක් වන්නට තිබූ ට්‍රැක්ටර් 64 ගොඩ ගැනීම සඳහා වවුනියාව දිසාපතිවරයාට තම සේවය ලබාදුන් ඊළඟ ආයතනය රඹෑව යාන්ත්‍රික වාරිමාර්ග වැඩ බිමයි. එහි තරංග රත්නායක මහතා ප්‍රමුඛ පිරිස ඒ සහාය ලබාදුන්නේ සේවා ගාස්තු කිසිවක් අය නොකරයි.

කෙසේ හෝ මේ වෙද්දී වවුනියාව කෘෂි අංශයේ සහකාර ගොවිජන කොමසාරිස් විශ්වදාසන් මහතා ප්‍රමුඛ පිරිස තම සේවය ලබාදෙමින් සිටින්නේ ගොවි ජනතාවට අවශ්‍ය සේවය උපරිමයෙන්ම ලබාදීමටය.

“මේ ට්‍රැක්ටර් ප්‍රමාණය මේ විධියට දිරාපත් වෙන තැනට වැටුණේ කාගේ වැරැදි නිසාද කියලා අපි සොයා බලන්න ඕනෑ. ඇත්තම කිව්වොත් මේක ගැන කිසිදු අවධානයක් යොමු නොකර සිටියේ මොන නිලධාරියාද කියලා අපි සොයා බලන්න ඕනෑ. අපි රට වෙනුවෙන්, ගොවි මහත්තුරු වෙනුවෙන් ඒ ගැන අවධානය යොමු කළ යුතුමයි.” වවුනියාව දිසාපතිවරයා අවසන් වශයෙන් කීවේය.

සාමාන්‍යයෙන් වවුනියාව පළාතේ ගම්මාන පන්සිය පනහක් පමණ ඇත්තේය. ග්‍රාම සේවා වසම් 102කි. එමෙන්ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 4කි. ජනගහනනේ සියයට සියයක්ම වාගේ එදාවේල පිරිමහ ගන්නේ කුමන හෝ වගාවක් කරමිනි. පරිත්‍යාගයක් ලෙස ඉන්දියාවෙන් ලැබුණු ට්‍රැක්ටර් 64 දිරාපත් වන තැනට වැටුණේ සැබෑවටම රජයේ ඇතැම් නිලධාරීන්ගේ තිබූ වගකීම් විරහිතභාවය නිසාය.

“දැන් සොයා බලන්න ඕනෑ උතුරේ අනෙක් ගොවිජන සේවා කාර්යාලවලට ලබාදුන් ට්‍රැක්ටර් සහ අනෙකුත් වාහනවලට මොනවද වුණේ කියලා. උතුරු වසන්තය වෙලාවේ මේ පළාතේ ජනතාවට බොහෝ දේ ලැබුණා. ඒවා උපයෝගී කරගත්තේ ගොවිතැනටයි.

“මොකද යුද්ධෙ ඉවර වුණු ගමන් වහං වෙලා හිටපු හුඟක් පවුල් මේ ගම්මානවලට ආවා. ඒ වෙද්දී ඔවුන්ට තිබුණේ ඇඳිවත පමණයි. ඉතින් රට රටවල ආධාරවලින් තමන්ගේ වගා කටයුතු වර්ධනය කර ගන්න වගේම ඒවා සාර්ථකව පවත්වාගෙන යන්න උදවු උපකාර එවකට රට පාලනය කළ රජයට ලැබුණා. ඒත් දැන් බලනකොට මේ වගේ විනාශකාරී දේ කොයි තරම් වෙලා ඇද්ද? මේවා ගැන සොයා බැලිය යුතුමයි.” වවුනියාවේ ජීවත්වන ගොවි පවුලක සාමාජිකයෙක් අප සමඟ කීවේය.

කන්න බොන්න නැති රටක් අපට ඉතිරි කළේ අපේම දේශපාලනඥයෝය. ඔවුන්ට ඒ ගැන වගක්වත් නැති බව විවිධ අවස්ථාවලදී ඔවුන් කරන ප්‍රකාශවලින් මනාව පිළිබිඹු වන්නේය.

දැන් අපේ රටේ ඉන්නා බොහෝ පුරවැසියෝ මේ නොහොඹිනා වර්තමානය හැදූ දේශපාලනඥයන්ට ශාප කරන්නෝය. එහෙත් ඔවුන් තවමත් හිතාගෙන ඉන්නේ මනාප කතිරය පාවිච්චි කරන අවස්ථාවේදී මේ සියල්ල අපේ රටේ පුරවැසියන්ට අමතක වේවි කියාය. එය එසේ සිදුවන්නේ නැත. මන්ද දැන් පරපුර වෙනදාටත් වඩා දැනුමෙන් සන්නද්ධය. හැඟීම්වලට වහල්වී කතිරය ගසනවා වෙනුවට ඔවුන් ඇඟිලි ගනිමින් සිටින්නේ රට බංකොළොත් කළ සියලු පවුකාරයන් එළවා දැමීමටය. හේනේ කුඹුරේ දුක් විඳින ගොවි මහතාගේ සිට මන්දපෝෂණයට ගොදුරුවී වේලකින් දෙකකින් දිවි ගැටගසා ගන්නා දැනුම් තේරුම් ඇති දරුවාගේ පවා අරමුණ වී ඇත්තේ එයයි.

සමන් ප්‍රියංකර නම්මුනිගේ