කුරුඳු කෝටිපතියාගේ පිහිනුම් තටාකයෙන් වතු සේවක මිනිය මතු වුණේ කොහොමද?

0
150

ලොකුගේ පියදාස 79 හැවිරිදි වියේ පසු වූ එක්දරු පියෙකි. මාකඳුර, බැරගම, නැඟෙනහිර මහවත්ත ප්‍රදේශයේ ඔහු පදිංචිව සිටියේ සිය පුතණුවන්, ලේලිය සහ මුනුපුරු මිනිපිරියන් සමඟිනි.ඔහුගේ නිවෙසට කිලෝමීටර් දෙකහමාරක් පමණ දුරින් පදිංචිව සිටියේ කෝටිපති කුරුඳු ව්‍යාපාරිකයෙකි. මාකඳුරේ, බැරගම, වඩුගෙදර ප්‍රදේශයේ ඔහු පදිංචිව සිටි නිවෙස සුවිසල් මැඳුරකි. බිරිය සහ දරුවා වෙනම නිවෙසක පදිංචිව සිටින අතර ව්‍යාපාරිකයා වඩුගෙදර නිවෙසේ පදිංචිව සිටියේ තනිවමය.

ඔහුට ඇප උපස්ථාන කිරීම සඳහා සිටියේ පියදාස පමණි. පියදාස මෙම සුවිසල් නිවෙසේ සේවයට ගොසින් මේ වන විට වසර තුනකට ආසන්න කාලයක් ගෙවී ගොස් තිබිණි. පියදාසගේ බිරිය මිය ගොසිනි. පුතාද කුරුඳු ව්‍යාපාරයේ යෙදී සිටින අතර බිරියද හෙදියක් ලෙස මාතර රෝහලක සේවය කළාය. මේ නිසා උදය වරුවේ පියදාසගේ ගෙදර උසුලන්නේ පාළු ස්වභාවයකි. එක් දරුවකු කොළඹ රැඳී සිටින අතර තවත් දරුවකු බිරියගේ මව සමඟ මහගෙදර පදිංචිව සිටී.

කෙසේ වෙතත් දවල් කාලයේ නිවෙසට එන පියදාස ගෙදර ඇති කරන සුනඛයන්ට ආහාර ලබාදී ලේලිය සේවය නිමවා නිවෙසට පැමිණි පසු සිය පාපැදියෙන්ම සුවිසල් මැඳුරේ සේවයට යෑම පුරුද්දක් කරගෙන තිබිණි. ඒ අතරතුර තම පුතුට දුරකථන ඇමැතුමක් දී තමා නිවෙසට පැමිණි බවත් ලේලිය පැමිණීමෙන් පසු නිවෙසින් පිටව යන බවත් පැවැසීමට තරම් පියදාස නිහතමානී පුද්ගලයෙක් විය. පියදාසගේ දින චර්යාව ගතවූයේ එලෙසය.

ඉකුත් 16 වැනිදාද හතරවටින් අඳුර වැටීගෙන එද්දී පියදාසගේ ලේලිය සේවය නිමකොට නිවෙසට පැමිණියාය. ඉන් පසු පියදාස සිය පාපැදියට නැඟ ගත්තේ සේවය කරන සුවිසල් නිවෙසට යෑමේ අදහසින්ය.

සුවිසල් මැඳුරේ පියදාසට කරන්නට බොහෝ දේ තිබිණි. ව්‍යාපාරිකයාට අයත් සුනඛයන් නහවා පිරිසුදු කිරීම, වත්තපිටිය අතුපතු ගෑම සහ හරකුන් බැඳීම ආදිය ඔහුට පැවැරී ඇති කාර්යයන් වූ අතර ව්‍යාපාරිකයාගේ ඇඳුම් පැලඳුම් පිරිසුදු කිරීමද පියදාස අතින් සිදුවිය. ඒ වෙනුවෙන් සති අග පියදාස අත මුදලක් තැබීම ව්‍යාපාරිකයාගේ සිරිතකි. 16 වැනිදාද මෙලෙස රැකියාවට ගිය පියදාස පසුදා දහවල් නිවෙසට පැමිණ නොතිබිණි. ඒ බව පියදාසගේ ලේලිය වූ අෂානිට හොඳින් වැටහුණාය.

ඒ එදින බල්ලන්ට දිවා ආහාර ලබාදී නොතිබුණු නිසාය. ආහාර වළංවල එලෙසම තිබිණි. ඒ නිසා සිය මාමණ්ඩිය එදින නිවෙසට නොපැමිණ ඇති බව ඇයට වැටහුණාය.

“පස්සේ මම ඉස්සරහ ගෙදර නංගිගෙන් ඇහැව්වා තාත්තව දැක්කද කියලා. සමහර වෙලාවට තාත්තා පොඩි අයත් එක්ක සෙල්ලම් කරන්න එහෙට යනවා. තේ බොන්න යනවා. නංගි කිව්වා තාත්තා ඇවිත් ඉන්නවා දැක්කේ නම් නැහැ කියලා.”

“පස්සේ මම එහෙම ගියා පල්ලෙහා නැන්දලා ගෙදරට. ගිහින් මම කිව්වා සමන්ලාගේ තාත්තා ඇවිල්ලා නැහැ ගෙදර. මොකද දන්නේ නැහැ කියලා. එතකොට නැන්දා කිව්වා තව පොඩ්ඩක් හොයලා බලන්න කියලා.”

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ පියදාසගේ ලේලිය අෂානි දිල්කා සඳහන් කළාය.

“පස්සේ මම එනකොට අහල පහළ දෙන්නෙක් අපේ ගෙදරට ඇවිත් තිබුණා. ඒ දෙන්නා අපේ ගෙදරට එනකොට වාහනයක් නවත්තලා ඒකෙ ඇවිත් සිටියේ තාත්තා වැඩකරන ගෙදර මහත්තයා.”

“ඒ මහත්තයා අහලා තියෙනවා අපේ ගෙදර කවුරුත් නැද්ද කියලා. කවුරුත් නැහැ කියලා දැනගත්තට පස්සේ වාහනය පල්ළෙහාට හරවගෙන එද්දී එයාව මට හම්බවුණා.”

“එතකොට එයා කිව්වා මගේ වස්සෝ දෙන්නත් නැහැ. මූ බයිසිකලෙන් කොහේ ගිහිල්ලද දන්නෙත් නැහැ කියලා.”

“මම ඇහැව්වා වස්සො දෙන්නා නෙවේ. කෝ මේ මහ මනුස්සයා කියලා. ඉන් පස්සේ මෙයා කිව්වා එයා කොහේ ගිහින්ද දන්නෙ නෑනේ. අහුවුණොත් නම්…”

“පස්සේ එයා වාහනය හරවාගෙන යන්න ගියා. එතකොට වේලාව රෑ 7.30ට විතර ඇති.”

මෙය අෂානිට ගෙන ආවේ සැකයකි. ඇය වහා සිය සැමියාට කතා කර මේ බව කීවාය. සමන් ඒ වන විට සිටියේ යටියන ප්‍රදේශයේ සිය පුතා සමඟ කුරුඳු ව්‍යාපාරයේ යෙදෙමිනි.

“පස්සේ මම මහත්තයගෙන් ඇහැව්වා තාත්තා කතා කළාද කියලා. එයා කිව්වා කතා කළේ නෑනේ. හැබැයි ෆෝන් එක රින්ග්ස් යනවා කියලා. ෆෝන් එක උස්සන්නේ නැහැ කියලා.”

“පස්සේ මම දරුවාගෙන් සීයාගේ නම්බරේ අරගෙන එළිවෙනකම්ම එක දිගට කෝල් ගත්තා. ෆෝන් එක වැඩ. ඒත් ආන්සර් කරන්නේ නැහැ.

අෂානිගේ දුරකථන ඇමැතුමත් සමඟ ඇගේ සැමියා සමන් එදිනම රාත්‍රි 8ට පමණ නිවෙසට පැමිණ තිබිණි. ඔහු එදා නිවෙසට පැමිණියේ දින 22කට පසු බව අෂානි කීවාය.

මාමණ්ඩිය සේවය කළ නිවෙසේ හිමිකරුගේ බැන වැදීම ගැන සැකයක් ඇති කරගත් අෂානි මේ සම්බන්ධයෙන් 119 හදිසි ඇමැතුම් අංශයට පැමිණිලි කරන්නේ ඉන් පසුවය.

රාත්‍රි දහයට ආසන්න වෙද්දී මාවරල පොලිසියේ නිලධාරීන් විසින් අෂානිගේ නිවෙසට පැමිණ පියදාස ගෙදර නොපැමිණීම ගැන කරුණු කාරණා විමසා පැමිණිල්ලක්ද සටහන් කරගන්නට කටයුතු කර තිබිණි.

පසු දිනට පහන් වනතුරුම සමන් සහ බිරිය පසුවූයේ නිදි වර්ජිතවය. ඒ කොයි මොහොතේ හෝ තාත්තා නිවෙසට පැමිණෙතැයි ඇඟිලි ගනිමිනි. නැතහොත් තාත්තා ගැන කිසියම් තොරතුරක් හෝ බලාපොරොත්තුවෙනි.

18 වැනිදාට පහන් වූයේ මෙවන් සැක සංකා ඉතිරි කරමිනි. දින දෙකක් ගතව තිබුණද පියදාස නිවෙසට නොපැමිණියේ පුතුන් සහ ලේලියගේ තිබූ සියලු බලාපොරොත්තු සුන්කරමිනි.

“එදා උදේ 6.55ට විතර මහත්තයාගේ ෆෝන් එකට කෝල් එකක් ආවා තාත්තගේ බයිසිකලේ කාමරේ තියෙනවා කියලා කිව්වා. එහෙම කියලා කිව්වා බයිසිකලේ තියෙනවා. මම රබර් වත්තට ගිහින් හොයන්නම් කියලා.”

“ටිකකට පස්සේ කිව්වා බල්ලට කන්න දාන්න ගිහින් පියදාස සුවීම්පූල් එකේ වැටිලා මැරිලා ඉන්නවා. උඹ රාලහාමිට කියපන් මම පොලිසියට යන්නම් කියලා කිව්වා.

“එහෙත් අපි රාලහාමිට කියන්න ගියේ නැහැ. අපි ගියා තාත්තා බලන්න. එතැනට යන්න පාරක්වත් නැහැ. අපි හොයලා හොයලා අඩිපාරක් දිගේ එතැනට යන කොට සුවිම්පූල් එකේ අයිනේ තාත්තා මැරිලා හිටියා. ඒ වෙලාවේ අර නැතිවුණා කියන හරක් දෙන්නත් ඉස්සරහ ගැටගහලා හිටියා.”

සිද්ධිය සම්බන්ධයෙන් කළ විමසීමකදී අෂානි කියන්නට වූවාය.

ඇය මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ මීට  මාස දෙකකට කලින්ද තම මාමණ්ඩියට පහරදීමක් සිදුව තිබූ බවත් නිවෙසේ හිමිකරු පැමිණ ප්‍රශ්නය සමථයකට පත්කර ගැනීම නිසා පොලිසියට  නොගිය බවත්ය.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූයේ එතැන් පටන්ය. මාවරල පොලිසිය මූලික විමර්ශන ඇරැඹූ අතර මාතර කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත ද සොයිසා මහතා පියදාසගේ මරණය සම්බන්ධ පරීක්‍ෂණ මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වෙතද පැවැරීය.

එහි ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක විපුල ධම්මික ඇතුළු කණ්ඩායමක් කෝටිපති ව්‍යාපාරිකයාගේ සුවිසල් නිවෙසට ගොස් අදාළ පරීක්‍ෂණ පටන්ගත්තේ ඉන් අනතුරුවය.

පොලිසිය සිදුකළ විමර්ශනයේදී අඩි 33ක් දිග අඩි 17ක් පළල අඩි 5ක් පමණ ගැඹුරැති ඉදිකරමින් පවතින පිහිනුම් තටාකයක් තුළ තිබූ පියදාසගේ මළ සිරුර සොයා ගැනීමට නිලධාරීන්ට හැකිවිය.

පසුව සිද්ධිය වූ ස්ථානයට සොකෝ නිලධාරීන්ද කැඳවනු ලැබීය. පිහිනුම් තටාකයද නිලධාරීන්ගේ සියුම් නිරීක්‍ෂණයට ලක්වුණු අතර නිලධාරීහු සුවිසල් නිවෙස සහ ඒ අවට ප්‍රදේශයද සෝදිසියට ලක්කළහ. එම සෝදිසියේදී නිවෙස තුළ තිබී රුධිර පැල්ලම් කිහිපයක් සොකෝ නිලධාරීන්ගේ උකුසු ඇස්වලට හසුවිය.

සොයාගත් ලේ සලකුණු සම්බන්ධයෙන් ව්‍යාපාරිකයාගෙන් කළ විමසීමේදී ඔහු පවසා ඇත්තේ 16 වැනිදා තම මිතුරන් දෙදෙනකු සමඟ මත්පැන් පානය කළ බවත් ඒ අවස්ථාවේ නිවෙසේ තිබූ වායු තුවක්කුවක් පරීක්‍ෂා කිරීමට යෑමේදී මිතුරකුගේ ඇඟිල්ලක් තුවාල වූ බවත්ය. එයින් වැගිරුණු රුධිරය මෙසේ සාලය මත වැටෙන්නට ඇතැයි ඔහු පොලිසියට පවසා තිබිණි.

පසුව ඔහුගේ මිතුරන් කව්දැයි සොයා බලා ඔවුන්ගේ දෑත් පරීක්‍ෂා කරද්දී එවැනි තුවාලයක් මිතුරන්ගේ දෑත්වල නොතිබූ බවත් ඒ නිසා ව්‍යාපාරිකයා පවසන්නේ බොරුවක් බවත් පොලිසිය වටහාගෙන ඇත. ඒ අනුව පියදාසගේ මරණය ඝාතනයක් වන්නට ඇතැයි සැකපළ කළ නිලධාරීන් සැකකාර ව්‍යාපාරිකයා මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාලය වෙත රැගෙන ගියේය.

සිද්ධිය සම්බන්ධයෙන් නිවෙස හිමි කෝටිපති ව්‍යාපාරිකයාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කළද ඔහු පැවැසුවේ පියදාසගේ මරණය සම්බන්ධයෙන් තමා කිසිවක් නොදන්නා බවය. තමාට එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත්ය.

එහෙත් සිදුකළ දීර්ඝ විමර්ශනයේදී හෙළි වූයේ පියදාස ව්‍යාපාරිකයාගේ නිවෙසට පැමිණි 16දා රාත්‍රියේ ව්‍යාපාරිකයාගේ නිවෙස තුළ මධුවිත සාදයක් පවත්වා ඇති බවය. ඒ සඳහා තිරික්කල කිහිපයක්ද මිලදී ගෙන ඒවා මිදුලේ ලස්සනට තබා තිබූ බවත් හෙළිවිය.

පියදාසගේ මරණය ඝාතනයක් බවට පොලිසියේ සැකය වූ අතර එය තහවුරු කර ගැනීම සඳහා ඒ සැකය ඔස්සේ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය නිවෙසේ හිමිකරුගෙන් තවදුරටත් ප්‍රශ්න කරන්නට විය.

අවසානයේ පියදාසගේ සිරුර සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්‍ෂණය පැවැත්වීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්‍ෂණය සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත යොමු කරනු ලැබීය. විමර්ශන නිලධාරීන් විමර්ශන දිගටම සිදුකිරීම සඳහා පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාව ලැබෙන තුරු ඇඟිලි ගැන්නේය.

පියදාසගේ හිසට කිසියම් පහරක් එල්ල වී ඇති බවට බැලූ බැල්මට පෙනුණද පියදාසගේ මරණය සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍යවරයා ලබා දුන්නේ විවෘත තීන්දුවකි.

අවසානයේ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ රඳවා සිටි ව්‍යාපාරිකයාගෙන් ස්ථානාධිපතිවරයා කළ දීර්ඝ ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඔහු ස්ථානාධිපතිවරයා හමුවේ පියදාසගේ හිසට කුරුඳු පොල්ලකින් පහර දුන් බව පවසා තිබේ. පසුව සැකකරු අත්අඩංගුවට ගත් නිලධාරීන් ඔහුද කැටුව ඔහුගේ සුවිසල් නිවෙසට ගොස් පියදාසට පහරදුන් බව කියන කුරුඳු පොල්ල නඩු භාණ්ඩයක් ලෙස සිය භාරයට ගෙන ඇත.

සිද්ධිය වූදා සැකකරු මිතුරන් සමඟ මත්පැන් පානය කර ඇති බවත් එහිදී ඇතිවුණු ආරවුලක් නිසා පියදාසට මෙලෙස පහරදී ඇතැයිද පොලිසිය සැක කරයි.

කෙසේ වෙතත් හිසට පහරදීමක් සිදුකළා හැරෙන්නට පියදාසගේ සිරුර පිහිනුම් තටාකයට ගෙනැවිත් දැමූ බවත් ව්‍යාපාරිකයා පොලිසිය ඉදිරියේ පිළිගත්තේ නැත.

එහෙත් 16 වැනිදා පියදාසට කළ පහරදීමෙන් පසු ඔහු නිවෙසට ගෙන්වා ගත් තවත් සේවකයකුට පියදාස සොයා බලන ලෙසත් තමාගේ හරක් දෙන්නකු අතුරුදන්වී ඇති බව කියමින් ඒ ගැන සොයා බලන ලෙස සැකකරු පවසා ඇති බවත් විමර්ශනයේදී හෙළි වී  තිබේ.

මේ අනුව පොලිසිය පවසන්නේ පියදාසගේ මළ සිරුර ඉදිවෙමින් පවතින පිහිනුම් තටාකයට රැගෙන ගොස් දැමුවේ කවුද යන්න මෙතෙක් අනාවරණය වී නැති බවය. මේ නිසා පියදාසගේ මරණය සම්බන්ධයෙන් තවමත් ඇත්තේ නොවිසඳුණු ගැටලු කිහිපයකි. පියදාසගේ සිරුර එම තටාකයට දමද්දී හෝ වැටෙද්දී ඔහු මියගොස් සිටියේද නැද්ද යන්න තවමත් ප්‍රශ්නයක් බවත් මේ නිසා පැති කිහිපයක් ඔස්සේ විමර්ශන ඉදිරියට සිදුකරන බවත් මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කීය.

සැකපිට අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයා දෙයියන්දර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 28 දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර එහිදී සැකකරුගේ නීතිඥවරුන් අධිකරණයෙන් කළ ඉල්ලීමක් මත සැකකරු මානසික වෛද්‍යවරයෙක් වෙත ඉදිරිපත් කර වෛද්‍ය වාර්තාවක් ලබාගැනීමට අවසර හිමිවූ බව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කියයි. සැකකාර ව්‍යාපාරිකයා මාතර ප්‍රදේශයේ දේවාලයක නිලමේවරයකුගේ සොහොයුරකු බවද පොලිසිය සඳහන් කරයි.

මාතර කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත ද සොයිසා මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි එච්.එම්.එස්. කල්දේරා මහතාගේ අධීක්‍ෂණයෙන් මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක විපුල ධම්මික මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්‍ෂක මිහිරංග, සැරයන්වරුන් වන තුෂාර (55868), සමන්ත (15314), සමන්ත (52590), පියරත්න (34912) සහ රුක්මන් (84716) යන නිලධාරීහු සිද්ධිය සම්බන්ධ සිදුකරන ලද විමර්ශනවලට එක්ව සිටියහ.

පොලිස් පරීක්‍ෂණ ඇසුරෙන්

ලිපිය සකස් විය.

කීර්ති මෙන්ඩිස්