ක්‍රිස්තියානි වුවත් රැජන මෙරට බුදු දහම රැක්කා

0
22

“රැජින ක්‍රිස්තියානි භක්තිකයෙක් වුවත් මෙරට බුදු දහම ආරක්ෂා කිරීමට ඇය කටයුතු කළා. බුද්ධ ජයන්ති සැමරුමටත් ඇය සහාය දැක්වූවා” යැයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ රැජනගේ අභාවය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පැවැති ශෝක යෝජනාවේදී  පැවැසීය. එළිසබෙත් මහ රැජන ශ්‍රී  ලංකාවට සහ පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවලට කළ සේවය ගැන කතා කරන්න කැමැතියි. අපේ රට ජනරජයක් බවට පත්වූවාට පසුව රටේ පැවැති ඇතැම් ගැටලු විසඳීමටද ඇය සහාය දුන්නා.

ස්වාධීන රාජ්‍යයක් නම් අපට රැජනක් අවශ්‍ය වන්නේ ඇයි කියන ගැටලුව තිබුණා. සිරිවර්ධන කියන ලේඛකයා විසින් ලියූ කතුවැකියකින් ප්‍රශ්න කර තිබුණේ ස්වාධීන රටක් නම් රැජනක් අවශ්‍ය වන්නේ ඇයි කියාය. එවකට සිටි විරුද්ධ පක්ෂයේ නායකයා වන ජේ.ආර්. ජයවර්ධන සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ආර්. ප්‍රේමදාස සමඟ එක්ව ඇසූ ප්‍රශ්නය වූයේ එහෙම නම් අපට ජනාධිපතිවරයෙක් අවශ්‍ය වන්නේ ඇයි කියලා. මේක ඇත්ත වශයෙන්ම විසඳා ගත නොහැකි ගැටලුවක්.

ඒත් ඇත්ත වශයෙන්ම ශ්‍රී  ලංකාවේ පරිවර්තනය පමණක් නොව ලෝකයේම පරිවර්තනයට ලක් කළ තැනැත්තියක් විධියට රැජන සැලකිය හැකියි. විශාල අධිරාජ්‍යයක් ඇය පාලනය කළා. පොදු රාජ්‍ය මණ්ඩලයේ ප්‍රධානියා ලෙසත් ඇය කටයුතු කළා. පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල නායකයන් රැජනත් සමඟ සහයෝගයෙන් කටයුතු කළා. ජවහල් නේරු, නෙල්සන් මැන්ඩෙලා වැනි නායකයන් ඇයත් සමඟ කටයුතු කළා. ඇය රාජකාරිය සමඟ කටයුතු කළ තැනැත්තියක්. ඇය බලවත් තැනැත්තියක් යැයි ජනපතිවරයා පැවැසීය.

රැජන යනු පෞද්ගලික ජීවිතයේ තිබූ ආශාවන්, හැඟීම් රට වෙනුවෙන් අත්හළ පරමාදර්ශී නායිකාවක් බව අගමැති දිනේෂ් ගුණවර්ධන දෙවැනි එළිසබෙත්  රැජනගේ අභාවය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පැවැති  ශෝක යෝජනාවේදී පැවැසීය.

ඇය හෘදයාංගම විධියටත් දැඩි කැපවීමෙන් යුතුවත් බි්‍රතාන්‍ය ජනතාව වෙනුවෙන් තමන්ගේ රාජකාරි ඉටු කළ අතර එය  අපි අගය කළ යුතු යැයිද අග්‍රාමාත්‍යවරයා කීය.

“මෙරට ජනතාව වෙනුවෙන් කළ සුවිශිෂ්ට කාර්යයන් වෙනුවෙන් අපගේ කනගාටුව ප්‍රකාශ කරනවා. මවක්, මිත්තණියක් බි්‍රතාන්‍ය රාජ්‍යයට නැති වී තිබෙනවා. ජනාධිපතිවරයා සඳහන් කළ ආකාරයට අපට හැකි වුණා ඇගේ ජීවිතයේ විවිධ සන්ධිස්ථානවලට සහභාගි වීමට. පොදුරාජ්‍ය  මණ්ඩලයීය නායිකාවක් බවටත් ඇය පත් වුණා. පොදුරාජ්‍ය මණ්ඩලයත් සමඟ එක්ව අපගේ ශෝකය ප්‍රකාශ කරනවා. තුන්වැනි චාල්ස් රජතුමා වෙත අපේ සාතිශය සංවේගය ප්‍රකාශ කරනවා. එළිසබෙත් මහ රැජන සාමදානයේ සැතපේවා. ඒ වගේම අපේ ආගමේ විධියට ඇයට නිර්වාණය ලැබේවා.!

අනුරාධා හේරත්,සඳුනි ගමාරච්චි