කතුන් ගැන සිතා ජනපති ගත් තීරණය

0
35

කාන්තාවන්ට අත්‍යවශ්‍ය ද්‍රව්‍යයක් ලෙස සලකන පාසල් දැරියන් සහ කාන්තාවන්ගේ සනීපාරක්ෂක තුවා සඳහා පනවා ඇති අධික බදු ගාස්තු අඩු කිරීමට ජනාධිපතිවරයා අවසර දී ඇතැයි ළමා හා කාන්තා කටයුතු ඇමැතිනි ගීතා කුමාරසිංහ මහත්මිය පවසයි. රටේ පවතින ආර්ථික අපහසුතා හේතුවෙන් අවුරුදු 10 සිට අවුරුදු 50 දක්වා වයස්වල පසුවන දැරියන්ගේ හා කාන්තාවන්ගේ සෞඛ්‍ය තත්ත්වය නිසි ප්‍රමිතියට පවත්වාගෙන යෑම ගැටලු සහගත බවත් ඇමැතිවරිය කීවාය.

එසේම මේ භාණ්ඩ කාණ්ඩයට පනවා ඇති වරාය හා ගුවන් සේවා සංවර්ධන බදු, සෙස් බදු හා රේගු ගාස්තු අඩු කිරීමට ලබන සතිය අවසානයේ කඩිනම් පියවර ගන්නා බවත් දේශීය නිෂ්පාදකයාද ආරක්ෂා වන ආකාරයට එය කරන බවත් අෑ පැවැසුවාය.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කළ අතර ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මුදල් අමාත්‍යාංශ ලේකම් දැනුවත් කිරීමෙන් මෙම බදු ගාස්තු අඩු කිරීමට තීරණය කළ බව ඇමැතිවරිය ප්‍රකාශ කළාය.

එසේම බදු ගාස්තු සැලකිය යුතු ලෙස අඩු කිරීමෙන් ඉදිරියේදී මෙම සනීපාරක්ෂක තුවා මිල ගණන් සාධනීය ලෙස පහළ යන බවත් කාන්තාවන්ට එමඟින් විශාල සහනයක් ලැබෙනු ඇති බවත් ඇමැතිවරිය වැඩිදුරටත් පැවැසුවාය.

මිතුන් ජයවර්ධන