ආසියානු ජයට හුරේ දැම්මට කවුරුත් නොදකින දැල් පන්දු දුක් කන්ද

0
48

ජයග්‍රහණයකදී ඒ වෙනුවෙන් පෙනී සිටින්නෝත් උදම් අනන්නෝත් බොහෝය. පරාජය ඉදිරියේ අප නිරන්තරයෙන්ම දකින්නේ විවේචනයන්ය. පසුගියදා අපේ ජාතික නෙට්බෝල් කණ්ඩායම ලබාගත් ජයග්‍රහණය ඇසුරේත් අප දුටුවේ ඒ ජයග්‍රහණයට උරුමකම් කියූ වෙනස්ම පිරිසකි. ඔවුන් මාධ්‍ය ඔස්සේ පවා කයිවාරු ගැසුවේ තමන් ක්‍රීඩාව වෙනුවෙන් විශේෂයෙන්ම නෙට්බෝල් ක්‍රීඩිකාවන් වෙනුවෙන් කළ සේවය ගැනය.

එහෙත් මේ කාරණයට පිටින් අපට වටින් ගොඩින් ඇසුණේ වෙනස්ම කතාවකි.

“මේ ළමයි මේ ජයග්‍රහණය ලබාගත්තේ ඔය කියන විධියේ පහසුකම් මැද්දේ නෙවෙයි. ඇත්තම කිව්වොත් ඔය උදවු කළා කියන අය මොනවද කරල තියෙන උදවු කියලා. ක්‍රීඩා අමාත්‍යාංශයෙන්ම හොයලා බලන්න පුළුවන්. ඒ තොරතුරුවලින් බලාගන්න පුළුවන් නෙට්බෝල් කණ්ඩායමට වැය කරලා තිබුණ මුදල කොච්චරද කියලා.

ඇත්තටම එහෙම මුදලක් වෙන් කරලා නැහැ. මම පෞද්ගලිකවම මේ ගැන අමාත්‍යාංශයට ගිහින් කතා කරලා තියෙනවා. මෙසේ කියමින් අප සමඟ එකතු වුණේ ශ්‍රී  ලංකා නෙට්බෝල් සංගමයේ හිටපු සභාපතිනිය රාජනි ජයකොඩිය. ඇය 2021 වර්ෂයේ එම සංගමයේ හිටපු සභාපතිනියයි.

මම දන්න තරමට ඔය ළමයින්ට පිටරට තරගවලට යද්දිත් ලැබුණේ ටිකට් එක විතරයි. ඇඳුම්, සපත්තු ඇතුළු අනිකුත් දේවල් සොයාගත්තේ වෙන වෙන අයට කතා කරලා. එහෙම නැතිනම් පෞද්ගලික හිතවත්කම්වලින්. මේ පාරත් එමෙයි. ඉතින් මට තේරෙන්නේ නැහැ ඉදිරියටත් මෙහෙම වුණොත් අපේ රටේ දැල්පන්දු ක්‍රීඩාවට මොනව වේවිද කියලා.’

හිටපු සභාපතිනිය මෙහිදී වැඩි වශයෙන් කතා කළේ අපේ රටට සම්පතක් වූ අතිදක්‍ෂ දැල්පන්දු ක්‍රීඩිකා තර්ජනී සිවලිංගම් ගැනය. විශේෂයෙන්ම මෙවර ආසියානු කුසලානය දිනපු කණ්ඩායමේ ජයග්‍රහණයට අපිරිමිතම දායකත්වය සැපයූ තර්ජනීට දැක්වූ කනගාටුදායක ප්‍රතිචාරය ගැනය.

තර්ජනී පිට පිට හයවතාවක් අප ලැබූ නෙට්බෝල් ජයග්‍රහණවලදී සුවිශේෂී ක්‍රීඩාවක නිරත වුණා. ඇය අපට සම්පතක්. ඇගේ උස අපේ කණ්ඩායමට ලොකුම ලොකු තෑග්ගක්. ඉතින් එහෙම දායකත්වයක් සැපයූ ඇයට මෙවර සිද්ධ වුණු දේ ගැන අපි කතා කළ යුතුම වෙනවා.

“ඔබ, අපි කවුරුත් දැක්කා තර්ජනී ආසියානු කණ්ඩායමේ ක්‍රීඩා කළ විලාසය. ඇය විශිෂ්ට විධියට ලකුණු ලබා දුන්නා. නමුත් ශ්‍රී  ලංකා කණ්ඩායම ඒ තරගය දිනාගෙන ලංකාවට එද්දී ඇයට එන්න බැරි වුණා. හේතුව ඇය වෙනුවෙන් ටිකට් එකක් ලබාදෙන්න තරම්වත් අපේ ක්‍රීඩා බලධාරීන් කාරුණික නොවීමයි.

තර්ජනී හුඟක් දුප්පත් පවුලක දරුවෙක්. ඇය යාපනයේ පදිංචිකාරියක්. ඇයට ඇගේ දුප්පත්කම දරාගන්න බැරි නිසාම ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත ක්‍රීඩා සමාජයට සම්බන්ධ වුණා. දැන් ඇය ඉන්නේ ඒ රටේ.

ඒ කොහොම වුණත් ඇය ආසියානු ක්‍රීඩා තරග වෙලාවේ අපේ රටේ කණ්ඩායම වෙනුවෙන් පෙනී සිටින්න ආවා. එහෙම ආපු ඇය නැවතත් තරග ඉවර වුණු හැටියේ ඕස්ට්‍රේලියාවටම ගියේ ලංකාවට එන්න ඕස්ට්‍රේලියාවෙන් ටිකක් එකක් ඉල්ලගන්න බැරි නිසයි. මේ වෙලාවේ ඇත්තටම අපේ බලධාරීන්ට  තිබුණා ඇයට ටිකට් එකක් දීලා ලංකාවට ගෙන්වා ගන්න. නමුත් එහෙම වුණේ නැහැ. අනිත් හැම ළමයෙක්ම ඒ සතුට ලංකාවට ඇවිත් අපේ රටේ ජනතාව සමඟ බෙදාගන්න කොට ඇය ඕස්ට්‍රේලියාවට වෙලා බොහොම කනගාටුවෙන් හිටියා. මම ඇය සමඟ කතා කරද්දී ඒ බව මට හොඳින්ම තේරුම් ගියා.

රාජිනී ජයකොඩි නම් වූ මේ හිටපු නෙට්බෝල් සංගමයේ සභාපතිනිය පවසන ආකාරයට ඇය ඕස්ට්‍රේලියාවට ගියේ නොයා බැරිකමටය. ඒ පෙරකී පරිදි ඇගේ ක්‍රීඩාවත් ඇගේ දුප්පත්කමට සාර්ථක පිළිතුරක් නොලැබුණු නිසාය.

තර්ජනීට ලොකු ලොකු ආර්ථික ගැටලු තිබුණු නිසා ප්‍රශ්න ගොඩකට මුහුණ දුන්නා. ඇයට බස් එකක එන්න බැහැ. උස නිසා හිටගෙන එන්න බැහැ. එවාඩි වුණොත් කකුල් දිග හරින්න නවන්න බැහැ. මේ නිසා ඇය හුඟක් වෙලාවට ආවේ කෝච්චියේ.

ඒත් කෝච්චි හැම තැනම නැහැනේ. මේ නිසා මම එක පාරක් යෝජනා කළා ඇයට රුපියල් 50,000ක විතර ගමන් වියදමක් දෙමු. එතකොට වාහනයක් හයර් කරගෙන ඒවි කියලා. ඒකට සාර්ථක උත්තරයක් ලැබුණේ නැහැ.

මට තියෙන ගැටලුව තමයි ඇයි තර්ජනී වෙනුවෙන් එහෙම මානුෂිකව බැලුවේ නැත්තේ කියලා. අනික ඇයට යාපනයේ ඉඳලා කෝච්චියේ කොළඹ එන්න රුපියල් 6000ක් විතර යනවා. එහෙම ඇවිත් බණ්ඩාරගම පුහුණු වෙන තැනට එන්නත් ඕන.

කාලෙක ඉඳලා මම කිව්වා අපේ ළමයින්ට කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පුහුණුවීම් කරන්න හදලා දෙන්න කියලා. ඒකටවත් නිසි වැඩපිළිවෙළක් හැදුවේ නැහැ. අපේ ළමයි වැඩිම වුණොත් පස් හය වතාවක් ඔය සුගතදාස එකට ගිහින් ඇති.’

පෙරකී පරිදි ජයග්‍රහණයකදී උදම් අනන අපේ රටේ ඇත්තන් රාජිනී ජයකොඩි මහත්මියගේ චෝදනාවලට කුමන පිළිතුරක් සපයාවිදැයි අපි නොදනිමු. එහෙත් යථාර්ථය නම් මේ සියලු ගැටලු හා කුඩම්මාගේ සැලකිලි මැද අපේ නෙට්බෝල් කණ්ඩායමේ සාමාජිකාවෝ ලැබූ ජයග්‍රහණය. එය මෙවැනි පරිසරයක් තුළ ලැබූ සුපිරි ජයකි.

‘අපේ නෙට්බෝල් කණ්ඩායම පිට පිට අවුරුදු 6ක් ඔය කුසලානය දිනාගත්තා. එතැනදී තර්ජනී ලබාගත් ගෝල ප්‍රමාණය හා අපේ ජයග්‍රහණවලට ලබාදුන්න දායකත්වය අපි හැමෝම දන්නවා.’

මේ ජයග්‍රහණ නිසා තමයි තර්ජනීට ඕස්ට්‍රේලියාවෙන් ඇරැයුම් ලැබුණේ. ඒ අනුව ඇය ඒ ප්‍රාන්ත ක්‍රීඩා සමාජයට බැඳුණා. ඇත්තටම ඒ කණ්ඩායම ඇයව ගත්තේ බ්‍රෑන්ඩ් එකක් විධියට පාවිච්චි කරන්න. ඇයට පොඩි ගාණක් ඒකට ගෙවනවා. තර්ජනී ඒක නොදැන නෙවෙයි ගියේ. මෙහෙ ඉඳලා ජීවත් වෙන්න තරම්වත් වටපිටාවක් නැතිකම නිසා.

ඔබ දන්නවාද තර්ජනී විතරක් නෙවෙයි දැන් ඔය කණ්ඩායමේ ඉන්න දක්‍ෂතම ළමයි හැමෝටම ප්‍රශ්න තිබෙනවා. පහසුකම් කියන දේවල් නැහැ. ඒ ගොල්ලෝ කෑම කියලා කන්නේ ඔය පොඩි හෝටලයකින් ගෙන්වා ගන්න කෑම පැකට් එකක්.

පසුගිය කාලේ මේ නිසාම මේ ළමයි හුඟ දෙනෙක් ක්‍රීඩාවෙන් අෑත්වෙලා හිටියා.

අන්තිමට ඔය හයසින්ත් වගේ කණ්ඩායම භාරව ඉන්න දක්‍ෂ අය නිසා මේ ළමයි ආපසු කණ්ඩායමට ආවා. සමහරු විවාහ වෙලා පුංචි දරුවො පවා ඉන්න අම්මලා. නමුත් කැපවීමෙන් ක්‍රීඩා පුහුණුවීම් කළා. ජගය්‍රහණය වෙනුවෙන්ම ක්‍රීඩා කළා. එහෙම අයට වුණත් ලොකු ලොකු ප්‍රශ්න එමටයි. කෝ ඒවාට විසඳුම්. මොකුත්ම නැහැ.

මගේ කාල සීමාවේ ඒ කියන්නේ මම ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් ධුරය දරන කාලෙත් මම ක්‍රීඩාවලට දායකත්වය සපයන දරුවෝ වෙනුවෙන් ලොකුම ලොකු සේවාවක් කළා. ජාතික පුහුණු සංචිතයට ඉන්න ගොඩනැඟිලි හදලා කෑම බීම පවා දුන්නා. මේ වෙද්දී කොළඹට එන ළමයි නැවතුණේ පුංචි පුංචි ඉස්කෝලවල. ඒවායේ තිබෙන පන්ති කාමරවල බිමයි මේ ළමයි නිදාගත්තේ. මේ විධියට තමයි ජාතික ක්‍රීඩාවලට සම්බන්ධ ළමයින්ට සැලකුම් ලැබුණේ.

කොහොම හරි 2021 මම නෙට්බෝල් පෙඩරේෂන් එකේ සභාපති ධුරයට තරග වැදිලා ජය ලබාගත් පසුවත් හැකි උපරිම විධියට සේවය කළා. නමුත් කොරෝනා උවදුර නිසා ක්‍රීඩිකාවන්ට පුහුණුවීම් අඩු වුණා. කොළඹ එන්න බැරි වුණා. එහෙම තිබියදී තමයි 2022 ඔවුන් ආසියානු කුසලානය පවා දිනාගත්තේ.

දැන් අපේ කණ්ඩායමට ලෝකයේම කණ්ඩායම් අතරින් 18 වැනි ස්ථානයට වගේ ඉන්නවා. මේ තත්ත්වය තවත් ඉදිරියට යන්න නම් ඊළඟ පරම්පරාවට අපි පැහැදිලි මාවතක් හදන්න කටයුතු කළ යුතුයි‘ හිටපු සභාපතිනිය කියන්නීය.

පසුගිය කාලයේ මේ නෙට්බෝල් කණ්ඩායමේ ගෑනු ළමයින්ට ගමන් බිමන්වලට පවා වාහන තිබුණේ නැහැ. පොදු ප්‍රවාහන සේවාව පවා කඩාවැටිලා තිබුණේ. අන්තිමට කණ්ඩායමේ පුහුණුවීම් භාරව සිටින හයිසින්ත් වගේම මමත් හැකි විධියට අපේ වාහනවල තුන් හතර දෙනාව දමාගෙන ගමන් පහසුකම් ඇති කළා. මේවා මෙහෙම වෙද්දී තමයි අපේ කෙල්ලෝ ආසියානු කුසලානය දිනා ගත්තේ. ඒකට අවශ්‍ය පුහුණු කඳවුරක් පවා පහසුකම් පවා නොතිබුණු වටපිටාවක මේ ගත්ත ජයග්‍රහණය සුළුපටු එකක් නෙවෙයි. ඉතින් දැන්වත් මේ කණ්ඩායම දිහා බලන්න. තව දවස් කිහිපයකින් ඒ ජය අමතක කරලා, දන්නේ නැහැ වගේ ඉන්න බලධාරීන් අපට ඕන නැහැ. රාජිනි ජයකොඩි මහත්මිය අපේ කතාබහ අවසන් කළේ එහෙමය.

සිංහලයාට හැමදේම මතක ඇත්තේ දින කිහිපයක් පමණක් බව ඔබ, අපි කවුරුත් දන්නා ඇත්තකි. කිසියම් සිදුවීමකදී සිංහලයා තරම් හදිසි තීරණ ගන්නා කෙනකු එසේම ඒ තීරණ හා ක්‍රියාමාර්ග ඉක්මනින්ම අමතක කරන කෙනකු නැති තරම්ය. ඒ බව ඔබට, අපට වඩා අපට එරෙහිව ක්‍රියාකරන බොහෝ ඇත්තෝ දනිති. ඉඳින් දැන්වත් අපේ නෙට්බෝල් ශූරියන් මුහුණ දී සිටින මේ ගැටලුවලට සාර්ථක පිළිතුරු ලබාදී හෙට දවසේ ලබාගත යුතුම ඇති ජයග්‍රහණ පිළිබඳව සැලසුම් සකස් කිරීම බලධාරීන්ගේ යුතුකමකි. එසේ නැතිව කුසලාන දිනාගත් ක්‍රීඩිකාවන් සමඟ ඡායාරූපවලට පෙනී සිටීමෙන් පසු මුනිවත රැකීම හා වහසි බස් දෙඩවීමෙන් පලක් නැත.

සමන් ප්‍රියංකර නම්මුනිගේ