ආර්ථික අහේනියෙන් බැට කන දරුවන්ට බත් කටක්වත් දෙන්න බැරි තරමට අපි වැටුණු තැන

0
39

පොත් බෑගය වෙනුවට සහල් උරය කර මත තබාගෙන යන පාසල් සිසුවෙක් අප දුටුවේ මුහුණුපොතෙන්ය. එහි තිබූ සටහනට අනුව ඒ ශිෂ්‍යයා තම යෙහෙළියට ලැබුණු සහල් කිලෝ 10යේ උරය කර මත තබාගෙන ගියේ පන්ති කාමරයේ මිතුරියට ඒ බර ඔසවාගෙන යෑමට තරම් හයියක් නැති බව ඔහු හොඳින්ම දන්නා නිසාය. මේ සිසුවා ඒ බර කර මත තබාගෙන ගමන් කරන්නේ ඔබේ, අපේ වරදින් නොවන බව අපි කවුරුත් දන්නා සත්‍යයකි.

ඊට වගකිව යුතු වන්නේ දරුවන්ගේ පෝෂණයටත් බලපාන අයුරින් අනුවණ තීන්දු තීරණගත් අපේ රටේ ඇතැම් පාලකයෝය. කුසගින්න නිසා හෝ පවුලේ දරිද්‍රතාව නිසා පාසල් යෑමට නොහැකි වන දරුවන් පිළිබඳ ඛේදනීය තත්ත්වය මතු කළේ ඔවුන්ය. අද අප අසන්නේ කුසගින්න නිසා උදෑසන රැස්වීමේදී ක්ලාන්ත වී ඇද වැටෙන දිවා ආහාරයට පොල් මඳ උලුප්පා ගෙන එන එමෙන්ම බත්පතට මිරිස් කුඩු පමණක් දමාගෙන එන දරුවන් පිළිබඳ අනුවේදනීය කතාය.

වර්තමානයේ කුසගින්නේ වේදනාව දැනෙන දරුවන්ගේ ප්‍රමාණය දිනෙන් දින වර්ධනය වන්නට පටන්ගෙන ඇත. ඔවුන්ගේ බත්පත සකසා දෙන්නට මවුපියන්ට දැන් නොහැකිය. පසුගිය දින කිහිපය පුරා ලංකාවේ විවිධ ප්‍රදේශයන්ගෙන් එවැනි වාර්තා බොහොමයක් අසන්නට ලැබිණි. දරුවන්ට උදෑසන ඇතිවූ ක්ලාන්ත තත්ත්වය පිළිබඳ ගුරුවරුන් කළ සොයා බැලීමේදී අනාවරණය වී ඇත්තේ එම දරුවන් උදෑසන ආහාර වේල හෝ පෙර දින රාත්‍රි සහ උදෑසන යන ආහාර වේල් දෙකම මඟහැර ඇති බවය.

මෙතරම් සිසුන් ප්‍රමාණයක් මේ ආකාරයට ක්ලාන්ත වීම මින් පෙර කිසි දිනෙක සිදුනොවූවක් බවත් මේ තත්ත්වය අතිශය ශෝචනීය බවත් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් විශාල ප්‍රමාණයක් අප සමඟ ප්‍රකාශ කළහ. මේ අතර තවත් පාසලක බත් බැංකු පිහිටුවා ඇත. එනිසා පළාත් කිහිපයක සිටින අප ප්‍රාදේශීය වාර්තාකරුවන් හරහා අපි මේ පිළිබඳ විශේෂ විමර්ශනයක් කළෙමු. අප ඇසූ දුටු දෑ ඉතා ශෝචනීයයි. ධන ධාන්‍යයෙන් ආඪ්‍ය වූ සිරිලංකාව තුළ අද වේල දෙවේල කුස පුරවා නොගත් දරුවන් සිටින බව අසන්නට ලැබීම කෙතරම් දුක්බරද?

අපේ හෙට දවස කෙසේ විසඳේ දැයි අද අප කා හමුවේත් ඇති බරපතළ ගැටලුවකි. මේ කාරණා මෙසේ දිග හැරෙද්දී සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති, හම්බන්තොට හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජී.ජී. චමල් සංජීව පසුගියදා සමාජ සමීක්ෂණයක නිරත විය. මෙම සමීක්ෂණය සඳහා තෝරාගෙන ඇත්තේ හම්බන්තොට, සූරියවැව සෞඛ්‍ය කොට්ඨාසයේ වයස අවුරුදු 5ට අඩු දරුවන්ගේ සෞඛ්‍ය කාඩ්පත්ය.

එහිදී අනාවරණය වූ තොරතුර නම් එම ප්‍රදේශයේ දරුවන්ගෙන් සියයට 30ක් පමණ මේ වනවිටද උග්‍ර මන්දපෝෂණ තත්ත්වයට ගොදුරු වී ඇති බවත් සියයට 50ක් මන්දපෝෂණ තත්ත්වයට පත්ව ඇති බවත් ඉතිරි සියයට 20ක් මන්දපෝෂණ තත්ත්වයට ළඟා වෙමින් සිටින බවත්ය. මෙය ඉතාම ශෝචනීය තත්ත්වයකි.

එමෙන්ම ජාතික අර්බුදයකි. එනිසා හෙට දවසේ ලෝකය භාරගන්න ඉන්න දරු පරපුර වෙනුවෙන් මේ සඳහා විසඳුම් සෙවීමට සිදුව ඇත. තමන්ගේ දරුවන්ටත් ඔවුන්ගේ නූපන් දරුවනුත් වෙනුවෙන් අනාගතය හැදූ අපේ රටේ අප්පච්චිලා සමස්ත දරු පරපුරක අනාගතය අගාධයට ඇදදැමූ අරුමය දැන් දැන් පැහැදිලිය. මේ ඔවුන් සෑදූ අපේ ආශ්චර්යමත් අනාගතයයි.

රටේ සමස්තය මෙසේ වුවද මේ ව්‍යාකූලත්වය දැනෙන හෝ මානයක නොවෙසෙන මැති ඇමැති ගොල්ල අදත් ව්‍යවස්ථාව කරපින්නාගෙන සිටී. ඔවුන් සිතනුයේ මේ සියලු අර්බුදයන්ට විසඳුම් ව්‍යවස්ථාව වෙනස් කිරීමෙන්, පැති මාරු කරගන්නා අමාත්‍යවරුනට වේවැල් කසාය දීමෙන් විසැඳිය හැකි බවයි. සු‍ෙදා් සුදු ඇඳි උත්තරීතර සභාවට අපේ රටේ දරුවන්ගේ කුසගිනි ලියලා වැඩෙන අයුරු නොදැනේ. එනිසා ඔවුන් දේශීය සමීක්ෂණ නියැදි පමණක් නොව ජාත්‍යන්තර සමීක්ෂණ වාර්තාද සත්‍යයෙන් තොර බව ප්‍රකාශ කරති. අදවන විට කැලණිය අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් දරුවන්ගෙන් සියයට 25ක්ම පාසල් නොඑන බව එම කොට්ඨාසයේ අධ්‍යාපන අධ්‍යක්ෂිකාව සඳහන් කරන්නීය. මේ සඳහා දරිද්‍රතාව සහ කුසගින්න හේතු වී ඇති බව ඇය පවසන්නීය. සමස්තයක් ලෙස පාසල්වල තත්ත්වය එයයි. නමුත් ඒ පිළිබඳ කතා කිරීමට නොහැකි ලෙස ගුරු, විදුහල්පතිවරුන්ට සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂලාට මුඛ තහනම් පනවා ඇත. එනමුත් උදාසීන පාලක පෙළැන්තිය නිසා මේ තත්ත්වය තවදුරටත් සැඟවිය නොහැකි තැනට ගමන් කරනු ඇති.

මේ සිසු දරුවන්ගේ ආහාර ගැටලුව පිළිබඳ ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමයේ ලේකම් පරාක්‍රම වීරසිංහ දැක්වූ කාරණාද මෙහිදී සඳහන් කළ යුතුව ඇත. එය මෙසේය. “සිසු දරුවන්ගේ ආහාර ගැටලුව ගමට වඩා නගරයට දැනෙන ප්‍රමාණය වැඩියි. ඒ නගරයේ සියල්ල මුදල් මත තීරණය වීම නිසයි. නාගරික මවුපියන් බොහෝ දෙනෙක් දෛනික ආදායම්ලාභීන්ය. පවතින ආර්ථික අර්බුදය නිසා බොහෝ දෙනෙක්ගේ රැකියා අහිමිවෙලා. එවැනි කුටුම්බ තුළ දරුවන්ගේ අනාගතය ගැන කුමන කතාද? පාලකයන් ඒ අයගෙ සිහින ජයගන්න දරුවන්ගේ අනාගතය අඳුරු කළා. ආහාර ප්‍රශ්නය වගේම දැන් දරුවන්ට ආර්ථික ප්‍රශ්නයත් තදින්ම දැනෙනවා. මේ සාමාන්‍ය පෙළ දරුවන්ගේ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන කාලයයි.

එහෙත් දරුවන් බොහෝදෙනෙක් ඒ පරීක්ෂණයට මුහුණ දෙන්නෙ නැහැ. හේතුව දරුවො රැකියාවලට යෑමයි. උසස් පෙළ හදාරන දරුවො බොහෝ දෙනෙක් පාසල් එන්නෙ නැහැ. හේතුව ඒ අයත් තමන්ගේ බඩවියත රැකගන්න රැකියා සොයා ගිහින්. ඉතින් කොහෙද දරුවන්ට පාසල් සමයක්. දරුවාගේ අධ්‍යාපන අයිතිවාසිකම් කොහෙ ගිහින්ද?”
අපේ සිසු දියණියන් දැන් තවත් ප්‍රශ්නයකට මුහුණදී සිටිනවා. ඒ ඔවුන්ගේ සනීපාරක්ෂක තුවාවල මිල ඉහළ යෑමයි. දරුවගේ කෑම වේල පිරිමහගන්න බැරි මවුපියන් දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සලසන්නේ කෙසේද?

අපි උදේ සවස දකින්නේ මේ ඛේදවාචකයයි. දරුවන්ගේ දෙවැනි මවුපියන් ලෙසින් මේ ශෝකාන්තය දෛනිකව විඳින්නට සිදුවීම තුළ අපි පසුවන්නේත් බොහෝ සිත්තැවුලිනි. තවමත් නොපිබිදුණු මල් කැකුළුවන් මේ දරුවන්ට ගල් බොරලු සමඟ හැපෙන්නට තවම ගත සිත සවි නැත. ඒ සවිය ඔවුනට ලැබෙන්නේ අධ්‍යාපනයත් සමඟය. ඒ නිසා නිදහස් අධ්‍යාපනය නිදහසේ හදාරන්න අපේ දරුවන්ට අවකාශ සලසන්න යැයි මම රජයෙන් ඉල්ලා සිටිනවා.”
දරුවන්ගේ කුසගිනි නිවීම උදෙසා බත් බැංකුවක් නිර්මාණය කළ විදුහල්පතිවරයෙක්ද අපට මුණගැසුණි. ඒ මිනුවන්ගොඩ, කදන්ගොමුව මහා විද්‍යාලයේ විදුහල්පති ආනන්ද ජයවීරය. මේ ඔහු දැරූ අදහසය.

“පාසලේ උදෑසන රැස්වීමට විනාඩි 30ත් 45ත් අතර කාලයක් පැවැත්වෙනවා. මේ කාලය තුළ ළමයෙක් දෙන්නෙක් ක්ලාන්ත වීම සාමාන්‍යයි. නමුත් පසුගිය මාස කිහිපය තුළ මේ ප්‍රමාණය 15ත් 20ත් අතර වන තෙක් වර්ධනය වුණා. ඒ නිසා මම ගුරුවරුන්ට කිව්වා මේ සඳහා හේතුව සොයා බලන්න කියලා. ඒ අවස්ථාවේදී බොහෝ දරුවන් උදෑසන ආහාර වේල ගෙන නොමැති බව අපට තහවුරු වුණා.

තවදුරටත් ඒ පිළිබඳ සොයා බලන විට එකම දරුවා මේ ආකාරයට නිතර නිතර ක්ලාන්තවන බව පෙනී ගියා. ඒ පිළිබඳ සොයා බලන විට ඒ පවුල්වල ආර්ථික තත්ත්වය පිළිබඳ අප දැනගත්තා. ගුරුවරු සමඟ එක් වී අපි ඊට විසඳුම් සෙව්වා. අපි විවිධ ක්‍රම අනුගමනය කළා. නමුත් බත් බැංකුව ඒ සියල්ලටම වඩා යහපත් සහ සාර්ථක ක්‍රමයක් බව මට පෙනී ගියා. ඒ නිසා අපි දැන් ඒ ක්‍රමය අනුගමනය කරනවා.

මගේ පාසලේ දරුවන් 900ක් ඉන්නවා. නමුත් මට දෛනිකව අවශ්‍ය වන්නේ බත් පාර්සල් 30ත් 40ත් අතර ප්‍රමාණයක්. ඒ ප්‍රමාණය මගේ ගුරුවරු ගෙනාවා. දැන් මම ඒ අවස්ථාව ශිෂ්‍ය නායක නායිකාවන්ටත් පවරලා තියෙනවා. හැබැයි කිසිම කෙනෙක්ට බල කිරීමක් නැහැ. කැමැති නම් පුළුවන් නම් බත් පාර්සලයක් ගෙනත් නියමිත ස්ථානයෙන් තියන්න පුළුවන්. බත් ගේන්නෙ කවුද? බත් ගන්නෙ කවුද කියලා කිසිවෙක්ම නොදැනගන්නා ආකාරයට මම මේ ක්‍රමය හදල තියෙනවා. දරුවෙක් කුසගින්නෙ සිටින විට අපට ඒ අයට උගන්වන්න බැහැ. එයාලට උගන්වන දෙය ධාරණය කරගන්න බැහැ. අපිට සමස්ත ගැටලුව විසඳිය නොහැකියි. නමුත් මම මගේ දරුවන්ගේ දුකවත් නිවිය යුතුයිනෙ.

එනිසා මම මේ කාර්යය ආරම්භ කළා.” මෙවැනි බත් බැංකුවක් සූරියවැව, නමඩගස්වැව මහා විද්‍යාලයේද තවත් පාසල් කිහිපයකද දැනටමත් ආරම්භ කර ඇත. ඇතැම් විදුහල්පතිවරු සිය රැකියවේ ආරක්ෂාව පතා එම ක්‍රියාදාමය පිළිබඳ හෙළි කිරීමට අකැමැති වූහ. ඒ අතර මිරිස් හොදි සමඟ බත් ගෙනෙන, පොල් සමඟ බත් ගෙනෙන, මුරුංගා හොදි පමණක් රැගෙන එන දරුවන් පිළිබඳ තොරතුරුද වාර්තා විය. ඇතැම් දරුවෙක් පාසලෙන් ලැබෙන බත්පතින් අඩක් පමණක් ආහාරයට ගෙන ඉතිරි අඩ නිවෙසට රැගෙන යන්නේය.

ඒ නිවැසියන් කුසගින්නේ සිටින නිසාය. තත්ත්වය මෙසේ නම් සිය දරු පැටවුනට කෑම වේල දීගත නොහැකිව අසරණ වූ ඒ මවුපියන්ගේ කතාව කෙතරම් ශෝකාන්ත විය හැකිද? අප කිසිවෙක් තවමත් ඒ පිළිබඳ සොයා බැලුුවේද නැත.
ළමා පෝෂණය නැංවීම සඳහා මේ වනවිට රාජ්ය මට්ටමින් පියවර කිහිපයක් ගෙන ඇති බවත් වාර්තා වේ.

මේ අතර කෘෂිකර්ම අමාත්යාංශය, අධ්යාපන අමාත්යාංශය, සෞඛ්ය අමාත්යාංශය, ජාතික ආහාර ප්රවර්ධන මණ්ඩලය ඒකාබද්ධව පෝෂ්ය පදාර්ථ අන්තර්ගත ආහාර වේලක් සැලසුම් කර ඇත. නමුත් එම කාර්යයත් බොහෝ දෙනාගේ ෙදා්ෂ දර්ශනයට ලක්ව ඇත. මේ පිළිබඳ වඩා වැඩි හඬක් නැඟූවේ ලංකා ගුරු සංගමයේ සභාපති ජෝශප් ස්ටාලින්ය. මේ ඔහු ඒ පිළිබඳ දැරූ අදහසයි. “අපි දරුවන් ඇසුරු කරනවා. ගුරුවරුන් ඇසුරු කරනවා.

ඒ අය අපට පාසලේ තත්ත්වය කියනවා. ලෝක සෞඛ්ය සංවිධානය කියනවා අපේ රට ආහාර අර්බුදයට ලක්වෙලා කියලා. ඒත් ආණ්ඩුව පමණක් මේ වාර්තා ප්රතික්ෂේප කරනවා. මේ තත්ත්වය පාසලේදී අත්දකින ගුරුවරයා, විදුහල්පතිවරයා ඒ පිළිබඳ කතා කළාම ඒ අය දඩයම් කරන්න සූදානම් වෙනවා. අපේ රටේ පාසල් දරුවන් ලක්ෂ 43ක් සිටිනවා. ඉන් ලක්ෂ 11කට දැනට පාසල් දිවා ආහාර වැඩසටහන ක්රියාත්මකයි. නමුත් ඉතිරි ලක්ෂ 32ටත් ඉතා ඉක්මනින්ම මේ වැඩසටහන ක්රියාත්මක කරන්න සිදුවන තත්ත්වයක් තමයි වර්තමානයේ පේන්න තියෙන්නෙ.

අනිත් කාරණය මේ වැඩසටහනේදී මුලින්ම දරුවෙක් වෙනුවෙන් වෙන්කළ මුදල රුපියල් 30යි. ඒ මිලට සැපයුම් කරන්න සැපයුම්කරුවන් අකමැති වූ නිසා ඒ මුදල දැන් 60ක් කරල තිබෙනවා. නමුත් පවතින ආර්ථික උද්ධමනය හමුවේ එම මිලටත් පෝෂ්යදායී ආහාර වේලක් සැපයුම් කළ නොහැකි බව සැපයුම්කරුවන් පවසනවා. තවත් බල බලා ඉන්න බැහැ. මේ සඳහා ක්ෂණික විසඳුම් අවශ්යයි.

මේ ව්යවසනයෙන් අපේ දරුවන් මුදාගන්න මොකක්ද ආණ්ඩුවට තියෙන වැඩපිළිවෙළ. කොහේ හරි රටකින් පිනට දෙනකම් බලාගෙන හිඳීමද? අපේ දරුවන් පෙන්වලා හිඟාකෑමද? මේ තත්ත්වය මත සමබල ආහාර වේලක් කෙසේ වෙතත් කුස පුරවා ගැනීමට කුමක් හෝ සපයා ගැනීමද අතිශය ගැටලුකාරී තත්ත්වයක් වනු ඇති. හය හතර නොදත් දරුවන්ට කුසගින්නේ වේදනාව දරාගැනීමේ පාඩම කියාදෙන්නට නම් මෙරටට පාලකයන් කුමට දැයි අපි අසන්නනෙමු. නමුත් එය ඔවුනට ඇසේදැයි සැකසහිතය.

තනූජා සූරියබණ්ඩාර