ආතතිය නැති කරන්න උපදෙස් දුන්නු පේරාදෙණි සිසුවාගේ අබිරහස් මරණය

0
33

දැඩි මානසික ආතතිය නිසා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුවකු වූ අංජන කුලතුංග සිය දිවි නසා ගත් බව කියැවුණේ පසුගිය 16 වැනි සිකුරාදා රාත්‍රියේය. එදින රාත්‍රි 8.00ට පමණ තම අත් අකුරින් ලියූ අවසන් සංවේදී ලිපිය කාමරයේ මේසය මත තබා ඔහු පිටත්ව ගොස් තිබුණේ කරේ තිබූ පුංචි චේන්පොට, මුදල් පසුම්බිය හා ජංගම දුරකථනයද පමණක් නොව ලැප්ටොප් පරිගණකය පවා එහි සුරක්ෂිතව රඳවා තබමින්ය.

කෙසේ හෝ ඊට දින කිහිපයකට පසු එනම් 21 වැනි බදාදා හවස් වරුවේ අංජන කුලතුංගගේ මෘතදේහය මහවැලි ගඟ හක්ඉඳ දූපත් සමූහය ආසන්නයේ පා වෙමින් තිබියදී සොයා ගත්තේ ඔහු ගැන හොඳින් දන්නා හැමෝගේම නෙතග කඳුළින් තෙත් කරමිනි.

“අනේ මගේ පුතා! ඇයි එයා මෙහෙම දෙයක් කර ගත්තේ? හැමදාම මට කතා කරලා හැමදේම අකුරක් ගානේ කියන මගේ පුතා!” අංජනගේ අම්මා ඇඬූ­ කඳුළින් ප්‍රශ්න කළේ වේදනාව ඉවසා ගැනීමට නොහැකිවය.

ගම්පහ, වීරඟුල පොලිස් බල ප්‍රදේශයේ පිටුවැල්ගොඩ පදිංචි අංජන කුලතුංග පවුලේ වැඩිමහල් දරුවා විය. ඔහුට සිටින්නේ එක් සහෝදරියකි.

කෙසේ හෝ පසුගිය 21 වැනි සිකුරාදායින් පසුව අංජනගේ දුරකථනය විසන්ධි වී තිබීම හා අංජන ගැන කිසිදු ආරංචියක් නැතිකම නිසාම ඔහුගේ මවුපියෝ පේරාදෙණිය පොලිසිය වෙත ගියහ.

ඔවුන් අංජන සම්බන්ධයෙන් පැමිණිල්ලක් කරමින් ඉල්ලා සිටියේ ඔහු ගැන හෝඩුවාවක් සොයාදෙන ලෙසටය.  මේ ආරංචියත් සමඟ අංජනව ළඟින් ඇසුරු කළ යහළු යෙහෙළියන්  පවා කළේ වහ වහා ඔහු ගැන සොයා බැලීමය.  එමෙන්ම සමාජ ජාල වෙබ් අඩවි පාවිච්චි කරමින් තම කුලුපග මිතුරා සොයා දෙන ලෙස ඔවුහු බැගෑපත් වූහ.  එහෙත් අංජන ගැන හරි හැටි විශ්වාස කළ හැකි කිසිදු හෝඩුවාවක් ලැබුණේ නැත.

කෙසේ හෝ අංජනගේ මවුපියන් පොලිසියට කළ පැමිණිල්ල අනුව පේරාදෙණිය පොලිසිය වහා ගියේ ඔහුගේ නවාතැන්පොළ වෙතට ය. එහිදී පොලිසියට වැදගත් සාක්ෂියක් ලෙස ලැබුණේ  අංජන තම අත් අකුරින්ම ලියූ ලිපියය.  එහි තිබුණේ තමා සියදිවි නසා ගැනීමට යන පණිවුඩයයි. එමෙන්ම අතරමඟදී මිතුරකු මුණ ගැසුණොත් ඒ ගමන වෙනස්විය හැකි බවය.

අංජන බොහෝ ගමන් බිමන් ගියේ යතුරුපැදියෙන්. එදා ඒ යතුරුපැදියත් බෝඩින් කාමරය අසලම නවතා තිබුණේ පයින්ම මහවැලි ගඟ කරා යෑමට ඔහුට ඇති ඕනෑකම නිසා විය යුතුය.

“එහෙම යන්න කලින් අංජන යාළුවෝ  කිපදෙනෙක් එක්ක කෑම කන්නත් බයිසිකලෙන්ම ගිහින් තියෙනවා. ඒකත් අපිට ආරංචි වුණා.” එසේ කීවේ  අංජනගේ ළඟම මිතුරෙකි.

මේ හිතමිතුරන් පවසන ආකාරයට අංජන කුලතුංග පුදුමාකාර ගතිපැවතුම්වලින් හෙබි චරිතයකි. ඔහු අති සරල පුද්ගලයෙකි. අංජන තම මිතුරු මිතුරියන් ඇසුරු කළේ හදවතින්මය.

“එයා කතාවට හරිම දක්ෂයි. සින්දු කියන්න, නටන්න වගේම නාට්‍ය රඟපාන්නත් දක්ෂයි.  ඒ වගේම එයා අපිට හරිම හිතවත්. ඕනෑම යාළුවෙක් වෙනුවෙන් ඕනෑම උදව්වක් කරන්න තරම් මානුෂික හිතක් ඔහුට තිබුණා. ඇත්තටම ඔහුගේ මේ වියෝව අපිට දරාගන්න බැහැ. අංජන මල්ලි මෙහෙම කර ගත්තේ ඇයි කියන ප්‍රශ්නය අපි හැමෝටම තියෙනවා.”

මෙසේ කියමින් කඳුළු සැලුවේ අංජනට වඩා ඉහළ වසරක ඉගෙන ගන්නා සරසවි සිසුවියක්. ඇය පවසන ආකාරයට අංජන කවදාවත් ප්‍රේම සබඳතාවක පැටලී තිබුණේ නැත. එමෙන්ම ඒ පිළිබඳව පසුතැවිල්ලක් හෝ ගැටලුවක් තිබුණු බව පෙනුනේද නැත.

“එයා අම්මට තාත්තට හරිම ආදරෙයි. අම්මලත් එහෙමයි. කවදාවත් ගෙදරට හොරා කිසිම දෙයක් එයා කරලා නැහැ කියලා ඒ අම්මලා අඬ අඬා අපිට කිව්වා.”

අංජන කුලතුංග අති දක්ෂ යූටියුබ් සන්නිවේදනයක් විය. ඔහු පවත්වාගෙන ගියේ Psychologh with A.K නමැති නාළිකාවය. වසරකටත් වඩා වැඩි කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය මේ යූ ටියුබ් නාළිකාවෙන් ඔහු කතා කළේ තමා දන්නා මනෝ වෛද්‍ය විෂය ගැනය. එසේත් නැත්නම් මානසික ආතතිය ඇතිකරන ගැටලුවලට විසඳුම් සොයා ගන්නා ආකාරය ගැනය. ඔහු මේ කරුණු කාරණා ගැන කතා කළේ එම විෂයේ ප්‍රවීණයකු ලෙසය.

“ඇත්තටම අපිටත් හිතාගන්න බැහැ මේ තරම් අපිට උපදෙස් දුන්න, ඒ වගේම අපේ ප්‍රශ්නවලට මැදිවෙලා ඒවට උත්තර සොයා දීපු අංජන මෙහෙම දෙයක් කරගත්තේ ඇයි කියලා.”

අංජන කුලතුංග පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ අධ්‍යාපනය ලැබුවේ 4 වැනි වසරේ සිසුවකු ලෙසය.  මේ කාලය තුළදී ඔහු එම ශාස්ත්‍ර පීඨ සංගම්වල නායකත්වය පවා දැරුවේය. ඔහුට ඒ සඳහා පුදුමාකාර කළමනාකාර දැනුමක් ලැබී තිබුණේය.

“අංජන අපේ පීඨයේ ජනප්‍රිය චරිතයක්. ළමයි අතරත් එහෙමයි. ඇත්තටම ඒ හිටපු විධියට අපි කවදාවත් හිතුවේ නැහැ මෙහෙම දෙයක් කර ගනීවි කියලා.”

“අනික අංජන අපි කා එක්කවත් මේ වගේ මානසික තත්ත්වයකට පත්වෙලා ඉන්නවා කියලා දැනෙන්නවත් ඉඩ තිබ්බේ නැහැ.

“ඒත් පසුගිය කාලයේ අංජන අපිට කියලා තිබුණා එයා ඉන්නේ ලොකු ආතතියකින් කියලා. වැඩ හුඟාක් වැඩියි කියලා තමයි කිව්වේ.” මෙසේ කීවේ අංජන සොයන්නට වෙහෙසුණු ඔහුගේ මිතුරු කැල නියෝජනය කරන යෙහෙළියකි.

හිත මිතුරු මිතුරියන්ට පැවැසූ ලෙසම අංජන තම මවුපියන් අමතා විටෙක පවසා තිබුණෙත් ඔහු අධික ලෙස වෙහෙස වී ඉන්නා බවය.

“කැම්පස් එකේ හුඟාක්  වැඩ අම්මා. මට හරිම මහන්සිය.” අංජන  අවසන් වරට අම්මා සමඟ කීවෙත් එහෙමය.

මීට අමතරව ඔහු තම යහළු යෙහෙළියන්  සමඟ තවත් එක් දෙයක් පවසා තිබිණි. ඒ තමා මුහුණදී තිබෙන මානසික ආතතියෙන් මිදීමට ඔෟෂධ ලබා ගන්නා බවය. ඔහු කිහිප අවස්ථාවකදීම ඒ සඳහා ප්‍රතිකාර ලබාගෙන තිබුණේ ආතතිය නිසාමය.

කෙසේ හෝ විශ්වවිද්‍යාලයේ හිත මිතුරන් සමඟ කණ්ඩායමක් ලෙස නාට්‍ය රඟපා, ගී ගැයූ, නර්තනයේ යෙදුණු එමෙන්ම සමාජ සේවා කටයුතුවල නිරත වූ අංජන කුලතුංග අවසන් ගමන් ගියේ කාටත් හොර රහසිනි.  එමෙන්ම එසේ යෑමට තරම් හේතුසාධක වූ කාරණාවද එළිපිට හරි හැටි ප්‍රසිද්ධ නොකරමින්. අවසන් ලිපියේ සඳහන් ආකාරයට ඔහු පීඩා විඳ ඇත්තේ මානසික ගැටලුවකිනි. ඒ ගැටලුවට ඔහු හොඳින් දන්නා විෂය තුළ පවා පිළිතුරු තිබී නැත්තේ දෛවයේ සරදමක් ලෙසිනි.

“මට හිතාගන්න බැහැ මගේ පුතා මෙහෙම තීරණයක් ගත්තේ ඇයි කියලා. එයාට එහෙම වෙන්න තරම් හේතුවක් තිබුණේ නැහැ.” අංජනගේ පියා එසේ පවසන්නේ හැඬූ­ කඳුළිනි.

කුඩා කාලයේ සිටම අංජන හැදී වැඩුණේ  ප්‍රිය මනාප එමෙන්ම යහපත් ගති පැවතුම් ඇති දරුවකු ලෙසය. ඔහු කිසිවකුට වදනකින් හෝ හිංසාවක් නොකළ අපූරු චරිතයකි.

“අපි අපේ යාළුවා වෙනුවෙන් පුදුමාකාර විදිහේ වේදනාවක් විඳිනවා. ඇයි එයා මෙහෙම දුකක් අපිට දුන්නේ?  දැන් අපිට ඉතිරි වී තිබෙන ගැටලුව ඒකම විතරයි.” අංජන කුලතුංගගේ මිතුරු මිතුරියන් ප්‍රශ්න කරන්නේත් තැවෙන්නේත් ඒ ගැන සිතමින්ය.

සමන් ප්‍රියංකර නම්මුනිගේ