ආණ්ඩුව ගේම අතහැරලාද?

0
28

ශ්‍රී ලංකාවේ තිබෙන්නේ නිර්වින්දනය වූ ආණ්ඩුවකි. ජන ජීවිතය බිඳවැටී තිබේ. බොහෝ ප්‍රශ්න ගිනි ඇවිළෙමින් පැවැතියත් ආණ්ඩුවට ගානක් නැත. ආණ්ඩුව, ආණ්ඩු කරන්නේ තියෙන  දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්නවා ගානටය. ආණ්ඩුවේ ඇමැතිවරු වැඩ කරන්නේ කලකට ඉහත සමුපකාර මැනේජර්ලා කටයුතු කළ ආකාරයටය. හාල් – සිල්ලර ආවොත් බෙදනවා නැත්නම් අපිට කරන්නට දෙයක් නැතැයි, ඔවුහු එදා ගමේ ජනතාවට කීහ.

මාස් කන්නයේ අස්වැන්න අලෙවි කරගත නොහැකිව ගොවීහු සුසුම්ලති. සහල් මාෆියාවේ කූට ජාවාරම්කාරයෝ තුට්ටුවට දෙකට ගොවීන්ගේ වී අස්වැන්නට විදිති. කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර බකං නිලාගෙන උඩ බලාගෙන සිටී. මෙවර වී අස්වැන්න මිලදී ගැනීම සඳහා ආණ්ඩුව සියලු කටයුතු සූදානම් කර ඇතැයි සතියකට පෙර කියූ  ඔහු, දැන් කියන්නේ බැංකු සල්ලි දුන්නේ නෑ මං මොනවා කරන්නද කියාය. රටේ ගොවි ජනතාවට හතරවරම් දෙවියන්ගේ පිහිටය.

දරුවන් නිරාහාරව පාසල් යන බවත් ඔවුන් මන්දපෝෂණයෙන් පෙළෙන බවත් යුනිසෙෆ් සංවිධානය, පෝෂණවේදීන් හා වෛද්‍යවරු ප්‍රකාශ කළ විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවැසුවේ ශ්‍රී ලංකාවේ කිසිදු දරුවකුට කුසගින්නේ සිටීමට තමා ඉඩ නොතබන බවය. මාධ්‍ය පොල්ගෙඩි අකුරෙන් ඊට ප්‍රචාරය දුන්නේය. කුසගින්න වැළැකීමට ජනාධිපතිවරයා ගත් පියවර වූයේ ඒකාබද්ධ යාන්ත්‍රණයක් පිහිටුවීමය. දිස්ත්‍රික් මට්ටමින්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් පිහිටුවන බව කියූ ඒකාබද්ධ යාන්ත්‍රණයෙන් ජාතියේ  දරුවන්ට ඒ. බී. සී. ඩී. විටමින් ලැබුණා දැයි අප දන්නේ නැත.

රෝහල්වල බෙහෙත් නැතිව රෝගීන් මියයනවා යැයි වෛද්‍යවරු පවසද්දී සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල කියන්නේ ඔෟෂධ අඩුවක් තිබෙන බව ඇත්ත නමුත් මාධ්‍ය කියන තරම් හිඟයක් නැති බවය. ජනතා විරෝධය මැද පත්කළ රාජ්‍ය ඇමැතිවරු 38 පත්වීම් රැගෙන ආණ්ඩුවේ වාහනවල ගෙදර ගියා මිස වැටුණු රට ගොඩගන්නට වැඩ අල්ලන පාටක් දුටුවේ නැත. හෙට හෝ අනිද්දා අලුතෙන් පත්වන ඇමැතිවරුන් රොත්තගේ බරත් ඡන්දදාසලාගේ  කරපිටටම වැටෙනු ඇත.

විදේශ ඇමැති අලි සබි්‍ර ජිනීවා මානව හිමිකම් කොමිසමේදී ප්‍රකාශ කළේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මුළුමණින්ම අහෝසි කොට වඩා ලිහිල් පනතක් ගෙන එන බවය. මෙහෙම කටට ආවාට ගියාට බොරු කියන ආණ්ඩුවක් ශ්‍රී ලංකාවේ තිබුණේ නැත. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග ලබා ගත් අන්තරේ වසන්ත ඇතුළු තිදෙනා තවමත් එළියට දැම්මේ නැත. පොලිසිය අරගලයේ මහ මොළකරු සොයමින් සිටී.

දේශපාලන විශ්ලේෂක දයාන් ජයතිලක පසුගිය සතියේ පැවැසුවේ අරගලයේ මහ මොළකරු අන් කිසිවකු නොව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් බවය. ආර්ථිකය බිඳවැටෙමින් තිබෙන බව රටට සැඟවූ ඔහු අපට අවශ්‍ය තරම් ඩොලර් තිබෙනවා යැයි පුරසාරම් දෙඩූ බව ඔහු කීවේය. සියලුම ආර්ථික විශේෂඥයන් අවසානයට ඉතිරි වී තිබුණු ඩොලර් මිලියන 500 ස්වෛරී බැ¾දුම්කර සඳහා නොගෙවන ලෙස දිගින් දිගටම කියද්දී අප කිසිවකු නොදන්නා වාණිජ ආයතනවලට හා පුද්ගලයන්ට කබ්රාල් එම මුදල් ගෙවා දැමුවේ උඩ පැන පැන සිනාසෙමිනි.

මේ භයානක උගුලට රට ඇද දැමීමේ පළමු වගඋත්තරකරුවන් වන්නේ හිටපු ජනාධිපති හා මුදල් ඇමැති මහින්ද රාජපක්ෂ සහ වර්තමාන ජනාධිපති හා මුදල් ඇමැති රනිල් වික්‍රමසිංහය. ගිනි පොලියට වාණිජ ආයතනවලින් ණය ගෙන රටේ ණය කන්ද ඉහළ දැමුවේ ඔවුන්ය. රනිල් වික්‍රමසිංහ යහපාලන ආණ්ඩුවේ අගමැතිව සිටියදී ලබාගත් වාණිජ ණය ප්‍රමාණය ඇමරිකන් ඩොලර් බිලියන 12කි. ප්‍රශ්නය ඇති කළ උදවියටම ප්‍රශ්නය විසඳන්නට පවරා බලා සිටීමට සිදුවීම ඓතිහාසික සරදමකි. අප්පච්චි මළා ණය කන්දක් ගෙවන්නට තිබේ ණය ගත්තේ කාගෙන්දැයි කිසිවකු නොදනී.

හම්බන්තොට වරාය චීනයට බදු දී ලබාගත් මුදල්වලට කළේ කුමක්දැයි මහ බැංකුවේ කිසිදු වාර්තාවක සඳහන්ව නැති බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. වරාය චීනයට පවරා විශාල චෙක්පතක් සමඟ ඡායාරූපයට පෙනී සිටියේ යහපාලන ආණ්ඩුවේ අගමැති රනිල්ය. හැමදාමත් නෙගටිව් පුවත් පළ කරනවා යැයි පත්තරවලට ‍ෙදාස් කියා පලක් නැත. කණකොකා ඉගිළෙන විට හෝ සුද පෙනේ යැයි අපි බලා සිටින්නෙමු. රටකට ආණ්ඩුවක් අවශ්‍ය වන්නේ ආණ්ඩු කරන්නට මිස සූදු කෙළින්නට නොවේ.