අම්මාවරු නැති දරුවන්ගේ සංකා දුක් කවුදෝ දන්නේ ඒ දුක දන්නා අම්මාවරුමයි මතු යම් දවසක බුදු වන්නේ..

0
29

මවු කිරිල්ලියකගෙ උණුසුම පිරුණු කුරුලු කැදැල්ලක් දෙසින් එන කුරුලු පැටවුන්ගේ මිහිරි කිචිබිචිය ඔබටත් ඇසී ඇති. ඒ ඇසෙන්නේ මවු සෙනෙහස දැනෙන නිසාවෙන් නැඟෙන පී්‍රති ප්‍රමෝදයේ හඬයි. ඉර්ණීඉ ළමා ගම්මානය යනු එවන් කිචිබිචියක උණුසුම් හැඟීම හදට ගෙනෙන ආදරයේ බිම් කඩකි.

මවුපිය රැකවරණය අහිමි වු දරු දැරියන් රැසක් මෙම ගම්මානයේ දිවි ගෙවන්නේ මවකගේ ඇල්ම බැල්ම ලබමිනි.

අක්කර 15 ක් පුරා පැතිර ගිය මනරම් භූමියක පිහිටි පිළියන්දල ඉර්ණීඉ ළමා ගම්මානයට මවුවරුන් හා දරුවන් පිරිසක් මුල් වරට පදිංචියට එන්නේ 1981 දීය.

අද එහි ගෙවල් 16කි. එක් නිවෙසක මව සමඟ දරුවන් 8 දෙනෙකි.

දරු පරම්පරා කිහිපයක් හැදී වැඩී පියඹා ගොස් අවසානය.

ඒ අතර වෛද්‍යවරුන්, ඉන්ජිනේරුවන් මෙන්ම අනෙකුත් සෑම ක්‍ෂේත්‍රයකම විසිරී සිටින වැඩදායි දරු පිරිසකි.

ඉර්ණීඉ ළමා ගම්මානයන්හි ක්‍රියාත්මක වන්නේ අපි අසා දැක පුරුදු සාමාන්‍ය ළමා නිවාසයකින් ඔබ්බට ගිය පවුල් සංකල්පයකි.

විශේෂත්වය නම් පරිවාස සහ ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුව හෝ උසාවි නියෝගයකින් ඉර්ණීඉ ළමා ගම්මාන වෙත ලබා දෙන සරණක් අවැසි වයස අවුරුදු 10ට අඩු දරුවන් හට මවකගේ රැකවරණය සහ ආයතනයේ අනුග්‍රහය මැද ගම්මානය තුළ ගෙදරක නිදහසේ හැදී වැඩීමට අවස්ථාව ලැබීමයි. එකම පවුලේ සහෝදර සහෝදරියන් සිටියි නම් ඔවුන්ට එකම නිවෙසක විසීමටද අවස්ථාව හිමි වෙයි.

පිළියන්දල ඉර්ණීඉ ළමා ගම්මානය තුළ අධ්‍යාපන අමාත්‍යාංශය හා සම්බන්ධ හර්මන් මයිනර් නමින් අංගසම්පූර්ණ පාසලකි. පිළියන්දල සෞඛ්‍ය සේවා කාර්යාලය විසින් පවත්වා ගෙන යන වෛද්‍ය මධ්‍යස්ථානයකි.

මේ දරුවන්ට අවට සමාජය සමඟද සබඳතා පැවැත්වීමටද නිදහස ඇත.

මූලික අවශ්‍යතා හැරුණු විට නිවෙසක තිබෙන සාමාන්‍ය පරිසරය සමඟ මධ්‍යම පාන්තික දිවි පෙවෙතක් ගත කිරීමේ පහසුකම් සියල්ල මේ දරුවන්ට උරුමය. තවත් විශේෂත්වයක් නම් ඉර්ණීඉ ළමා ගම්මානය මේ දරුවන්ට වයස අවුරුදු 18 වූ පසුවද අවශ්‍ය පරිදි ඔවුන් ගැන සොයා බැලීමයි.

සියල්ලටම වඩා මෙතුළ ලැබෙන මවකගේ ආදරය මේ දරුවන්ට මහමෙරකි. ඔවුන් නිවසේ හැදීවැඩී සාමාන්‍ය දරුවෙක් ලෙස නිවෙසින් පිටව ගියත් අම්මා සමඟ ඇත්තේ නොසිදෙන බැඳීමකි. විවාහයේ පටන් ජීවිතයේ සෑම සිදුවීමකටම අම්මා නැතුව බැරිය. ඒ තමන්ට සිටින විශ්වාසවන්තම ආදරණීය පුද්ගලයා ඇය බව මේ දරුවන් හදවතින්ම පිළිගන්නා බැවිනි. ඔවුන්ගේ මහගෙදර අම්මා ජීවත් වන ඉර්ණීඉ ළමා ගම්මානයයි.

ඉර්ණීඉ ළමා ගම්මානයක මවකගේ භූමිකාව විශේෂය. තම කුසින් වැදූ දරුවන්ටද සෙනෙහස නොදී ඉවත බලන ‘අම්මාවරු’ සිටින ලොවක ඉර්ණීඉ ළමා ගම්මානයන්හි අම්මලාගේ කැපවීම විශිෂ්ටය.

සෑම වසරකම අගෝස්තු 16දා ඉර්ණීඉ අම්මාවරුන්ගේ දිනය ලෙස නම් කර තිබෙන්නේ එනිසාය.

ඉර්ණීඉ ළමා ගම්මානයට බඳවා ගැනීමට තෝරා ගන්නා කාන්තාවකට ආයතනය විසින් මුලින්ම මාස 03ක ප්‍රායෝගික පුහුණුවක් ලබා දෙනු ලැබේ. ඊට ආහාර පාන, නවාතැන් පහසුකම් අයත්ය.

එම කාලය තුළ දිරි දීමනාවක්ද ගෙවනු ඇත. ඒ අතරතුර ආයතනය විසින් මවගේ පවුල් සහ සමාජ පරිසරය පිළිබඳ විධිමත් සොයා බැලීමක නිරත වෙයි.

ඒ මාස 03න් පසු එම කාන්තාවටද සේවයට බැඳීම පිළිබඳ තීරණය කිරීමට අවස්ථාව ලැබෙයි.

පත්වීම ලබා දෙන්නේ ඉන් අනතුරුවය.

මෙලෙස ඉර්ණීඉ ළමා ගම්මානයට සම්බන්ධ වූ සියයක පමණ කාන්තාවන් පිරිසක් අද වනවිට ගම්මාන 6ක දරුවන්ට මවුවරුන්ව සිටිති.

පිළියන්දල ඉර්ණීඉ ළමා ගම්මානයේ සේවයේ නියුතු යමුනා කුමාරි අම්මා මේ ගැන ඇගේ අත්දැකීම පැවැසීමට එක් වූයේ බොහෝ සතුටිනි.

“මම මේ ආයතනයට බැ¾දුණේ වයස 27දී. මට ඉර්ණීඉ ළමා ගම්මානයෙන් අවුරුදු 2ක පුහුණුවක් ලැබුණා. ඊට පස්සෙ තමයි අම්ම කෙනෙක් විදිහට මේ ගෙදර භාර ගත්තෙ. දැන් මම ඇවිත් අවුරුදු 20ක් වෙනවා.

මේ වෙද්දී දරුවො 32ක් ලොකු මහත් කරලා තියෙනවා.

සාමාන්‍ය ගෙදරක අම්ම කෙනෙක් වගේම ආදරෙන් මේ දරුවන්ට කෑම බීම ටික මගෙ අතින්ම උයල පිහල දෙනවා. අධ්‍යාපන කටයුතු ගැන හොයලා බලනවා.

මේ වෙද්දී අපේ ගෙදර මාත් එක්ක දරුවො 6 දෙනෙක් ඉන්නවා. එයාලා එක ගෙදරක සහෝදර සහෝදරියෝ විදිහට ලොකු මහත් වෙනවා.

දරුවන්ට ලෙඩක් දුකක් වුණත් මට ඒක දැනෙනවා. හොස්පිට්ල් එකක දරුවෙක් නැවැත්තුවත් මට එයාව එතැන දාලා ඇවිත් ගෙදර ඉන්න බෑ. අපිට ගෙදර ගිහින් එන්න නිවාඩු තියෙනවා. ඒ ගියත් දරුවො මතක් වෙලා දවසින් දෙකෙන් එනවා. දරුවො දාලා යන්න හිතෙන්නේ නෑ.

එහි විශ්‍රාම සුවයෙන් පසුවන ෂර්ලි විල්සන් අම්මා සිය අත්දැකීම් බෙදාහදා ගත්තේ මෙසේය.

“මම 1981 අගෝස්තු 16දා ඉර්ණීඉ ළමා ගම්මානයට බැ¾දුණු මුල්ම සාමාජිකාවන් 16 දෙනාගෙන් කෙනෙක්. එදා මගෙ වයස 32යි. ඒ කාලෙ සර්වෝදයෙන් අපිට මාස 2ක පුහුණුවක් ලැබුණා.

එයින් පස්සෙ මගෙ අතට මුලින්ම මාස 11ක වයස නිවුන් දරුවො සහ අවුරුදු තුනක දරුවෙක් භාර වුණා. ඒ පටන් ගත්ත ගමනෙ වයස 61දී විශ්‍රාම යද්දී දරුවො 30 දෙනෙක් මේ අත්වලින් හදලා වඩලා සමාජයට දීලා තියෙනවා. දැන් මට වයස 74ක්. ජීවිතේ දිහා ආපස්සට හැරිලා බලද්දී හරි සතුටක් දැනෙනවා.

මම විවාහ වෙන්නෙ නෑ කියල තීරණය කරල තිබුණෙ. ඒ බැඳීම දුකක් කියලයි දැක්කෙ. මොකද මගෙ තාත්තා නැති වුණාට පස්සෙ අම්මා තනියම අපිව හදා ගන්න වින්ද දුක මම දැක්කා. පුංචි කාලෙ ඉඳල සමාජ සේවයට කැමැත්තක් තිබුණා. ඒ අතර තමයි පත්තරේක තිබුණ දැන්වීමකට ඉල්ලුම් පත්තරයක් දාලා අම්මගෙත් කැමැත්ත ඇතිව මේ රස්සාවට ආවෙ.

එදා ඉඳල මම අම්මා කෙනෙක් වුණා. මගෙ අම්මා ගෙදරදී මට දුන්න ආදරය මම මේ දරුවන්ට දුන්නා. දරුවන්ට තනියම සමාජයට යන්න පුළුවන් දවස වෙනකන් මගෙ රැකවරණය දුන්නා. ‍යහපත් දරු පිරිසක් සමාජගත කරන්න මට පුළුවන් වුණා. ඒ හැම දරුවෙක් ගැනම මට තියෙන්නේ එක සමාන ආදරණීය හැඟීමක්.

දැන් මේ ඉර්ණීඉ ළමා ගම්මානය ඇතුළෙම විශ්‍රාම නිවහනක විශ්‍රාම සුවයෙන් ඉන්නවා.

මම දැන් ආච්චි අම්ම කෙනෙක්. මගෙ දරුවො, මුනුපුරු මිනිපිරියො පුළුවන් හැම වෙලාවෙම මාව බලන්න එනවා. ඒක සතුටක්.

මට හොඳ විශ්‍රාම වැටුපක් ලැබෙනවා. ඊට අමතරව වෛද්‍ය පහසුකම් ලැබෙනවා. ආයතනයෙන් ආගමික වැඩසටහන්වලට සම්බන්ධ කරනවා, වන්දනා ගමන් එක්ක යනවා.

මෙහි වෙසෙන බොහෝ දරුවන්ට කැපකරු මාපියන් ඇත. දයා හදැති ඔබට ඒ සඳහාද අවස්ථාව ඇත. දැයේ දූ දරුවන් වෙනුවෙන් සැබෑම වුවමනාවකින් කටයුතු කරන ඉර්ණීඉ ළමා ගම්මානයේ සුහදශීලී කාර්ය මණ්ඩලය ඔබට සහාය වනු ඇත.

වයලට් ප්‍රිදර්ශනී විතානගේ