අපි ලොකු ලොකු දේවල් කළා ජනතාව කන බොන හැටි ගැන බැලුවෙ නෑ

0
20

රටේ තියෙන ආර්ථික, සමාජීය අර්බුදයන් හේතුවෙන් ජනතාවට කන්න බොන්නවත් නැතිව ඉන්න මොහොතක දරුවෝ මන්දපෝෂණයෙන් පෙළෙනවා කියලා වෛද්‍යවරුන් කියද්දී ඇමැතිවරු නෑ කියනවා. ඔබ හිතනවාද දරුවන්ට මන්දපෝෂණය කියන්නේ බොරුවක් කියලා?

නෑ. මම නම් හිතනවා ඉතාමත් දැඩි ආර්ථික අර්බුදයක රට තියෙන වෙලාවක මිනිසුන්ගේ ජීවන වියදම ඉතාමත් ඉහළයි. මිනිස්සු පැත්තෙන් ගත්තාම ඉතාමත් අමාරු තත්ත්වයක් තියෙනවා. දැන් ඉන්ධන ගාස්තු එක්කලා ප්‍රවාහන ගාස්තු වැඩිවෙලා තියෙනවා. එතකොට ඒකත් ජනතාවට බරක් වෙලා තියෙනවා. ඊළඟට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල සම්බන්ධයෙන් ජනතාව විශාල අමාරුවක ඉන්නවා. අපි දන්නවා මේ රටේ ලක්ෂ හැත්තෑවක් එක වේලක් කාලා ජීවත් වෙන ජනතාවක්. ඒක නිසා විවිධ අමාරුකම් එක්කලා මේවගේ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේක දැන් මේ අපි කතා කරකර දැන් ඒකම කතා කරකර එක එක්කෙනාට චෝදනා කරකර ඉන්න එකක් නෙමෙයි.

අඩුම ගානේ අපිට පුළුවන් නම් මේ රටේ එක්තරා පිරිසක් ඉන්නවා පුදුම විදිහට සල්ලි තියෙන. සීයට විස්සක විතර කොටසක් ඉන්නවා හැකියාව තියෙන අය. අඩුම ගානේ මේ අපේ අහිංසක දරුවෝ ටික. අපිට දෙන්න පුළුවන් එක්කෙනෙක් එක දරුවෙක් බලා ගන්න. අඩුම ගානේ මට පුළුවන් නම් මට යම්කිසි හැකියාවක් තියෙනවා නම් මගේ ගේ ගාව ඉන්නවා නම් අහිංසක දුප්පත් දරුවෙක් ඒ දරුවට කෑම ටිකක් දෙන්න. ඒ දරුවට උදවුවක් කරන්න. එහෙම අපි හිතන්න ඕනේ. රජයත් එහෙම හිතන්න ඕනේ. රජයත් එහෙම හිතලා අඩුම ගානේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරලා අපේ හොඳම සම්පත තමයි මේ දරුවෝ ටික. අපේ දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා සපුරාගැනීමට හැම දෙනාම එකතුවෙලා ස්වේච්ඡා සංවිධාන වෙන්න පුළුවන්, පාසල් වෙන්න පුළුවන්, හැකියාව තියෙන අය වෙන්න පුළුවන්. ඒ සේරම එකතු වෙන්න ඕනේ. ඉතින් මම හිතනවා රජයේ ප්‍රධාන වගකීමක් තමයි එහෙම තත්ත්වයක් තියෙනවා නම් ඒකට මුහුණ දෙන එක.

• රජය ආර්ථික අර්බුදයට විසඳුමක් ලබා නොදෙන්නේ නම් ජනතාව සාගතයකින් මිය යෑමට ඉඩ තිබෙනවා නේද?

සාගතෙන් මැරෙන තත්ත්වයකට අපේ රටේ ජනතාව පත්වෙන්නේ නෑ. හැබැයි එහෙම කියලා අපිට අර ස්වභාවිකව මේක වෙනකම් ඉන්න බැහැ. මේක රජයක් හැටියට මැදිහත් වෙන්න ඕනේ. ජනතාව පැත්තෙන් මම කියන්නේ අපි මොනම ක්‍රමයකින් හරි අඩුම ගානේ කන බොන දේ අඩු කරන්න ඕනේ. අපි හැමදාමත් සමහරක් ලොකු දේවල් කළා. ජනතාවගේ කන බොන දේවල් ගැන අවධානය යොමු කළා අඩුයි කියලා මම හිත්නනේ.

මම කියන්නේ සුඛෝපභෝගි කෑම දෙන්න ඕනේ කියන එක නෙමෙයි කියන්නේ. අඩුම ගානේ මිනිසුන්ට සාමාන්‍යයෙන් පෝෂණ අවශ්‍යතාත් එක්කලා කෑම වේලක් ලබාදීම කියන කාරණාවේ වගකීම අපි සියලු දෙනාටම තියෙනවා. විශේෂයෙන්ම රජයට තියෙනවා.

• දැන් මිනිස්සුන්ට කන්න විතරක් නෙමෙයි ලෙඩට දුකට බෙහෙත් ටිකවත් නැති වෙන පාටක් පේන්න තියෙනවා කියලා සෞඛ්‍ය අංශ අනතුරු අඟවලා තියෙනවා?

එතැනදි නම් මෙහෙමයි. සෞඛ්‍ය පැත්තෙන් ගත්තහම මම හිතන්නේ අපි පහුගිය කාලේ දන්න කාරණාවක් තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට වැඩපිළිවෙළක් තිබ්බා මේ රටේ ඔය ඔෟෂධ නිෂ්පාදනය කියන කාරණාව. ඒකෙදි අපි හුඟාක් වෙලාවට දකින දෙයක් තමයි, මේක ඇත්තටම ජාත්‍යන්තර මාෆියාවක්. මේක ඇත්තටම බෙහෙත් නිපදවන සමාගම් එක්කලා, ලෝකෙන් අපිට මෙහෙට බෙහෙත් එවන සමාගම් එක්කලා සහ අපි මෙහේ බෙහෙත් නිෂ්පාදනය කරන්න ගියාම ලොකු තරගයක් ඇති වෙනවා. ඒකට මුහුණ දෙන්න වෙලා අපේ මහාචාර්යවරුන්ගේ ජීවිත පවා නැති වුණා.

ඉතින් ඒක නිසා මම හිතනවා ඒ බැරියස් කඩාගෙන යන්න ඕනේ එකක්. අනෙක් කාරණාව තමයි දැන් මේ තියෙන ඩොලර් අර්බුදයත් එක්කලා පුළුවන් තරම් අපිට මේක කළමනාකරණය කර ගැනීම කියන කාරණාව ඒක කරන අයගේ වගකීම.

• රටේ වත්මන් ආර්ථික අර්බුදයට විසඳුමක්  ඔබ දකින්නේ කොහොමද?

එකක් අපි අඳුරගන්න ඕනා මොනවාවලින්ද අපි ආර්ථිකය ශක්තිමත් කරන්නේ කියලා. එකක් තමයි අපිට තියෙන හොඳම සම්පත තමයි මානව සම්පත. දෙවැනියට අපිට තියෙනවා අපේ ස්වාභාවික පිහිටීම, මේ රට පිහිටලා තියෙන තැන. අපි ගත්තොත් එහෙම ලෝක සිතියම අරගෙන ගත්තොත් හරියටම පෙර අපරදෙදිග දෙපැත්තටම හරියටම මැදින් තමයි අපිව පිහිටලා තියෙන්නේ. එතකොට අපිට වෙළෙඳ නාවික කේන්ද්‍රස්ථානයක් කර ගන්න හොඳම තැනක අපි ඉන්නේ. සංචාරක කර්මාන්තයේ හොඳම තැන. ඊළඟට ස්වාභාවික සම්පත්වලින් අනූන රටක්. ලෝකයේ දේශගුණික කලාප තියෙනවා අපිට. ලස්සන වෙරළ තීරයක් තියෙනවා. සුන්දර කඳුකර තියෙනවා. දිය ඇලි තියෙනවා.

ඉතින් පළමුවැනි කාරණාව තමයි මේවා කළමනාකරණය කර ගැනීම. ඉලක්ක ගත වැඩපිළිවෙළක් එක්කලා කළමනාකරණය කර ගත්තොත් මම හිතන්නේ ආර්ථික අර්බුදය ලොකු ප්‍රශ්නයක් නෙමෙයි.

• රටේ ඇතිවුණු ආර්ථික අර්බුදයට වගකිව යුත්තේ දේශපාලකයන්ද? රාජ්‍ය නිලධාරීන්ද?

සේරමලාම. එකක් තමයි දැන් මම කියන්නේ දේශපාලනඥයන්ගේත් කොටසක් ඉන්නවා මේකට වගකියන්න ඕනේ. රාජ්‍ය නිලධාරීන්ගෙනුත් කොටසක් ඉන්නවා වගකියන්න ඕන.

මේ රටේ වගකිව යුතු සමහරක් අය වංචා දූෂණ කරපු ඒවාට සම්බන්ධ වෙච්ච දේශපාලන අධිකාරි. තාමත් ඉන්නවා ඒවා තාමත් කරන. ඒවාට සම්බන්ධ අය පුරුද්දක් වගේ දිගටම කරන අය ඉන්නවා. ඊළඟට නිලධාරීන් පිරිසකුත් ඉන්නවා. මම කෙළින්ම චෝදනා කරනවා. මේ රටේ හිටපු ජනාධිපති ලේකම්, මුදල් අමාත්‍යාංශ ලේකම්, මහ බැංකුවේ හිටපු අධිපතිවරයා ඇතුළු සමහරක් රාජ්‍ය නිලධාරීන්. සමස්තයම නෙමෙයි සමහරක් රාජ්‍ය නිලධාරීන් මේ තත්ත්වයන්ට වගකියන්න ඕනේ. ඒගොල්ලෝ මේක දැක්කේ නැද්ද? විශේෂයෙන්ම මහ බැංකුවේ නිලධාරීන් මේක දැක්කේ නැද්ද, මේ මේ තත්ත්වයන්.

• රාජ්‍ය නිලධාරීන් පිටින් දාලා වත්මන් මහ බැංකු අධිපතිවරයාවත් ගෙදර යවන්නද ලෑස්තිය?

නෑ…නෑ… මේ මහ බැංකු අධිපතිවරයා ගැන මට තියෙනවා. එතුමා ගත්ත සමහර තීන්දු ගැන මට පරස්පරතා තිබ්බත්. මම හිතනවා එතුමා දැක්මක් එක්ක වැඩ කරනවයි කියලයි මට හිතෙන්නේ.

• ඒ කියන්නේ දේශපාලන ප්‍රතිපත්ති වැරැදිලාම නැද්ද?

ඔව්, පහුගිය කාලේ ගත්ත වැරැදි ප්‍රතිපත්ති තිබුණා. ඔය පොහොර ප්‍රතිපත්තිය ගන්නකෝ, පොහොර ප්‍රතිපත්තිය වැරැදියි කියලා අපි කිව්වා. හැබැයි මේ පොහොර ප්‍රතිපත්තිය තුළම පිහිටලා කටයුතු කරන්න ඕනේයි කියලා උපදෙස් දුන්න නිලධාරීන් පිරිසක් ඉන්නවා. ඒ නිලධාරීන් අදටත් ඉන්නවා. දේශපාලනඥයන්ගේ ගෙවල් ගිනි තියලා තියෙනවා. හැබැයි ඒ නිලධාරීන් ඉන්නවා. ඉතින් ඒක නිසා මම හිතනවා, ඒකට වගකිව යුතු පිරිසක් ඉන්නවා. දැන්වත් ඒ හැම කෙනාම තේරුම් ගන්න ඕනේ අපිට වැරැදුණේ කොතැනද? වැරදිච්ච තැන ඉඳලා ඉස්සරහට යන්න.

• ඔබ දකින විදිහට වර්තමාන දේශපාලන තත්ත්වය කොහොම එකක්ද?

මේ ඇතිවෙලා තියෙන තත්ත්වයෙන් රට මුදා ගන්නට නම් දේශපාලනය කරන සියලු දෙනාමත් රාජ්‍ය නිලධාරීන් හා සමස්ත මහජනතාවත් සියලු දෙනා එකතු වෙලා උපරිම දායකත්වයක් රට වෙනුවෙන් දෙන්න ඕනේ අවස්ථාවක තමයි මේ දේශපාලන තත්ත්වය තියෙන්නේ. දේශපාලනය කරන සියලු දෙනාගේ වගකීම වෙන්න ඕනේ රටේ ඇතිවෙලා තියෙන මේ ආර්ථික තත්ත්වයට තමන්ට දෙන්න පුළුවන් උපරිම සහයෝගය දක්වලා වැඩකටයුතු කරන එක.

• සර්වපාක්ෂික ආණ්ඩුව කතාවට විතරක් ලඝු කරලා තියෙන්නේ ඇයි?

දැන් මේ වෙලාවේදී අපි සියලු දෙනා දැනගන්න ඕනේ එකක් තමයි දැන් එළියේ කරන කතාවක් තමයි 225ම එපා කියලා. හෙට 225ම අස්වුණොත් එහෙම ඊළඟට ලැයිස්තුවේ ඉන්න තවත් 225ක් පාර්ලිමේන්තුවට එනවා. කවුරු හරි 225ක් එනවා. එතකොට 225 වැඩි වෙන්නේ නෑනේ. දැන් එන 225 පිළිබඳවත් ඒ වගේම කතා කරයි. ඒ නිසා මම හිතන්නේ 225 සේරම මේ රටේ පුද්ගලයෝ. අපි සියලු දෙනාටම වගකීමක් තියෙනවා. දේශපාලනික වශයෙන් වගකීමක් තියෙනවා. පක්ෂවලට වගකීමක් තියෙනවා. අපි සියලු දෙනාටම මේ වෙලාවේ වගකීම තමයි මේ ඇතිවෙලා තියෙන තැනින් රට මුදා ගැනීම. එතකොට එකක් තමයි වංචාව, දූෂණය, නාස්තිය එක පැත්තකින් නැති වෙන්න ඕනේ. ඊළඟට ප්‍රතිපත්ති තියෙන්නෙ ඕනේ. වෙනස් නොවන ප්‍රතිපත්ති තියෙන්න ඕනේ. ඒ වගේම අපි අංශ තෝරගන්න ඕනේ. මොනවාවලින්ද අපිට විදේශ විනිමය ගේන්න පුළුවන්. විදේශ විනිමය ගේන්න පුළුවන් අංශ ශක්තිමත් කරනවා වගේම ඒවල ක්‍රමවත් වැඩපිළිවෙළක්. ඊළඟට දේශීය ආදායම් කොහොමද අපි වැඩිකර ගන්නේ. දේශීය ආදායම් වැඩි කරගන්න මොකක්ද තියෙන වැඩපිළිවෙළ ඉතින් මේ සේරම කරන්න සියලුම පක්ෂ එකතුවෙනවා නම් හොඳයි. ඉතින් අපි ජනතාව මේ වෙලාවේදී මම කියන්නේ, හෙට තව මැතිවරණයකට ගිහිල්ලා තව පක්ෂයක් බලයට පත් කරන එක නෙමෙයි කරන්න තියෙන්නේ. මේ වෙලාවෙදි කරන්න තියෙන්නේ සියලු දෙනාටම එකමුතු වෙලා වැඩකටයුතු කරන්න ඕනෙ අවස්ථාවකට ඇවිල්ලා තියෙනවා කියලා.

• ඔබේ ආණ්ඩුවේම ඇමැතිවරු වත්මන් ජනාධිපති හිටපු ජනපතිට වඩා හොඳයි කියන්නේ වෙන කරන්න දෙයක් නැති නිසාද? 

මම හිතන කාරණාවක් තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සමහරක් ප්‍රතිපත්ති ඉතාමත් අගය කරන්න ඕනෙ ඒවා. ඔය පොහොර වැඩපිළිවෙළ නොවන්නට වැවිලි කර්මාන්තයේ ස්වර්ණමය යුගය. එතුමාගේ හොඳ දේට හොඳයි කියන්න ඕන, නරක දේට නරකයි කියන්න ඕන වගේම  අනිත් පැත්තෙන් මේ ජනාධිපතිවරයාගෙත් හොඳ දේට හොඳයි කියන්න ඕන, නරක දේට නරකයි කියන්න ඕන.

දැන් අපිට අද ඇතිවෙලා තියෙන්නේ, උගත්කම හා අත්දැකීම කියන දේ තියෙන නායකයෙක්ගේ අවශ්‍යතාව. එතකොට අඩුපාඩු ඇති. මම හිතනවා එක නායකයකුට විතරක් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි මේක. මේ වෙලාවෙදි රටේ ඉන්න සියලු නායකයෝ එකතු වෙන්න ඕනේ තැනක් මේක. දැන් අපි නායකයකුව පත්කරගෙන තියෙනවා. දැන් කාටවත් කියන්න බෑ අක්‍රමවත් වැඩපිළිවෙළක් තුළ නායකයෙක් පත්වුණා කියන්න බෑ. ක්‍රමවත් වැඩපිළිවෙළක් තුළ නායකයෙක් පත්වෙලා තියෙනවා.

• ජනතාව නම් කියන්නේ ඒ නායකයාට ජනතා ප්‍රසාදයක් නෑ කියලා.?

 ඒ නායකයාට ජනතා ප්‍රසාදය තියෙනවාද නැද්ද කියන කාරණාව දෙවැනි කාරණාව. හැබැයි ඒ පත්කර ගත්ත නායකයාත් එක්කලා සහයෝගයක් දීලා යම් කිසි අවස්ථාවක් දෙන්න ඕනේ. කෙටි හරි අවස්ථාවක් දෙන්න ඕනේ ඒ නායකයා මොකක්ද කරන්නේ කියලා බලන්න. ඒක එකපාරටම විස්මකර්ම වැඩ කරන්න බෑ. විනාශ වෙච්ච රටක්. ඉතින් ඒක නිසා මම හිතනවා ඒ අවස්ථාව දෙන්න ඕනා. ඒ අවස්ථාවත් එක්කලා තමයි මේ ගමන යන්න ඕනේ. ඉතින් ඉදිරි කාලයේදී සමහරක් වෙලාවට දැන් මේ දේශපාලනය කියන කාරණාවේදී අපි සියලු දෙනාටම ඕනේ අපේ පක්ෂය දිනවන්න. අපේ නායකයාව ජනාධිපති කරන්න. එහෙම තමයි හැම පක්ෂයක්ම හිතාගෙන ඉන්නේ. ඒක පොඩ්ඩක් පැත්තකින් තියලා අපි සාමූහික වැඩපිළිවෙළක් එක්ක කෙටි කාලයකට හරි වැඩ කරන්න ඕනේ. නැත්තන් ඊළඟට ඔය කොච්චර හොඳයි කියන නායකයෙක් බලයට පත්වුණත්, කොච්චර හොඳයි කියන පක්ෂයක් බලයට පත්වුණත් ඒ අයටත් වැඩ කරගන්න බැරි වෙයි.

• හිටපු ජනාධිපතිවරයා හමුවෙන්න ගියේ නැද්ද?

නෑ… මම ගියේ නෑ තාම. මම තාම කිසිම නායකයෙක් හම්බවෙන්න ගිහිල්ලත් නෑ. මමත් ඉන්නේ පුදුම කලකිරීමකින්. දැන් තමයි මම මේක අවසාන අවස්ථාව කියලා හිතාගෙන වැඩ කටයුතු කරන්න ඕනේ කියන කාරණාවේ මම ඉන්නවා. දේශපාලනය එපා වෙලා තියෙන්නේ. අපිට සමහරක් දේවල් නිසා දේශපාලනය ගැන පුදුම කලකිරීමක් ඇති වෙලා තියෙන්නේ. නමුත් අපි හිතනවා මේක අවස්ථාවක් කරගෙන වැඩක් කරන්න බලනවා. බැරි වුණොත් මම ඇත්තටම දේශපාලනයෙන් අයින් වෙනවා කියන තැනම තමයි ඉන්නේ. 

• මොකද හිතන්නේ ලැබුණු අලුත් අමාත්‍යාංශය ගැන. රටට වැඩක් කරන්න පුළුවන් වෙයිද?

ඔව්. මම හිතනවා මේ රටේ නාගරික සංවර්ධන හා නිවාස කියලා ගත්තහම විශේෂයෙන්ම ජනතාවට දැනෙන අමාත්‍යාංශයක්. නිවාස ගත්තොත් නිවාස ප්‍රශ්නේ විශාල වශයෙන් මේ රටේ තියෙනවා. නිවාස නැති විශාල පිරිසක් ඉන්නවා. කුලී නිවැසියන්ගේ ප්‍රශ්නේ තියෙනවා. නාගරික නිවාසවල විශාල වශයෙන් ප්‍රශ්න තියෙනවා. මම ගත්තොත් එහෙම මම නියෝජනය කරන ප්‍රදේශවල විශේෂයෙන්ම ධීවරයන්ට නිවාසවල විශාල ප්‍රශ්න තියෙනවා. ඉතින් අපි දන්නවා තාමත් කොළඹ සහ කොළඹ අවට තදාසන්න ප්‍රදේශවලත් නාගරීකරණයට ලක්වෙච්ච සමහරක් රටේ අනෙකුත් ප්‍රදේශවලත් පැල්පත් නිවාස විශාල වශයෙන් තියෙනවා.

හැබැයි ඉතින් මේක අභියෝගයක්. මේ වෙලාවෙදි ගත්තහම මේ තියෙන මූල්‍යමය තත්ත්වයත් එක්කලා. නමුත් මම හිතනවා අපිට මූලික සැලසුම් සකස් කරගෙන ඒ වැඩකටයුත්ත ආරම්භ කරන්න පුළුවන් නම් මේ වෙලාවෙදි ප්‍රතිපත්ති ටික හදාගෙන වැඩකටයුතු ටික කරන්න. මොකද නාගරික සංවර්ධනය ගත්තහම රටකට අවශ්‍යයි. ඉතින් මේක ඉතාමත් හොඳ අංශයක්. ඉතින් මම හිතනවා අපිට දෙන්න පුළුවන් උපරිම දායකත්වයක් මම හිටපු අමාත්‍යාංශවල වගේම ලබා දෙන්න තමයි බලාපොරොත්තුව.

මිතුන් ජයවර්ධන