ශ්‍රී ලංකාව ගත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා අද නිල වශයෙන් ඇරඹෙයි

0
148

ශ්‍රී ලංකා බලධාරීන් සිය ඩොලර් බිලියන ගණනක ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීම සඳහා අද (සැප්. 23) ජාත්‍යන්තර ණය හිමියන් සමග නිල වශයෙන් සාකච්ඡා පවත්වනු ඇතැයි රොයිටර්ස් පුවතත් සේවය වාර්තා කරයි.

රොයිටර්ස් වාර්තාවේ දැක්වෙන්නේ, දශක හතකට වැඩි කාලයක් තුළ ශ්‍රී ලංකාව මුහුණ දී සිටින දරුණුතම ආර්ථික අර්බුදය විසඳීමට සැලසුම් බෙදාහදා ගැනීම ද එහිදී සිදුවන බව ය.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ සාර්ථකත්වය ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 2.9ක ණය ලබා ගැනීම සඳහා අවසාන අනුමැතිය ලබා ගැනීමට සහ පසුව අනෙකුත් ගෝලීය නියෝජිතායතනවලින් මූල්‍ය ආධාර ලබා ගැනීමට ඉතා වැදගත් බව එහි දැක්වේ.

රොයිටර්ස් වාර්තාවේ දැක්වෙන්නේ, ශ්‍රී ලංකාවේ මූල්‍ය සහ අනෙකුත් නිලධාරීන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සැප්තැම්බර් 1 වන දා එකඟ වූ ණය පැකේජයේ අරමුණු සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ ඊළඟ පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මාර්ගගත ක්‍රම ඔස්සේ සැසියක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව ය.

එය ණය හිමියන්ට ඉදිරිපත් කිරීමෙන් පසුව ප්‍රසිද්ධියට පත් කිරීමට නියමිත ය.

ශ්‍රී ලංකා රජය දැනටමත් අසල්වැසි ඉන්දියාව සහ කොළඹ පදනම් කරගත් රාජ්‍ය තාන්ත්‍රිකයන් සමග මූලික ප්‍රතිව්‍යුහගත සාකච්ඡා පවත්වා ඇත.

“බ්‍රහස්පතින්දා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් තානාපතිවරුන් සමග පැවති රැස්වීමෙන් ඉතා ධනාත්මක ප්‍රතිචාරයක් ලැබුණා,” ජනාධිපති කාර්යාලයේ නිලධාරියෙක් රොයිටර්ස් සමග ප්‍රකාශ කර තිබේ.

“දෙසැම්බර් වන විට හෝ ලබන වසර මුලදී IMF ගනුදෙනුව අවසන් කිරීමට උත්සහ කිරීම කෙරෙහි ශ්‍රී ලංකාව අවධානය යොමු කර ඇත,” යනුවෙන් ඔහු වැඩිදුරට ත් සඳහන් කර ඇත.

අගෝස්තු මාසයේ මුදල් අමාත්‍යංශයේ දත්ත අනුව, ශ්‍රී ලංකාවේ විදේශ මුදල් ණය 2021 අවසානය වන විට ඩොලර් බිලියන 47.3ක් වූ අතර දේශීය මුදල් ණය ඩොලර් බිලියන 53.6ක් විය.

චීනය, ජපානය සහ ඉන්දියාව ශ්‍රී ලංකාවේ ඉහළ ම ද්විපාර්ශ්වික ණය හිමියන් අතර වෙයි.

විදේශ මුදල් ණය සඳහා ඩොලර් බිලියන 13ක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ද ඇතුළත් වන බව රොයිටර්ස් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කර තිබේ.