BREAKING NEWS: ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ශ්‍රී ලංකාවට සහය දෙන බව ජපානය කියයි

0
196

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ණය හිමියන්ගේ එක් රටක් වන ජපානය, විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සහ ආර්ථික අර්බුදයෙන් මිදීමට මගක් සෙවීමට උත්සහ දරන ශ්‍රී ලංකාවට සහය දෙන බව පවසයි.

අද (සැප්. 23) පැවති සම්මුඛ සාකච්ඡාවකදී ජපාන තානාපති හිදෙයාකි මිසුකොෂි මේ බව ප්‍රකාශ කර තිබේ.

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාවට අවසන් ගිවිසුමට එළැඹිය හැකි වන පරිදි ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ක්‍රියාවලියට සහය දැක්වීම සඳහා ජපානය ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටිනවා,” යැයි ඔහු එහිදී සඳහන් කර ඇත.

රජයේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දත්තවලට අනුව, ශ්‍රී ලංකාවේ සමස්ත ද්විපාර්ශ්වික ණයවලින් ඩොලර් බිලියන 3.5ක් පමණ ජපානය සතුව පවතින අතර එය දිවයිනේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.4%ක් බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබේ.

එමෙන් ම, ජපානය ශ්‍රී ලංකාවේ ප්‍රධාන වෙළෙඳ හවුල්කරුවෙකි.

“චීනය සහ ඉන්දියාව ඇතුළු අනෙකුත් ණය දෙන රටවල් සමග ඵලදායී කාර්යභාරයක් ඉටු කිරීමට ජපානය අදහස් කරයි,” ජපාන තානාපතිවරයා ප්‍රකාශ කර ඇත.

ණය සාකච්ඡා ක්‍රියාවලියට ජපානය සහය දෙන දුන්න ද විශාල යටිතල පහසුකම් ව්‍යාපෘති පිළිබඳ සාකච්ඡා නැවත ආරම්භ කරන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමෙන් පසුව පමණක් බව මිසුකෝෂි තවදුරටත් සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකාව මූල්‍ය ගැටලු සඳහන් කරමින් 2020 වසරේදී වාණිජ අගනුවර වන කොළඹ ජපන් ආධාර යටතේ ඉදි කිරීමට සැලසුම් කර තිබුණු ඩොලර් බිලියන 1.5ක සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියක් අත්හිටුවන ලදී.

ජපන් සමාගම් 1970 ගණන්වල සිට ශ්‍රී ලංකාවේ ඉලෙක්ට්‍රොනික, පිඟන් මැටි සහ ඉන්ජිනේරු ඇතුළු ක්ෂේත්‍රවල ආයෝජනය කර ඇත.

ජපාන තානාපතිවරයා සඳහන් කර ඇත්තේ, එසේ වුව ද නොගැළපෙන ආර්ථික ප්‍රතිපත්ති සහ ක්‍රියා පටිපාටි බාධා නිසා එම ආයෝජන අඩාල වී ඇති බව ය.

“ඒ දේවල් දියුණු වෙයි කියලා මම හිතනවා, ශ්‍රී ලංකාවට ආයෝජනය කිරීමට අවශ්‍ය පරිසරය වැඩිදියුණු වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු,” ඔහු වැඩිදුරට ත් ප්‍රකාශ කර තිබේ.