IMF සහාය ගන්න උදවු කරන්න තානාපතිවරු එකඟ වෙති

0
117

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ශ්‍රී  ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට පූර්ණ සහාය ලබාදෙන බව විදෙස් තානාපතිවරු ජනපති හමුවේ සහතික වෙති.

ණය ප්‍රතිව්‍යුහගතකරණය හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීම පිළිබඳ විදෙස් තානාපතිවරුන් දැනුවත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවේදී ඔවුහු මේ බව සඳහන් කළහ.

පැරිස් සමාජය (Paris Club) සහ පැරිස් සමාජයට අයත් නොවන රටවල් 23කට අයත් තානාපතිවරු මෙම සාකච්ඡාව  සඳහා එක්ව සිටියහ.

ශ්‍රී  ලංකාව මුහුණදී ඇති මෙම තත්ත්වයෙන් මිදීමට සිය පූර්ණ සහාය දෙන බව මෙහිදී සඳහන් කළ විදෙස් තානාපතිවරු කඩිනමින් මෙම අර්බුදයෙන් මිදීමට ශ්‍රී  ලංකාවට හැකිවනු ඇති බවද විශ්වාසය පළ කළහ.

ශ්‍රී  ලංකාවට තිබෙන එකම අභියෝගය මෙම ආර්ථික අර්බුදය බවත්, එය අනාගත පරපුර වෙනුවෙන් ජය ගැනීම සිය අපේක්‍ෂාව බවත් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් වූ සාකච්ඡා මෙම වසර අවසන් වන විට සම්පූර්ණයෙන් අවසන් කිරීමට බලාපොරොත්තු වන බවද ජනාධිපතිවරයා පැවැසීය. විදෙස් තානාපතිවරුන් වෙත සිය ස්තූතිය පිරිනැමූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, රජය සෑම අවස්ථාවකම විනිවිදභාවයෙන් හා සමානාත්මතාවෙන් කටයුතු කරන බව පැවැසීය.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මෙහිදී වර්තමානයේ ලංකාවේ ආර්ථික තත්ත්වය සහ ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ පසුබිම් වාර්තාවක් ඉදිරිපත් කළහ. රංජිත් සියඹලාපිටිය, තාරක බාලසූරිය, ෂෙහාන් සේමසිංහ යන රාජ්‍ය අමාත්‍යවරු සහ ජාතික ආරක්‍ෂාව පිළිබඳ ජනාධිපති ජේ‍යෂ්ඨ උපදේශක, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන යන මහත්ම මහත්මීහුත් රාජ්‍ය නිලධාරීහුත් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

කුමුදු උපුල් ශාන්ත