රැජිණගේ අභාවය පිළිබඳ ශෝකය පළ කිරීම: ජනපති රැජිණ ගැන හෙළි කළ කරුණු

0
175

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (සැප්. 23) පාර්ලිමේන්තුවට පැමිණියේ ය.

දෙවන එලිසබෙත් මහ රැජිණගේ අභාවය පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනාව ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපතිවරයා එලෙස පාර්ලිමේන්තුවට පැමිණයේ ය.

අද පෙ.ව. 09.30ට පාර්ලිමේන්තුව රැස්වූ අතර ප.ව. 12.30 දක්වා දෙවන එලිසබෙත් මහ රැජිණගේ අභාවය පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිත ය.

ඒ අනුව සභාව අමතමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, තමන් ජනාධිපති ධූරයට පත් වීමෙන් අනතුරුව ලැබුණු සුබ පැතුම් අතර දෙවන එලිසබෙත් මහ රැජිණගෙන් ලැබුණු සුබ පැතුම් විශේෂ වූ බව ය.

එය ඇයගේ සුබ පැතුම් ලිපිවලින් අවසන් එකක් වූ බව ජනාධිපතිවරයා එහිදී පැවසීය.

මහ රැජිණගේ අභාවය මේ තරම් ඉක්මනින් සිදු වනු ඇති බවට අපේක්ෂා නොකළ බව පැවසූ ජනාධිපතිවරයා සඳහන් කළේ, ඇයගේ අභාවයට දින දෙකකට පෙර බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරිය සමග ඇය රූපවාහිනියේ දක්නට ලැබුණු බව ය.

එහිදී ඇය තරමක් වෙහෙසට පත්ව සිටින බව පෙනෙන්නට තිබුණු බව ජනාධිපතිවරයා පැවසීය.

කෙසේ වෙතත්, බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති බොරිස් ජොන්සන් සහ වත්මන් අගමැති ලිස් ට්‍රස් සමග දවසෙන් භාගයක් ගත කරන ඕනෑ ම කෙනෙකු වෙහෙසට පත් වන බව ත් එබැවින් රැජිණගේ වෙහෙස පුදුමයක් නොවූ බව ත් ඔහු සඳහන් කළේ ය.

ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ රැජිණ, ශ්‍රී ලංකාවෙන්, පොදුරාජ්‍ය මණ්ඩලයීය රටවල්වලින් සහ බ්‍රිතාන්‍යයෙන් සහ ලෝකයෙන් අපේක්ෂා කළ දේවල් අප උකහා කර ගත යුතු බව ය.

සිලෝන් සිට ශ්‍රී ලංකාව දක්වා වූ මෙරට පරිවර්තනය රැජිණගේ පාලන සමයේ සිදු වූ බව ඔහු පැවසීය.

ඔහු සඳහන් කළේ, 1956 මැතිවරණ ජයග්‍රහණය, ජනවාර්ගික ගැටලුව, නිදහස් අධ්‍යාපනය, ආර්ථිකය රාජ්‍ය පාලනයට නතු කර ගැනීම ආදී මෙරට සිදු වූ ප්‍රධාන දේශපාලනික සිදු වීම් ඇය යටතේ ආරම්භ වූ බව ය.

මහ රැජිණ කිතුනු භක්තිකයෙකු වුව ද 1815 උඩරට ගිවිසුම යටතේ මෙරට බුදු දහම අරකෂා කිරීමට කැපවූ බව ජනාධිපතිවරයා සඳහන් කළේ ය.

ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ, ශ්‍රී ලංකාව රැජිණගේ පාලනයෙන් මිදුන ද ගැටලු දෙකක් තවමත් විසඳා ගැනීමට ඉතිරි වී ඇති බව ය.

විධායක ජනාධිපති ධූරය අහෝසි කර නාමික ජනාධිපතිවරයෙක් පත් කර ගන්නේ නම්, රැජිණගේ පාලනයෙන් මිදෙන්නේ ඇයි ද? යන්න ඔහු එහිදී ප්‍රශ්න කළේ ය?

ඒ අනුව, විධායක ජනාධිපති ධූරය සම්බන්ධයෙන් වන ගැටලුව තවම ත් පවතින බව ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපතිවරයා සිදු කළ සම්පූර්ණ කතාව පහතින් දැක්වේ.