Campus එකෙ Rag කළොත් Black List

0
23

රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ නවක වධය කළ බවට ඔප්පුවන සිසුන් අසාදු ලේඛන ගත කරන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන්ද්‍ර රාඝවන් පැවැසීය.

ඒ අනුව වැරදිකරුවන් වන සිසුන්ගේ පන්ති තහනම් කිරීමටත්, උපාධිය අවලංගු කිරීමටත්, දේශීය විශ්වවිද්‍යාලයක අධ්‍යයන කටයුතුවලට ඉඩනොදීමටත් පියවර ගන්නා බවද රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.

ඊට අමතරව මොවුන්ට රජයේ රැකියාවක යෙදීමට නොහැකි වන අයුරින් අසාදු ලේඛන ගත කිරීම සඳහා නීතිඥයන්ගේ සහාය ලබාගන්නා බවද හෙතෙම කීවේය.

එසේම පසුගිය වසරේදී විවිධ ආතති හේතුවෙන් විශ්වවිද්‍යාල හැර ගිය 73 දෙනකු යළි කැඳවීමට පියවර ගත් බවද හෙතෙම පැවැසීය.

විශ්වවිද්‍යාලයන්හි ක්‍රියාත්මක වන  නවකවධය මුළුමනින්ම පිටුදැකිය යුතු බවත් ඊට සම්බන්ධ වූවන්ට එරෙහිව පියවර ගැනීමට වර්තමානයේ ක්‍රියාත්මක වන නීති ප්‍රමාණවත් බවත් ඔහු පැවැසීය.

විශ්වවිද්‍යාල තුළ මෙවැනි සිදුවීම් ක්‍රියාත්මක කරන ශිෂ්‍යයන්ට එරෙහිව තරාතිරම නොබලා කටයුතු කරන බවත් විශ්වවිද්‍යාල මාධ්‍යවලට විවෘත වියයුතු බවත් රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නවක වධයට සම්බන්ධ සිසුන්ටද නීතිය ක්‍රියාත්මක කරමින් සිටින බවද හෙතෙම සඳහන් කළේය.

එම විශ්වවිද්‍යාලයේ ආපනශාලාවක ආහාර ගනිමින් සිටි සිසු සිසුවියන් 11 දෙනකුට පහරදීම සම්බන්ධයෙන් කලා පීඨයේ සිසුන් තිදෙනකු දැනට අත්අඩංගුවට ගෙන තිබෙන බවද ඔහු කීවේය.

මෙම සිසුන් පිරිසට විවිධ ආකාරයේ පහසුකම් ලබාදුන් බවත්, අවශ්‍ය නම් විදෙස් විශ්වවිද්‍යාලයක අධ්‍යාපන කටයුතු කිරීමට අවස්ථාව ලබාදිය හැකි බවත් රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.  

අමිත් මධුරංග ගමගේ