පාර්ලිමේන්තුවේ හාල්මැස්සන් ව්‍යංජනයේ ගෝනි නූලක්

0
216

පාර්ලිමේන්තුවෙන් මාධ්‍යවේදීන්ට (සැප්. 23) දහවල් බත් සමග ලබා දුන් හාල් මැස්සන් බැඳුමේ තිබී අඩියකට ආසන්න දිග ගෝනි නූලක් හමු විය.

මාධ්‍යවේදියකු ආහාර ගනිමින් සිටියදී මෙම ගෝනි නූල හමු වීමෙන් පසු මාධ්‍යවේදීයා ඒ අවස්ථාවේදී ම භෝජන අංශයේ ප්‍රධානීන්ට ඒ සම්බන්ධයෙන් පැමිණිලි කර ගෝනි නූල ඔවුන්ට භාර දුන්නේ ය.

හාල්මැස්සන් බැදුමේ තිබී ගෝනි නූල හමුවීමෙන් පසුව ඇතැම් මාධ්‍යවේදීහු ඒ මොහොතේ ම ආහාර ගැනීම නවතා දැමූහ.

මේ අතර, පාර්ලිමේන්තු භෝජන අංශයෙන් මාධ්‍යවේදීන්ට ඊයේ (සැප්. 22) දහවල් සැපයුණු ආහාර වර්ග දෙකකින් පිළුණු රස දැනුණු බව ඔවුහු සඳහන් කරති.

පාර්ලිමේන්තුවේ භෝජන අංශයෙන් සැපයුණු ආහාරවල තිබී පණුවන්, ප්ලාස්ටික් කැබලි, තංගුස් නූල් කැබලි වැනි දෑ මෙයට පෙර ද වරින් වර හමුවුණු අතර පාර්ලිමේන්තුවේ භෝජන අංශයෙන් ඊයේ (සැප්. 22) සැපයූ මාළු විෂවීමෙන් පොලිස් නිලධාරීහු දෙදෙනෙක් රෝගාතුර වී නාරාහේන්පිට පොලිස් රෝහලට ඇතුළත් කරනු ලැබූහ.

පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානයෙන් මූලික ප්‍රතිකාර ලබා දීමෙන් පසුව ඔවුන් රෝහල කරා රැගෙන ගියේ ගිලන් රථයකිනි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායකගේ නියමයෙන් පරීක්ෂණයක් දැනටමත් ආරම්භවී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here